බැඳුම්කර නඩුවත් හකුලා ගනී !

බලයට පත් වූ වහාම බැදුම්කර හොරුන්ට දඩුවම් දෙන බව කියා බලයට පැමිණි පොදුජන පෙරමුණු ආණ්ඩුව බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බව ප්‍රථම වතාවට ඊයේ පිළිගත්තේය . පුවත්පත් සාකච්චාවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ සිංගප්පුරු රජය අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට භාරදෙන තෙක් බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බවයි .

කෙසේ වෙතත් නීතිවේදීන්ගේ මතය නම් විත්තිකරුවන් නොමැතිව නඩු විභාග පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන අපගේ නීතියේ තිබෙන බවයි . එබඳු නඩු විභාග පිළිබඳව පුර්වාදර්ශ ද ඇත. දේශපාලන නිරීක්ෂකයන් කියන්නේ ආණ්ඩුව ව්‍යාජ හේතුවක් ඉදිරි පත් කරන බවයි .

දින 52 ආණ්ඩුව  පැවති සමයේ ප්‍රසිද්ධ පුවත්පත් සංවාදයකට එක් වූ හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා කිවේ බැඳුම්කර ගනුදෙනුවේ දී වංචාවක් සිදුවූ බවක් ජනාධිපති කොමිසම තීරණය කොට නැති බවයි . කොමිසම කියා ඇත්තේ රජයට පාඩුවක් සිදු වී ඇති බව පමණක් යයි කී හිටපු ඇමතිවරයා වැඩි දුරටත් කිවේ ගනු දෙනුවක දී පාඩු සිදු වී යයි හෝ ලබා ලැබී යයි කියා දඩුවම් දීමේ ක්‍රමයක් තමා  නොදන්නා බවයි .

බැඳුම්කර නඩුව පැවරීමේදී  නීතිපති දෙපාර්තමෙන්තුවේ ඇතැම් නිලධාරීන් ක්‍රියාකොට ඇත්තේ හිටපු දේශපාලන බලවතකු සතුටු කිරිමට ක්‍රියාකිරීම පමණක් බවට ද අදහස් පල වී ඇත . නිශ්චිත චෝදනා කිහිපයක් වෙනුවට කනා පල්ලම් ගහන ආකාරයට චෝදනා දහස් ගණනක් ඉදිරිපත් කිරීමත් , නඩුව සදහා ලියකියවිලි පිටු දස දහස් ගණනක් ඉදිරිපත් කිරීමත් සිදු වී ඇත්තේ ඒ අනුව බව කියති . මෙම නඩුව ඉදිරිපත් කොට ඇත්තේ විනිසුරු වරයකුගේ ජිවිත කාලයේදී විමසා අවසන් කළ නොහැකි ආකාරයෙනි .

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සිංගප්පුරු රජයට ද ලිය කියවිලි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත . ඒවා ගැන තීරණයක් ගැනීමට ද විශාල කාලයක් ගතවනු ඇත .

මේ සියල්ලෙන් පෙනෙන්නේ මෙය “ රාජා හෝ මා හෝ ගංගා හෝ “ වර්ගයේ නඩුවක් බවයි . ජනතාව තොවිලය බල සිටින අතර තොවිල් කරුවෝ තම සිතැගි ඉටු කරගෙන හමාරය . පෙනෙන්නට තිබෙන්නේ ඔවුන්ටද තොවිලය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *