හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාමට වසර 20 ක, දිසානායකට වසර 12 ක සිර දඬුවම් !

ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක අදාල චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවන් වී තිබෙනවා.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකළ මෙම නඩුවේ තීන්දුව අනුව අයි.එච්.කේ. මහානාම චෝදනා 13 කට වැරදිකරු කරමින් වසර 20 ක බරපතල වැඩ සහිත දඬුවමක් නියම කළ අතර ඊට අමතර ඉන්දීය ව්‍යාපාරිකයාගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් කෝටි දෙකක මුදල රජයට ගෙවන ලෙසද නියෝග කළේය. මීට අමතරව ඔහුට රුපියල් 65,000 දඩයක්ද නියම කර තිබේ.

මෙම චෝදනාවටම අදාල අනෙක් සැකකරු වන දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක චෝදනා 11 කට වැරදිකරු වූ අතර ඔහු වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වී තිබේ. රුපියල් 55,000 ක දඩයක්ද ඔහු නියම කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය කටයුතු කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාගෙන් සහ චම්පා ජානකී රාජරත්න විනිසුරුවරියගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව ක්‍රියාත්මක කෙරිණි.

මෙරට ආයෝජනයක් සිදු කිරීම සඳහා පැමිණි ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් අදාල ආයෝජනය සඳහා පහසුකම් සැලසීමට මහානාම සහ දිසානායක යන දෙදෙනා අල්ලස් ඉල්ලා ඇති අතර ඉන් කොටසක් ලෙස රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගනිමින් සිටියදී කොළඹ හෝටලයකදී අත්අඩංගුවට පත්විය.

ඒ වනවිට අයි.එච්.කේ මහානාම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර පී. දිසානායක දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *