රනිල් පක්ෂ නායකත්වය අත්හැර සජිත්ට දිය යුතුද? – තිලක් දෙමටමල්පිටිය අසයි

රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වය අත්හැර එය සජිත් ට දිය යුතුයැයි මේ වනවිට පළවන අදහස් හා මතිමතාන්තර එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්ම ඇසේ.

සැබවින්ම රනිල් පක්ෂ නායකත්වය අත්හැරිය යුතු දැයි සිතා බැලීමේ දී පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත්ට අත්වූ ඉරණම ට වගකිව යුත්තේ වෙනින් කවුරුවත් නොව සජිත් ඔසවා තැබූ පිරිසම බව පැහැදිළිය.

2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සජිත්ට දිය යුතු යැයි කෑ ගැසූ, අරගල කළ කණ්ඩායම දෙස බලන විට ඔවුහු ම නැවත වරක් සජිත්ට විපක්ෂ නායකකම දිය යුතුයැයි හඩ නගති. විපක්ෂ නායකකම දුන් පසු දැන් පක්ෂ නායකත්වයත් දිය යුතු යැයි නාහෙන් ඇඩීමට පටන් ගෙන ඇත්තේ අන් කිසිවක් නිසා නොව නටන්නට බැරි එකාට මහපොළව ඇදයි කිව්වාක් මෙනි. 

සජිත් පාඩමක් ඉගෙන ගත්තා නම් එම පාඩම කුමක්ද? 

සජිත් යනු මේ මහපොළවේ නටන්නට හැකි මිනිසෙක් නොවන බව ඔප්පු කළ අවස්ථා ගණනකි. සජිත් චරිතයක් ලෙස ගත් විට මුළුමනින්ම අසාර්ථක චරිතයකි.  සජිත්ගේ චරිතය පසුගිය මැතිවරණය තුළ පුම්බන්නට කෙතෙක් උත්සාහ ගත්තත් ඔහු කිසිසේත්ම පිම්බිය හැකි චරිතයක් නොවන බව ඔහුම අවබෝධ කරගෙන සිටියේ නැත. 

අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර පහ තුළ ආණ්ඩුව කළත්, එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක හෝ ආණ්ඩුවක් පැවැති බවක් මහජනතාවට දැනුනේ නැත. එවැනි ආණ්ඩුවක ගිනිපෙට්ටි වැනි ණයට ගෙවල් ටිකක් හැදූ පළියට පොරක් වෙන්නට තැත් දැරූ සජිත් ජනාධිපතිවරණයෙන් කිසියම් පාඩමක් ඉගෙන ගත්තා නම් එම පාඩම කුමක්දැයි ඔහු පවා තවම අවබෝධ කරගෙන නොසිටීම එක්තරා අන්දමකට දෛවයේ සරදමකි. 

සජිත් වරද්දා ගත් තැන් එකක් දෙකක් නොවේ. කිහිපයකි. ඔහු නිවාස අමාත්‍යාංශයේ වැඩ කරපු වැඩකාරයෙක් යැයි මහජනතාවට පෙන්නුම් කළත් සැබෑ වටහා ගැනීම ම වැරදිය. නිවාස ලබා දීමේ දී බොහෝ විට  ලබා දුන් නිවාස සියල්ලම පාහේ අඩු ආදායම්ලාභීන් රුපියල් ලක්ෂ පහලොහක ණයකරුවන් බවට පත් කරන ලද ඒවාය. හම්බන්තොට සජිත් හදපු ගම්මාන රාශිය දෙස බලන විට ඒ ගම්මාන වල උදවිය ඡන්දය පාවිච්චි කළා නම් අඩු තරමින් ඡන්ද තිස් හතළිස්දාහක් ඉන් උපයා ගත හැකිව තිබිනි.

සජිත්ට ‌මෙවැනි ඉරණමක් අත්වූයේ ඇයි?

එහෙත් ඔහුට එවැනි ඉරණමක් අත්වූයේ ඇයි? අන් කිසිවක් නිසා නොව මෙම කුකුළ් කූඩු ඉදි කිරීම මිස සජිත් ජාතික නායකත්වයට සුදුසු යැයි සනාථ කළ හැකි කිසිවක් ඔහු විසින් වසර 25ක දේශපාලන ජීවිතය තුළ උපයා සපයාගෙන නොතිබීමයි. ආරම්භයේ පටන්ම හම්බන්තොට දේශපාලනය කළත්, හම්බන්තොට මහජනතාවගේ හදගැස්ම හා නාඩිය සජිත් තේරුම් ගත්තේ නැත. 

අනික් කාරණය නම් සජිත් පරාජයට පත් කළ අනික් කාරණය නම් ඔහු තමන් ගැන අතිශයෝක්තියෙන් ගොඩ නගාගෙන තිබූ ප්‍රතිරූපයයි. ඔහු තමන්ට දැවැන්ත ප්‍රතිරූපයක් මහජනතාව විෂයයෙහි ඇතැයි සිතුවත් එය බොල් පිලිමයක් බව ඔහු දැන සිටියේ නැත. 

රාජපක්ෂ පරම්පරාව  වැනි දැවැන්ත ගල් පිළිමයක් අබියස ප්‍රේමදාස පරම්පරාව යනු බොල් පිලිමයක් මිස වෙනත් දෙයක් නොවේ. අපේ රටේ මහජනතාවගේ සිත තුළ රාජපක්ෂලා ලැගුම් ගෙන සිටින තරමට ප්‍රේමදාසලා ලැගුම් ගෙන නැති බව සජිත් වටහාගෙන සිටියේ නැත.

රාජා හෝ මා හෝ, ගංගා හෝ..

අනික් අතට සජිත් පිළේ අජිත්ලා, හැර සුජියලා, කබියලා, හරියලා දැන් කතා කරන්නේ නැත. අජියට දැන් යන්න වළක් නැත. එල්ලෙන්නට වැළක් ද නැත. ඒ නිසා ඔහු රාජා හෝ මා හෝ, ගංගා හෝ යැයි කියමින් සජිත් ට පක්ෂ නායකත්වය ලබා දෙන්නට යැයි කරන විකාර කතා මෙළො රහක් ද නැති බව සිහිපත් කළ යුතුය. 

මේ රටේ දේශපාලනය තුළ තමන් අතේ තිබු ආණ්ඩුව බුද්දභොගයටම නිදහසේ භුක්ති විඳීමට පවරන්නට එක්සත් ජාතික පක්ෂයට සිදු වුයේ එක්තරා අන්දමකට මෑත කාලය තුළ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කිරීම් කලාව අවබෝධ කරගෙන නොසිටි නිසාය. 1970 මහමැතිවරණය පරාජයෙන් පසු ජේ. ආර්. ජයවර්ධන මහතා කටයුතු කළා සේ හෝ, 2015 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා නැවත රාජ්‍ය බලය ගැනීමට සැළසුම් කළා සේ සටන මූළික  අවතීර්ණ වීමක් හෝ සිදු කිරීමට මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට නොහැකි වුයේ සජිත්ලාගේ හා අජිත් ලාගේ පළක් නැති පාරම් බෑම් නිසාය. 

ඇත්තටම  ජයග්‍රහණයෙන් පසු රෑට රෑට ගෙවල්වලට පැමිණ මහජනතාවගේ දුක සැප සොයනවායැයි කියූ සජිත් තමන්ට ඡන්දය දුන් ලක්ෂ 35ක් පමණ ජනතාව නොසළකා හැරියේ ඇයිද යන්න ගැටළුවකි.

උතුර නැගෙනහිර ඡන්ද සජිත් ට ලැබුනේ ඔහුට ඇති කැමැත්ත නිසාද?

ලක්ෂ 35ක ජනතාවක් යැයි කියන විට කිසිවෙකුට ඒ ගැන කුතුහලයක් ඇතිවෙන්නට පිළිවන. සජිත් ඡන්ද ලක්ෂ 55ක් ගත් බව සැබෑය. නමුත් ඉන් දෙමළ සන්ධානය ඇතුළු ඡන්ද ලක්ෂ 20 ක් පමණ ලැබුනේ සජිත්ගේ හොඳකම නිසා හෝ ඔහුට ඇති විශේෂ කැමැත්තක් නිසා නොව රනිල්ට තිබු හිතවත්කම නිසාය. එමෙන්ම දකුණේ හා නාගරික මාධ්‍යම පන්තික එක්සත් ජාතික පක්ෂ ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇදී ගියේ ඔවුන් සජිත්ව ප්‍රතික්ෂේප කළ නිසාය. එමනිසා උතුර හා නැගෙනහිර ඡන්ද සජිත් ට ලැබුනේ ඔහුට ඇති කැමැත්ත නිසා යැයි කෙනෙක් සිතන්නේ නම් සැබවින්ම එය වරදකි. 

එහෙම බලනකොට සජිත්ට මෙවර ලබා ගත හැකිව තිබෙන්නේ ඡන්ද ලක්ෂ 35ක් වැනි ප්‍රමාණයකි. 

වෙනත් ආකරයකට කියනවා නම් මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් ‌හෝ කරු  ඉල්ලුවා නම් අඩු තරමින් සජිත්ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් රනිල්ට ‌හෝ කරුට ලබා ගැනීමට හැකියාව තිබිනි. 

රාජපක්ෂ ගල් පිළිම අසල ඔසවා තැබිය හැකි එකම එක්සත් ජාතික පක්ෂයේ ගල් පිළිමය රනිල් වික්‍රමසිංහය. එයට හේතුව රනිල් යනු තමන් ඇමතිකම් කළ කාලය තුළ මහජනතාව රැවටීමට ව්‍යාපෘති කළ අයෙක් නොවේ. රනිල් හැදූ ජාතික තරුණ සේවා සභාව, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, තාක්ෂණ විශ්ව විද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය, නිදහස් වෙළෙඳ කළාප  වැනි ව්‍යාපෘති මෙතෙක් කිසිදු රජයකින් හෝ ප්‍රතික්ෂේප වී නොමැතිය.

කරුමය නම් රනිල් චරිතය මාර්කට් නොවීමය..

එහෙත් කරුමය නම් රනිල් නැමැති චරිතය මාර්කට් නොවීමය. රනිල් මාර්කට් කිරීමට තිබු අවස්ථාවන් අහිමි කළේ බුදු පිළිම අතින් උස්සාගෙන සිටි, සමලිංගික සේවනය නීතිගත කිරීමට උත්සාහ කළ මංගල ලා ය. එපමණක් නොව තම පක්ෂයේ නායකයා විවේචනය කරමින් ඔහු පන්නා දැමිය යුතුයැයි බාල කතා මාධ්‍යයට කියමින් නායකයා පිළිබඳ විශ්වාසය බිඳ දැමූ හරින්ලා ය.

එමෙන්ම රනිල් මාධ්‍ය නඩය ද ඔහු විනාශ කළේය. ඇතැම් විට ගංවල මිනිස්සු කියන්නේ කිසියම් අයෙකුට විනාශයක් පැමිණි කළ හරියට තුං කඩහරි වුනා  වාගේ කියායි. රනිල් විනාශ කිරීම ද මේ තුං කඩ හරි වුනා වැනි කණ්ඩායම් බලපෑවේය. 

අනික් අතට රනිල් ද තමන්ගේ විනාශයට පාර කපා ගත්තේ ඔහු විසින් උපදේශකයින් ලෙස පත් කරගෙන සිටි මහළු ජටිලයින් දෙදෙනා මගිනි. එම මහළු ජටිල දෙබෑයෝ රනිල් දෙපස සිට රනිල්ගේ ඉහමොළ සූරාගෙන කෑවෝය. එහෙත් ඔවුන් සූරන්නේ තමන්ගේ ඉහමොළ බව රනිල් ද දැන සිටියේ නැත.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිය ගැන කිසියම් අයෙක් කල්පනා කරන්නේ නම්, රනිල් ට ගැළපෙන විකල්පයක් මෙතෙක් එක්සත් ජාතික පක්ෂය තුළ නොමැතිබව කිව යුතුය. රනිල් සතු දූරදර්ශිබව, ඉවසීම, මෙන්ම ඔහු තුළ ඇති නායකත්වයේ ගුනාංග ගත් කළ රනිල් අසළ සජිත්ට හිට ගෙනවත් සිටිය  හැකි නොවේ.

සජිත් ජනාධිපති වී නම් ණය මිලියන 260 ‌ගෙවන්න බලාගෙන සිටියේ ජනාධිපති පඩියෙන්ද ?

සජිත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අපේක්ෂාවෙන් කටයුතු කළා නම් , ඔහුට ආරම්භයේ පටන්ම ඊට ලක ගැහැස්ති වන්නට හොඳටම කාලය තිබිනි. වසර 25ක දේශපාලන ඉතිහාසයක් යනු සුලුපටු කාලයක් නොවේ. නමුත් සජිත් හම්බන්තොටට වී කළ දේශපාලනය  වූ කලී ප්‍රාදේශීය නායකත්වයට ලක ලැහැස්තිවීමක් විනා ජාතික නායකත්වයකට තරම් ප්‍රමාණවත් නොවීය.

රටක නායකයෙක් විය හැක්කේ එක්වර අහසින් කඩා පාත්වන්නෙකුට නොවේ. නායකත්වයක් හිමි වන්නේ ඉතිහාසයක් සහිත පුද්ගලයෙකුටය. සජිත් ඉතිහාසයක් හිමි දේශපාලනඥයෙක් වන නමුත් , ඔහු තමන්ට ඇති අවස්ථාවන් අත් හැරිය හෝ ඔහේ අහිමි වන්නට ඉඩ හැරිය අයෙකි.

2019 ජනාධිපතිවරණ සමයේ දී ඔහු කළ ඇතැම් කතා නිසා බොහෝ මධ්‍යස්ථ ජනතාව ඔහු කෙරෙහි කළකිරුණ බව සැබෑය. ඔහු දැන් කියන කතා නිසාද ජනතාව කළ කිරෙති. තමන් රු. මිලියන 260 ක ණය කාරයෙක් වී ඇතැයි පරාජයෙන් පසු ඔහු කියයි. ඔහු ජනාධිපති වී නම් ඒ මිලියන 260 ‌ගෙවන්න බලාගෙන සිටියේ  ජනාධිපති පඩියෙන්ද ? නැතිනම් මහජන මුදල් ‌මාටියා ගැසීමෙන් ද?  සිරිකොතට ලැබුණු මුදල් පරිත්‍යාග රනිල් ‌වෝක්ෂෝල් වීදියට ‌ගොස් ලබා ‌දෙන්නැයි කීවේ ය. ඡන්දයට සජිත්ට ලැබුණු සියළු මුදල් එකතු ‌කෙළේ ජලනි සහ ඇයගේ සහෝදරයින් ය. ලැබුණු මුදල් ඒ අය මාටියා ගැහුවාද? සජිත් අද කියන කතා නිසාද පාක්ෂිකයෝ කළ කිරෙති.  

ඇක්වා හයිබ්‍රිඩ් සහ ‌ෆෙරාරි ඉලක්ක..

2020 මහමැතිවරණය කුමක් වේදැයි දැන් සියල්ලෝම බලා සිටිති. සජිත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඉල්ලද්දී, රනිල් කියන්නේ මේ තියෙන ඡන්ද පදනම රැක ගත්තොත් පාර්ලිමේන්තුවේ ආසන 103ක් හෝ 10 4ක් ගතහැකි බවයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉළක්කය එවැනි සරළ කාරණයක් නොවේ. ඔහුගේ ඉළක්කය තුනෙන් දෙකේ බලයක් සහිත රජයක් පිහිටුවීමයි.

මෙහිදී මට මතක් වන්නේ 2018 වසරේදි ශ්‍රී ලංකාවේ නිළියකගෙන් මාධ්‍යෙව්දියෙක් මෙසේ අසා තිබිනි. 

2018 ඔබේ ඉළක්කය මොකක්ද?

මගේ ඉළක්කය ඇක්වා හයිබ්‍රිඩ් එකක් මිල දී ගන්න එක.

බොලිවුඩ් සිනමාවේ එක් ප්‍රධාන නලුවෙක් වෙතින් මාධ්‍යෙව්දියෙක් මෙසේ අසා තිබිනි.

2018 ඔබේ ඉළක්කය කුමක්ද?

මගේ ඉළක්කය ෆෙරාරි එකක් මිල දී ගැනීම.

එම නලුවා වසර අවසාන වනවිට ෆෙරාරි රථයක් මිල දී ගෙන තිබිනි. එහෙත් අපේ නිළිය ඇක්වා හයිබ්‍රිඩ් මෝටර් රථයක් මිල දී ගත්තා දැයි නොදනිමි.

සජිත් පක්ෂ නායක කම ඉල්ලන කොට රනිල් කතා කරන්නේ මහමැතිවරණයෙන් 113ක් හදාගැනීම සම්බන්ධවයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉළක්කය තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවීමයි.

ප්‍රායෝගික කවර ඉළක්කයද?

නායකයෝ යනු සිහින දකින්නෝය. සිහින සැබෑ කර ගැනීමට වැඩ කරන්නෝය. නායකයෝ යනු අතෙහි වූ කඩල ඇටයක් බිමට වැටුන පසු ඉතිරි සියල්ලම  අත්හැර දමන වඳුරෝ නොවෙති.  නායකයෝ යනු තමන්ට එළඹෙන දුශ්කරම අවස්ථාවේ පවා කෙළින් කටින් සිටින්නට ආත්ම ශක්තිය ඇත්තෝය. 

සජිත් තවම ඒ වගක් ඔප්පු කර නැත. 

තිලක් දෙමටමල්පිටිය විසිනි

(සංවාදයට විවෘතයි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *