‘ලංකාව ලබන වසරේදී ඩොලර් බිලියන 4.8 ක විදෙස් ණයක් ගෙවිය යුතුයි‘‘ – මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකාව ලබන වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

ඒ සඳහා මුදල් ගෙවීම, මුදල් ගෙවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ආණ්ඩුව බව ද හෙතෙම කීය.

මේ වසරේ 8 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී ආචාර්ය වීරසිංහ මහතා ඒ කරුණු කීවේය.

එහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කීය.

“ලබන වසරේදී ණය සේවා පිරිවැය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක මුදලක් ගෙවන්න තියෙනවා. ඒ සඳහා මුදල් සොයාගන්නේ කොහොමද ගෙවීම් සිදු කරන්නේ කොහොමද යන තීරණ ගත යුත්තේ ආණ්ඩුවයි.

වාණිජ වෙළෙඳපොළවලින් මුදල් සොයාගන්නවාද කොහොමද කියන තීරණ ගන්න ඕනෑ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව ඉන්නේ අතුරු සම්මත ගිණුමක් යටතේ. පසුගිය ආණ්ඩුවට සැලැසුම් තිබුණා ඒ සම්බන්ධයෙන්. දැන් අලුත් ආණ්ඩුවක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නව තීරණ ගත යුතුයි.

කොහොම නමුත් අපි මුදල් ප්‍රමාණයක් සොයාගත යුතුව තිබෙනවා. පසුගිය සමයේදී සොයාගත් මුදල් ප්‍රමාණයක් අප සතුව තිබෙන නමුත් තවදුරටත් මුදල් අවශ්‍ය වෙනවා. වාණිජ මූල්‍යකරණය මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් හෝ අදාළ මුදල් සොයාගන්න අවශ්‍යයි. කොහොම නමුත් මේ සම්බන්ධ තීරණ ගන්නේ ආණ්ඩුව.

ණය මුදලෙන් විශාල මුදලක් ගෙවන්න තියෙන්නේ ලබන ඔක්තෝබර් මාසයේ. එතෙක් අපට සහනයක් තිබෙනවා වගේම සුමට මුදල් ගලාඒමක් තිබෙනවා”.

(හර්ෂණ තුෂාර සිල්වා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *