2015ට කලින් බිලියන 6500ක බැඳුම්කර හොරෙන් විකුණලා. වාර්තාව හංගන්නේ ඒකයි – කිරිඇල්ල

2015ට පෙර පැවති රාජපක්ෂ රජය විසින් රුපියල් බිලියන 6,500ක් වටිනා මහබැංකු බැඳුම්කර හොර රහසේම විකුණා දමා ඇති බවටත් වත්මන් රජය විසින් බැඳුම්කර වංචාව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර යටගසන්නේ මෙය සැඟවීම සඳහා බවටත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි. 

“අපේ ආණ්ඩුව කාලේ, යහපාලන ආණ්ඩුව කාලේ බැඳුම්කර නිකුත් කෙරුවේ බිලියන 10කට. ඕගොල්ලො දන්නවද, 2015න් එහාට 2015න් පිටිපස්සට ඒ අවුරුදු 10 තුළ බැඳුම්කර හොර රහසේ දීලා තියෙනවා බිලියන 6500ක. 

මේ අපි විකුණපු 10 අල්ලගෙනනෙ කෑගැහුවෙ. අර වෝහාරික වාර්තාව, ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලීමක් කෙරුවා. ඒ වෝහාරික වාර්තාවෙ තියෙනවා යහපාලන ආණ්ඩු කාලෙ බිලියන 10ක තමා බැඳුම්කර වික්කෙ, නමුත් යහපාලන රජයට කලින් තිබ්බ රජය කාලෙ බිලියන 6500ක බැඳුම්කර හොර රහසේ විකුණලා තියෙනවා කියලා. 

ඒකයි පාර්ලිමේන්තුව කල් දාලා – වෝහාරික වාර්තාව දෙසැම්බර් 03 තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබුණේ. ඉතින් අපි කථානායකගෙන් ඉල්ලීමක් කෙරුවා ඒ වෝහාරික වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා – ඒ බිලියන 6500 ගැන, ඒක ඒගොල්ලො හැංගුවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (05) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

RN

LANKANEWSWEB



Leave a Reply

Your email address will not be published. Required fields are marked *