හඬපට සහ හාදු – අනුර සුරිය බණ්ඩාර



මෙි දිනවල මහජන අවධානයට වඩාත්ම ලක්වූ කරුණ වන්නේ හඬ පට සහ රන්ජන්ගෙ හාදුවය.නීතිපතිවරයා රාජිත ගේ නඩුව සම්බන්ධයෙන් අලුතින් පියවර ගැනීමට සූදානම් වන තත්ත්වයක් තුළ හෙට අනිද්දා වනවිට හඬ පටත් හාදුවත් යටපත් ව නැවත රාජිත මතුවන්නටද පුළුවන.
ඒ අතර දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා ගේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ද ප්‍රශ්නකාරී පසුබිමක් නිර්මාණය කෙරෙමින් පවතින බවක් පෙනෙන්නට ඇත .

මධ්‍යස්ථව කල්පනා කරන්නකුට පෙනීයන කරුණ වන්නේ රන්ජන් මෙන්ම රාජිත ද වරදක් සිදුකර ඇති.බවයි .නිදසුනක් වශයෙන් සුදු වෑන් සිද්ධියකට සම්බන්ධ කිසිවකු පිළිබඳ රාජිත දැන සිටියේ නම් ඔහු කළ යුතුව තිබුණේ අදාළ තැනැත්තන් මාධ්‍ය සාකච්ඡාවකට කැඳවා ඒම නොව වහාම ඒ බව පොලිසියට දැණුම් දී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර සැලසීම ය.ඒ අනුව රාජිත මහතා විසින් කරනු ලැබුවේ මාධ්‍ය සාකච්ඡාවේ දී ම අත්අඩංගුවට පත්විය යුතු ආකාරයේ වරදකි .
රන්ජන් සම්බන්ධයෙන් ගත් කල ඔහු ද අනෙක් පාර්ශවයේ අවසරයකින් සහ එම පාර්ශවයේ අනුදැනුමකින් තොරව දුරකතන සංවාද පටිගත කර තිබේ. එසේ කිරීම ද නීති විරෝධී කටයුත්තකි. මෙි සිද්ධිය අනුව නැවතත් ඔප්පු වන්නේ රන්ජන් මහතාට ශරීරය තරමට මොළයක් නොමැති බව යි .
රාජිත සම්බන්ධයෙන් හෝ රන්ජන් සම්බන්ධයෙන් හෝ නීතිය ක්‍රියාත්මක වනවාට ඒ අනුව කිසිවකුට විරුද්ධ වන්නට හැකියාවක් නැත .

ආණ්ඩුවක් අලුතින් බලයට පත්වූ වහාම පැවැති ආණ්වේ වැරදි ඉස්මතු කිරීම මෙරටෙහි කවදත් සිදුවුවකි. නමුත් පසුගිය ආණ්ඩුවේ වැරදිවලට දඩුවම් කළ ආණ්ඩුවක් මෙතෙක් මෙරට බිහිවී නැත .නිදසුනක් වශයෙන් චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත්වූයේ ආර් ප්‍රේමදාස ආණ්ඩුවට දොස් කියමින් සහ එම ආණ්ඩුවේ වැරදි කළ අයට දඬුවම් කිරීමට පොරොන්දු දෙමිනි . වැරදිකරුවන් ගෝල්ෆේස් පිටියට ගෙන්වා දඬුවම් පැමිණවීම ඇය ගේ පොරොන්දුව විය .සූරියකන්ද බටලන්ද කොමිෂන් පත් කෙරුණ ද ඉන් එහාට සිදු වූ දෙයක් නැත.චන්ද්‍රිකා ආණ්ඩුව කළ එක ම දෙය පසුගිය එජාප ආණ්ඩුවේ වැරදි කියමින් හැකි උපරිමයෙන් බලයේ එල්ලී සිටීම පමණි .

යහ පාලනය ද වෙනසක් නැත .ඔවුන් බලයට පැමිණියේ රාජපක්ෂ පාලනයේ අටෝරාසියක් වැරදි කියමින් සහ එම වැරදි කළ අයට දඬුවම් කරන්නට පොරොන්දු දෙමිනි .නඩු රැසක් පැවරුණු නමුත් ඉන් බොහොමය පුස්ස බින්දා මෙන් විය.ඒවායින් නඩු කිහිපයක් තවමත් පවතින නමුත් අවසානය කෙසේවනු ඇත්දැයි කිය නොහැකිය .රන්ජන් සහ රාජිත කරළියට එන්නේ එවැනි පසුබිමක ය. උපකල්පනය කළ හැක්කේ මහ මැතිවරණය අවසන් වන තුරු මෙි නාටක මෙසේ රඟ දැක් වී කෙමෙන් යටපත් වනු ඇති බවයි .යහ පාලනය විසින් පවරනු ලැබූ නඩු ද ⁣එසේ ම අමතකව යන්නටද පුළුවන .

පවතින තත්ත්වය තුළ මතුවන අනෙක් ගැටලුව මෙතෙක් ස්වාධීන යැයි ජනතාව සිතා සිටි  කොමිෂන් සභා  ,පොලිසිය   ,අධිකරණය ආදි ආයතන කොතෙක් ස්වාධීනද යන්න යි .19 වැනි සංශෝධනයට විරුද්ධව මෙතෙක් පැවසුණු කරුණු සත්‍යය ද යන ගැටලුව ද ජනතාව අතර මෙි වන විට මතුව  පවතී .

වත්මන් ජනාධිපතිවරයා ගේ වගකීම වඩාත් බරපතළ ලෙස මතුවන්නේ මෙවැනි තත්ත්වයක් තුළ ය.එක් අතකින් ඔහු පෙර බලයට පත්වූ අය⁣ මෙන් පරණ වැරදි වලට දඬුවම් දීමක් ගැන කතා කළේ ද නැත. ඔහුගේ පොරොන්දුව අනාගතයේ රට යහපත් අතකට පත්කිරීම ය.
ඒ අනුව ගෝඨාභය මහතා ගේ වගකීම වනු ඇත්තේ පරණ ආණ්ඩු කළ වැරදි තම ආණ්ඩුව යටතේ සිදු නොවන බවට වගබලා ගැනීම යි .පරණ ආණ්ඩු කළ වැරදි අනාගත ආණ්ඩුවකට කළ නොහැකි වන ආකාරයට යාන්ත්‍රණය ශක්තිමත් කිරීම යි . එය එසේ වන්නේ නම්  එපමණක් වුව ද රටට මහත් ආශිර්වාදයක් වනු ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *