ව්‍යවස්ථාව වෙනස් කරනවාට කැමතියි, ඒත් නම නිසා අකැමැතියි ලු

ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත්කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට එකග නමුත් පවතින ව්‍යවස්ථාවට පිටින් ගොස් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරනවාට තමන් විරුද්ධවන බව විපක්ෂ සන්ධානයේ පෙරගමන් කරුවෙකු වූ වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශකර ඇති බව වාර්තාවේ.
72 දී මෙන් පවතින ව්‍යවස්ථාවට පිටින් නොගොස් ව්‍යවස්ථා විධිවිධාන වලට අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතුකරන බව පසුගිය දා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මාධ්‍යට පැහැදිළිවම ප්‍රකාශ කළේ ය. එසේ තිබියදීත්, නානායක්කාර මහතා මෙසේ ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට බව තතුදත් දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
නව ව්‍යවස්ථාවක් ස්ථාපිතවීම කඩාකප්පල්කාරි කිරීමේ පියවරක් ලෙස දැනට යෝජනා වී ඇති පාර්ලිමේන්තු කෙටුම්පත් කමිටුව යන සංඥා නාමය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සභාව ලෙස එය වෙනස්විය යුතු බවට වාසුදේව මහතා යෝජනාකර ඇති බව වාර්තාවේ. මෙවැනි වැඩකට නැති යෝජනා වලින් බලාපොරොත්තු වන්නේ, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය විවිධාකාර බලපෑම් මගින් කඩාකප්පල් කිරීමට බව දැනගන්නට තිබේ.
මේ අතර පසුගිය දා මහාචාර්ය ජී. එල්. පිරිස් මහතාගේ ගෙදරට රැස් වූ විපක්ෂ සන්ධාන රැස්වීමේ දී මහාචාර්ය පීරිස් මහතා ප්‍රකාශකර ඇත්තේ, මෙය විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට නොව රටේ ඒකීය භාවය නැති කිරීමට දරණ උත්සහායක් බව ය. මේ පිළිබඳව යුක්තිය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, ව්‍යස්ථා කටයුතු පිළිබඳ හිටපු ඇමතිවරයා වන ජී. එල්. පීරිස් මහතා 2000 දී ගෙනෙන ලද ව්‍යවස්ථා කෙටුම්ත පිළිබඳ දැන් අමතක වී ඇති බව කියා සිටියේ ය. නව ව්‍යවස්ථා කෙටුම්පතවත් සකස්කර නොතිබිය දී මහාචාර්ය පීරිස් මහතා මෙසේ පූර්ව නිගමනයක සිට අදහස් ප්‍රකාශ කරන්නේ ඇයි ද යන්න තීරණය කිරීමට තරම්, අසන්නන්ට බුද්ධියක් තිබිය යුතුබව ආචාර්ය වික්‍රමරත්න වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *