ජාතික ගීය දෙමළෙන් ගැයීම ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතියක්, ඒක වළක්වන්න කාටවත් බෑ ! – වාසුදේව

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් ජාතික ගීයට හෝ කිසිදු ජාතියකට හෝ හානියක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. දෙමළ භාෂාවෙන් ගායනා කිරීම දෙමළ ජනතාව‍ගේ අයිතියක් බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති අයිතියක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

පසුගිය ආණ්ඩුව සමයේ නිදහස් දින උත්සවය ආරම්භයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් සහ අවසානයේදී දෙමළ භාෂාවෙන් ගායනා කිරීම හඳුන්වා දුන් බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ, එය පසුගිය රජය විසින් ගත් ඉතාම වැදගත් තීරණයක් බවයි.

දෙමළ ජනතාවට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගැයීම සඳහා අවස්ථාව ලබාදීමෙන් ඔවුන්ද සමාන අයිතිවාසිකම් සහිත ශ්‍රී ලාංකිකයන් බව ඔවුන්ටම තහවුරු වන බවත් එය ඉතා හොඳ ප්‍රවණතාවයක් වන බවත් වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

දෙමළ ජාතිකයන් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම වැළැක්වූයේ ප්‍රභාකරන් විසින් බවත්, ත්‍රස්තවාදය අවසන් වී ඇති පසුබිමක දෙමළ ජාතිකයන්ට ඔවුන්ගේම භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති අයිතියට එරෙහි වීමට කිසිදු පුද්ගලයෙකුට හැකියාවක් නොමැති බවත් ඇමතිවරයා පවසයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *