‘‘කිසිම පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න බෑ‘‘ – අගමැති මහින්ද රාජපක්‍ෂ

දැනට තිබෙන ඡුන්ද ක‍්‍රමය අනුව කිසිදු පක්‍ෂයකට තවත් කණ්ඩායමකගේ සහාය නැතිව ආණ්ඩු පිහිටුවිය නොහැකි යයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. 2010 දී පමණක් එම තත්ත්වය වෙනස් වූ බව ද අගමැතිවරයා කීවේය.

පුවත් කතුවරුන් අද හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා එසේ පැවසීය.

පොහොර හිඟය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ආණ්ඩුව සමයේ ගෙන්වූ පොහොර වෙනුවෙන් පොහොර සමාගම්වලට රුපියල් බිලියන 6ක් ගෙවන්නට තිබුණු බවත් ඉන් බිලියන 3ක් කැබිනට් තීන්දුවක් මත ගෙවූ බවත් කීවේය.

පොහොර ප‍්‍රශ්නය ළඟදීම විසඳෙනු ඇතැයි කී අගමැතිවරයා ලබන යල කන්නයේ සිට වී වගාවට පොහොර නොමිලේ ලබාදෙන්නේ යැයි සඳහන් කළේය.

හාල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා හාල් මිල වැඩි කිරීම වෙළෙඳ මාෆියාවක ප‍්‍රතිඵලයක් බව ද පැවැසීය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දුන් දිනයේ එක්තරා ව්‍යාපාරිකයකු සහල් මිල වැඩි කළ බව කී අගමැතිවරයා සහල්වලට රුපියල් 98ක උපරිම මිලක් නියම කළේ ඒ නිසා බව ද සඳහන් කළේය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති රාජපක්‍ෂ මහතා ඒ පිළිබඳව සෙවීමට කමිටුවක් පත් කළ බවත් කමිටුවේ නිරීක්‍ෂණ අනුව තීන්දුවක් ගන්නා බවත් සඳහන් කළේය.

සංස්කෘතික අරමුදලේ සහ මහපොළ භාරකාර අරමුදලේ මුදල් විනාශ කර ඇතැයි කී අගමැතිවරයා ඒ පිළිබඳව සොයා බලමින් පවතින්නේ යැයි කීවේය.

රජයේ සංස්ථා සහ මණ්ඩලවලට පත්කරන ලද නව සභාපතිවරුන් ලබන මහ මැතිවරණයෙන් පසුව ඉවත් කරන්නේ දැයි පුවත්පත් කතුවරයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති රාජපක්‍ෂ මහතා අදක්ෂ සභාපතිවරුන් ඉවත් කර දක්ෂ අය තබාගන්නා බව කීවේය.

ස්විස් තානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනියක සම්බන්ධ සිද්ධිය පිළිබඳ නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා පසුගිය ආණ්ඩුවේ සිටි අය ඊට සම්බන්ධ වී ඇති බවත් ඇයට එක්තරා හෝටලයකින් දුරකතන ඇමතුම් 46ක්ම ලබා දී ඇති බවත් කීවේය.

මේ සිද්ධියට දේශපාලන අනුග‍්‍රහය සම්පූර්ණයෙන්ම ලැබී ඇතැයි ද අගමැතිවරයා පැවැසීය.

මෙම හමුවට සහභාගි වූ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පමණක් කොටුකළ යුතු නැතැයි ද එය සම්පූර්ණයෙන්ම පසුගිය රජයේ අනුග‍්‍රහයෙන් සිදුවී ඇතැයි ද සඳහන් කළේය.

මෙය අරලියගහ මන්දිරයේ සිටි කණ්ඩායමක් විසින් සිදුකරන ලද්දක් බව කී ඇමැති අලූත්ගමගේ මහතා රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, චම්පික රණවක, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට සම්බන්ධ වී ඇති බව ද කීවේය.

අධිකරණයට හා පොලිසියට තිබූ ඇඟිලි ගැසීම් එවකට සිටි අධිකරණ ඇමැතිවරයාත් හිටපු සොලිසිටර් ජනරාල්වරුන් දෙදෙනකුත් තහවුරු කර ඇති බව  අලූත්ගමගේ මහතා පැවැසීය.

අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දක්වමින් පසුගිය රජය අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේ ද යන්න රන්ජන් රාමනායක සිද්ධියෙන් පැහැදිලි වන බව ප‍්‍රකාශ කළේය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විජයදාස රාජපක්‍ෂ මහතා ගෙනා පෞද්ගලික යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් බව පෙන්වීමට විපක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් උත්සාහ ගත් බව කී ඇමැති අලහප්පෙරුම මහතා එය විජයදාස රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් මිස හිටපු ජනාධිපතිවරයාගේ යෝජනාවක් නොවන බව ද කීවේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් දක්වමින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් තමා කළ ප‍්‍රකාශයක් ඇතැමුන් විකෘති කර මාධ්‍යවල පළකර ඇතැයි කීවේය.

තමා කීවේ එහි සියයට 70කට තමා විරුද්ධ නැති බවත් ඉතිරි 30ට තමා විරුද්ධ බවත් යයි ඔහු සඳහන් කළේය.

උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වූහ.

(අජන්ත කුමාර අගලකඩ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *