පැවති සෑම ආණ්ඩුවක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවයයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

පැවති සෑම ආණ්ඩුවක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට තම ධූර කාලයේ දී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කෙළේය. මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (31) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කෙළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

ජනතා යහපත උදෙසා රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුක්ත විය යුතු බවත් සියලුම රාජ්‍ය සේවා සරල ක්‍රමවේදයක ක්‍රියාත්මක විය යුතු බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු අතර, සියලු රාජ්‍ය සේවාවන් සරල සහ ජනතාව අපහසුතාවයට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බව ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය නැවත තහවුරු කිරීම ලක්ෂ 15 ක් වන සමස්ත රාජ්‍ය සේවයකයන්ගේ ප්‍රමුඛ වගකීමක් බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා විවෘත සංවාද, සාකච්ඡා සහ නොසඟවා ගැටලු ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වන බවද කීය. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවක් සහ වෘත්තීය නිපුණතාවක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කෙළේ ද රාජ්‍ය සේවය රටේ කොදුනාරටිය නිසා බවද බව ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය සේව සියලු අක්‍රමිකතා බැහැර කළ යුතු අතර, දෛනික ජන ජිවිතයට වැදගත්වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට තමා බුද්ධි අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇතැයි රාජපක්ෂ මහතා කීය.

රාජ්‍ය සේවකයෙකු දූෂණ හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරා තිරම නොබලා දඬුවම් දෙන බව පැවසූ ජනාධිපතිවරයා යළි කිසි දිනක ඔහුට රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදෙන බව ද අවධාරණය කෙළේය.

අල්ලස් ගන්නන් සේම, දෙන්නන්ද නීතියේ රැහැනට හසු කර ගැනිමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කීවේය. විදේශීය ආයෝජකයන් තුළ මෙන්ම සමස්ත ලෝකයේම රට පිළිබඳ පැහැදීමක් ඇති වන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරිත්වය මතයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇතුළු පහසුකම් වැඩි කළ හැක්කේ ද රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමෙනි. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයන් සහ කෘෂි කර්මාන්තය ඇතුළු රැකියාවල නිරත ජනතාව උපයන ආදායමෙනි. එහෙයින් සමස්ත ජනතාවට කාර්යක්ෂම සහ පවිත්‍ර රාජ්‍ය සේවයක් ලබාදීමට සියලුම සේවකයන්ගේ ප්‍රමුඛ වගකිමකි. මහජන සේවා කාර්යක්ෂමව ඉටු කිරීමේ දී දත්ත ජාල ගත කිරීම, නව තාක්ෂණික ක්‍රමෝපාය අනුගමනය කිරීම මෙන්ම සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යයයි.

ජනාධිපතිතුමාගේ චාරිකාවෙන් අනතුරුව වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්ව ද සමාලෝචනයට ලක් විය.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී කළ යුතු වෛද්‍ය පරීක්ෂණය ද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු විය. එම ක්‍රමවේදයේ සංකීර්ණභාවය පැහැදිළි කළ ජනාධිපතිතුමා සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බව පෙන්වා දුන්නේය. එම පරීක්ෂාව ද රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බැලිමට තීරණය කෙරිණි. පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියැදුරු බලපත්‍ර සඳහා සීමා කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේය. මතුව ඇති ගැටලු ඉතා කෙටිකලකදී නිරාකරණය කරමින් ජනතාව අපේක්ෂා කරන ප්‍රශස්ත සේවාව ලබාදීමට කැපවන ලෙස ජනාධිපතිතුමා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

මහින්ද අමරවීර, දිලුම් අමුණුගම යන අැමැතිවරුන් ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරු සහ ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ආයතන කිහිපයක නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

චමීර ඇල්ලදෙණිය සහ නුවන් කොඩිකාර – දිනමිණ

 ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *