මව්බිම පත්‍රයෙන් කෝටි 100ක් ඉල්ලා තුසිත හල්ලොලුව නඩු මගට

මත්පැන් බලපත් විකුණා කෝටි තුනකට අධික අල්ලස් ගත් බවට බොරුවක් ප්‍රචාරය කරලා  

තමා සම්බන්ධයෙන් ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කර සිය කීර්ති නාමයට අපහස කළේ යැයි චෝදනා කරමින් “මව්බිම” පුවත්පතට සහ එහි අයිතිකරු ටිරාන් අලස් මහතාට එරෙහිව රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලා නඩු පැවරීමට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාව සිටී තුසිත හල්ලොලුව මහතා තීරණය කර තිබේ.

ඊට අමතරව “හිරු” නාලිකාවට සහ තවත් අන්තර් ජාල වෙබ් අඩවියකට එරෙහිව ද මෙසේ වන්දි ඉල්ලා නඩු පැවරීමට නියමිත අතර ඊට අදාළව එම ජන මාධ්‍ය ආයතනවලට “Letter of Demand” යවන ලෙසට ද තුසිත හල්ලොලුව මහතා සිය නීතීඥයින්ට උපදෙස් දී ඇත. 

ඔහු මේ තීරණය ගෙන තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාව සිටී මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ වකවානුවේදී තමා “FL-4” වර්ගයේ මත්පැන් අලෙවි බලපත්‍ර 7 ක් සුපිරි වෙළඳ සැල් ජාලයකට ලබා දී රුපියල් ලක්ෂ 3850 ක් අල්ලස් වශයෙන් ලබා ගත්තේ යැයි සඳහන් කරමින් “මව්බිම” පුවත්පත සහ “හිරු” නාලිකාව ප්‍රචාරය කර ඇති අසත්‍ය යැයි කියන ප්‍රවෘත්තියට එරෙහිවය. 

තමා යහපාලන ආණ්ඩුවේ පමණක් නොව ඊට පෙර තිබූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සහ ඊටත් පෙර තිබූ චන්ද්‍රිකා ආණ්ඩුවේ ද ඇමැතිවරුන් ගණනාවකගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස රාජකාරී කර ඇති අතර ඒ කිසිදු අවස්ථාවක කිසිදු දූෂණයකට සම්බන්ධ නොවූ බව “lankanewsweek” සමග පැවසූ තුසිත හල්ලොලුව මහතා “මව්බිම” ඇතුළු මේ ජන මාධ්‍ය ආයතන චෝදනා කරන සිද්ධිය සම්බන්ධයෙන් ඔ්නෑම පරීක්ෂණයක් කර තමා වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට පමුණු වන ලෙස අභියෝග කර සිටින්නේ යැයි ද අවධාරණය කර සිටියි.

එසේ නොමැතිව කිසිදු සාක්ෂියක් නොමැතිව පදනම් විරහිතව සහ ද්වේශ සහගත ලෙස මෙසේ මිනිසුන්ට අවලාද නැගීමට සිය ජන මාධ්‍ය භාවිතා කරන සියලු දෙනාටම එරෙහිව තමා නීති මගින් ක්‍රියා කරන බවද තුසිත හල්ලොලුව මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *