ආණ්ඩුව විහිළුවක්වීම හා මහජනතාව විනෝදවීම – කේ.ජී.පිලිප් ශාන්ත

ජනවාරී හතරවනදා රාත්‍රීයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකව අත්අඩංගුවට ගැනීම දේශපාලන ප්‍රහසනයක් බවට පත්විය. රන්ජන් විසින් එල්ල වූ අභියෝගය විනෝදාත්මකව සලකමින් ඊට මුහුණ දුන් අන්දම ආණ්ඩුවේ ක්‍රියාව හාස්‍යයට ලක්වීමට ප්‍රබල හේතුවක් විය. දේශපාලන දෘෂ්ටිය, ප්‍රතිපත්තිය හා ක්‍රියා පිළිවෙල සමාජය හමුවේ හාස්‍යයට ලක්වීම ආණ්ඩුවක ස්ථාවරත්වයට ප්‍රබල බාධාවකි. ඒ නිසාමදෝ රන්ජන්ව අත්අඩංගුවට පත්වූ සැනෙන් ආණ්ඩුවේ දෘෂ්ටිවාදී ආරක්ෂකයන් යැයි සිතා සිටින පිරිස් වහා ක්‍රියාත්මක විය.

ඒ අතරින් පෙරමුනට ආවේ තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකරයි. ඔහු ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කීවේ ජනාධිපතිවරයා එක් මගකත් පොලීසිය තවත් මගකත් ගමන් ගන්නා බවත් පොලීසියේ ක්‍රියාව තමන් අනුමත නොකරන බවත් ය. සබරගමුව විශ්ව විද්‍යාලයයේ ජර්මන් භාෂාව පිළිබද කථිකාචාර්ය හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සමීපතමයකු වන මහින්ද පතිරණ ද දිගින් දිගටම පොලීසියේ ක්‍රියාව ප්‍රශ්න කරමින් තම ෆේස්බුක් ගිණුමේ සටහන් තබන්නට විය. මීට අමතරව රාජපක්ෂවාදී ෆේස්බුක්කරුවන් ද විවිධ අන්දමින් උත්සාහ කළේ රන්ජන්ව අත්අඩංගුවට ගැනීම පොලීසියේ අවශ්‍යතාවක් මිස ආණ්ඩුවේ අවශ්‍යතාවක් නොවන බව ඔප්පු කරන්නට ය. එහෙත් මේ සියළුදෙනා විහිළුකරුවන් බවට පත්වූයේ ජනප්‍රිය ප්‍රහසන නළු බන්දු සමරසිංහ විශාල අගාධයකට ඇද දමමිනි. 

ආණ්ඩුවේ කේවට්ටයන් උත්සාහ ගන්නේ රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම් වැනි විහිළු සහගත ක්‍රියා ආණ්ඩුවේ වුවමනාවන් නොව පොලිස් කොමිසමේ හා පොලීසියේ අවශ්‍යතාවන් බව හගවා මහජනතාවගෙන් එල්ල වන විරෝධය සමහන් කර ගන්නට ය. එහෙත් ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ ආණ්ඩුවේ කේවට්ටයන් ද මේ දුර්වල තර්ක වලින් ආණ්ඩුව බේරා ගැනීමට මහන්සි වුවද සිදුවන්නේ ආණ්ඩුව තව තවත් හාස්‍යයට ලක්වීමයි. ඊට හේතුව අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ පොලිස්පතිවරයාත් නීතිපතිවරයාත් හා විෂයභාර අමාත්‍යවරයාත් මිස පොලිස් කොමිසම නොවීමයි. පොලිස් කොමිසම සතු වගකීම පැහැදිලිවම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් වේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 ඒ පරිච්ඡේදයේ සදහන් වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය හා නිලධාරීන්ගේ ස්ථාන මාරු, උසස්වීම් හා විනය සම්බන්ධයෙන් වන කාරණා හැරුන කොට පොලිස් පනත හා අපරාධ නීතියට අයත් අනපනත් වලින් ලැබී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට පොලිස් කොමිෂන් සභාවට බලයක් පවරා නොමැත. එවැනි අපරාධ නීතිය මගින් පැවැරී ඇති වගකීම ක්‍රියාත්මක වන්නේ පොලිස්පති විසින් වන අතර ඊට අවශ්‍ය උපදෙස් නීතිපති විසින් ලබා දේ. අනෙක් සෑම රාජ්‍ය ආයතනයකම මෙන්ම විෂය භාර අමාත්‍යවරයා මගින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාත් විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයාත් බැදී සිටී. 

කෙටියෙන් පවසනවා නම් යම් පුරවැසියකු කුමන හෝ චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ පොලිස්පතිට හා නීතිපතිට ය. ඒ අනුව අදාළ විෂය භාර අමාත්‍යවරයාත් , අමාත්‍ය මණ්ඩලයත් හා ජනාධිපතිවරයාත් එවැනි ක්‍රියාවකට වගකීම භාර ගත යුතු ය. අපරාධ නීතිය යටතේ පොලීසිය ක්‍රියාත්මකවන විට ඊට පොලිස් කොමිසම වගකිව යුතු යැයි කීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම නූගත්කම කියාපෑමකි. 

එහෙත් ආණ්ඩුවේ කේවට්ටටයන්ට අවශ්‍යව ඇත්තේ තමන් විහිළුකරුවන් බවට පත්වෙමින් හෝ ආණ්ඩුවේත් ජනාධිපතිවරයාගේත් හොදනම රැක ගන්නට ය. ඒ සදහා මේ කේවට්ටයන් දරන මහන්සියෙන් නැවතත් වටයකින් අමාරුවේ වැටෙන්නේ තමන් විසින් ආරක්ෂා කරන්නට යන ආණ්ඩුවම ය. ඊට හේතුව වන්නේ පුද්ගලයකු අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් නැතැයි කීමත් සමග රට තුළ අරාජිකත්වයක් ඇතැයි වක්‍රව පිළිගැනීම ය. 

පොලීස්පතිවරයා හෝ නීතිපතිවරයා හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට පටහැනිව රාජකාරී කරයි නම් ආණ්ඩුවක් විසින් කළ යුත්තේ විධිමත් පරිදි ක්‍රියා කර ඔවුන්ව ඒ තනතුරු වලින් ඉවත් කිරීම ය. එවැන්නකට යම් කාලයක් ගත වන්නේ නම් සිදුවන ක්‍රියාකාරකම් වලට තමන්ට වගකිව නොහැකි බවට ආණ්ඩුවක් වශයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම ය. එහෙත් එවැනි කිසිම ප්‍රකාශයක් නොකරන ආණ්ඩුව තම අපුල්ලන්නන් ලවා ආණ්ඩුව ගලවා ගැනීමට ප්‍රයත්න දැරීම විහිළුවකි.

පොලීසිය හා නීතිපතිවරයාගේ කටයුතු වලට ආණ්ඩුවට වගකිව නොහැකි නම් හෝ එම ආයතන හිතුමනාපේ කටයුතු කරන්නේ නම් හෝ රට තුළ මතුව ඇත්තේ අරාජික තත්ත්වයකි. මේ ආණ්ඩුව බලයට ආවේම එවැනි අරාජිකත්වයකට ඇගිල්ල දිගු කරමිනි. මෛත්‍රී/රනිල් යහපාලනයේ බෙලහීනකම නිසා රටම අරාජික වන්නේ යැයි කිවූ දේශපාලන ව්‍යාපාරයක් බලයට ආ පසුවත් රටතුළ ඇත්තේ අරාජිකත්වයක් නම් එය පැහැදිලිවම ඔවුන්ගේ අසමත්කමකි. ඒ අසමත්කම ඉක්මවා යන්නට ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට හෝ නොහැකිවීම ඔවුන්ගේ පෞර්ෂය පිළිබද ප්‍රශ්නයකි.

ඔවුන් විසින්ම කොන්ද පණ නැති පෙන්දෙකු යැයි අපහාස කරමින් බලයෙන් පහ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට වඩා ශක්තිමත්ව කටයුතු කළේ ය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී වගකීම් පැහැර හැරියා යැයි චෝදනා එල්ල කිරීමට සමාන්තරව හිටපු පොලිස්පතිවරයාව අනිවාර්ය නිවාඩු යවා පොලිස්පති ධූරයට වැඩ බලන පදනමෙන් නිලධාරියකු පත් කිරීමට ඔහු බිය නොවීය. එහෙත් වර්තමානයේ රාජකාරී කරන්නේ වැඩ බලන පොලිස්පති කෙනෙකු වුවත් ඔහුව ඉවත් කර ගන්නට වත්මන් ආණ්ඩුවට නොහැකිවීම ආණ්ඩුවේ පෞර්ෂ දුර්වලතාවකි.  එම දුර්වලතාව වසා ගැනීම සදහා පොලිස් කොමිසමට චෝදනා කිරීම හෝ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට බැන අඩ ගැසීම හෝ බොළදකමකි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට එරෙහිව යන්නේ යැයි චෝදනා කළ ද   වැඩ බලන පදනමෙන් සිටින පොලිස්පතිවරයා හෝ ඉවත් කරන්නට ආණ්ඩුවට ශක්තියක් නොමැත. එපමණක් නොව පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට එරෙහිව යන්නේ නම් එය බරපතල ප්‍රශ්නයක් බැවින් තමන් පත්ව ඇති අපහසුතාව තමන්ට ජනවරමක් දුන් මහ ජනතාවට ප්‍රසිද්ධියේ පවසන්නට හෝ ආණ්ඩුවට නොහැකිය. සියළු කරුණු වලින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ කේවට්ටයන් නටන්නට හදන තොවිලය සම්බන්ධ තොරතුරු ය. කේවට්ටයන්ගේ කාර්ය වී ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මත සියළු වැරදි පටවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නට පොටක් පාදා ගැනීම ය. එහෙත් මෛත්‍රී/රනිල් ආණ්ඩුවට 19 වන සංශෝධනය සම්මත කර ගන්නට අවශ්‍ය 2/3 බලය ලබා දුන්නේ රාජපක්ෂවරුන් බව කේවට්ටයෝ අමතක කරති. 

රටක නීතිය ක්‍රියාත්මක කරවීමේ දී පොලිස් කොමිසම අතිශය වැදගත් ය. එහෙත් පොලිස් කොමිසමට උත්තරීතර භාවයක් හා ස්වාධීනත්වයක් ඇති වෙන්නේ මැතිවරණයකින් තෝරා පත් කර ගන්නා දේශපාලන ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී වූ විට ය. නමුත් මැතිවරණයක දී ප්‍රජාතන්ත්‍රවාදය නොපිළිගන්නා  ගෝත්‍රික දේශපාලන ව්‍යාපාරයක්  බලයට පත්වූ විට සමස්ත සංදර්භයම වෙනස් වේ. මේ වනවිට රට තුළ උදා වී ඇත්තේ එවැනි තත්ත්වයකි. යහපාලනයක් සදහා අවශ්‍යම ස්වාධීන කොමිසම් සභා බලාත්මකව ඇතත් මහජන වරම ලැබී ඇති ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ශේප කරන්නකි. ගෝත්‍රික සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය කර පින්නා ගත්තකි. එවිට සමස්ත රාජ්‍යකරණය තුළින් නිර්මාණය විය යුතු යහපාලනය සිදු නොවේ. ඊට හේතුව ස්වාධීන කොමිසම් සභාවන් නොව මහජනතාව විසින් වැරදි දේශපාලන ව්‍යාපාරයක් තෝරා ගැනීම ය.

රාජපක්ෂවරුන් ජනාධිපතිවරණයේ දී කිව්වේ යහපාලන ආණ්ඩුවට පෞර්ෂයක් නැති බව ය. ජාතික ආරක්ෂාව අනතුරේ බව ය. ජාතික සම්පත් විදේශිකයන්ට විකුණන බව ය. සංහිදියාව නම් කොන්ද පණ නැති කමෙන් උතුරේ කොටි යළි නැගිටින බව ය. ඉන්ධන මිල සූත්‍රය නිසා දේශීය පාරිභෝගිකයා ගසා කන බව ය. එහෙව් රාජපක්ෂවරුන් බලයට ආ පසුව ද ගමන් කරන්නේ යහපාලකයන් ගමන් ගත් මගෙහිම ය. ගුවන් යානාවක් කඩා වැටී තරුණ නිලධාරීන් හතරදෙනෙක් මිය යන අතර සෙබලකුගේ ගෙලට පිහිය තබා ගිහි අවිය පැහැර ගනී.  පුරුදු පරිදි උතුරේ මළවුන් සැමරූ අතර ඉන්ධන මිල සූත්‍රය ද යළි ක්‍රියාත්මක වේ. කොටුවේ ආණ්ඩුවට අයිති අක්කර තුනක් සිංගප්පුරුවට විකුණන අතර විදේශ ආයෝජන වල ගුණ වැයෙමින් පවතී. 

ගිය ආණ්ඩුව විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා විට නිරුවත් බවට පත්වූයේ වරද කළවුන් ය. මේ ආණ්ඩුව විසින් පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා විට නිරුවත් වන්නේ ආණ්ඩුවම ය. ආණ්ඩුවේ දේශපාලන හැසිරීම විහිළුවක් වී මහ ජනතාව විනෝද වීමට පටන් ගෙන ඇත. ඒ විනෝදය දේශපාලන වෙනසක පළමු අඩිතාලම බව විපක්ෂය තේරුම් ගත යුතු ය.  අවාසනාවට හේතුව තවමත් සියළුදෙනා ආණ්ඩු පක්ෂය සමග සමාන්තරව සිටීම ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *