MCC ගැන ජනාධිපතිවරණයට කලින් කියපුවා විතරක් සලකන්න ජනපතිට දැන් බෑ – මහාචාර්ය චන්න ජයසුමන

මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට පෙර තමන් ඇතුළු පාර්ශ්ව පැවසූ කරුණු මත පමණක් පදනම් වෙමින් තීන්දු තීරණ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන් හැකියාවක් නොමැති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 

ඒ අනුව එම ගිවිසුම කුණු කූඩයට දැමිය යුතුය යන ස්ථාවරයෙහි එදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියත් වගකිවයුතු ජනාධිපතිවරයකු ලෙස රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධ ක්‍රමානුකූල අධ්‍යනයක් සිදුකර අදාළ තීන්දු තීරණ ගැනීමේ යුතුකමක් ඔහුට පවතින බවයි මහාචාර්යවරයා සඳහන් කළේ. 

“MCC ගිවිසුම පිළිබඳ ජනාධිපතිවරණ සමයේ අධ්‍යනය කළේ මේ රටේ මහා සංඝරත්නය සහ විද්වතුන් විසින්. ඔවුන් අධ්‍යනය කරලා පැවසූ දෙයක් තමයි, මෙය රටට කිසිසේත්ම සුදුසු නැති ගිවිසුමක් කියලා. 

අප ඒ ස්ථාවරයේ සිටියා. ජනාධිපතිවරණ සමයේ ජනාධිපති අපේක්ෂකයා විසින් ඒ ස්ථාවරය දැරුවා මෙය කුණු කූඩයට දැමිය යුතුයි කියලා. 

හැබැයි ඒ ජනාධිපති අපේක්ෂකයා අද මේ රටේ විධායක ජනාධිපතිවරයා. ඔහුට බැහැ ජනාධිපතිවරණයට පෙර පාර්ශ්ව පැවසූ දේ පමණක් සලකලා බලලා තීන්දු තීරණ ගන්න. වගකිව යුතු ජනාධිපතිවරයෙක් හැටියට ඔහුට යුතුකමක් තියෙනවා මේ පිළිබඳ ක්‍රමානුකූලව රජය පාර්ශ්වයෙන් අධ්‍යනයක් කරලා ඒ තීන්දුව ගැනීම සඳහා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ පෙරේදා (29) නොච්චියාගම ප්‍රදේශයේදී පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. 

RN

LANKA NEWS WEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *