හිටපු ජනපති ආණ්ඩුව සමග ඩීල් එකක

මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ උදවිය කරන ලදැයි කියන බලය අපහරණය කිරීම, දූෂණ, වංචා සහ මිනීමැරුම් පිළිබඳ කෙරෙන පරීක්ෂණ අවසන් අදියරේ පවතින බව යුක්තියට දැනගන්නට ලැබේ. ඇතැම් පරික්ෂණයන්ට අනුව ඔවුන් වැරදිකරුවන් බව ඔප්පුවීමට තරම් කරුණු අනාවරණය වී ඇති බවට ද මේ අතර දැනගන්නට ලැබී ඇත. පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ද රාජපක්ෂලා කරන ලද අකටයුතුකම් පරීක්ෂණ වල දී සනාථ වී ඇති බව ද ප්‍රකාශ කළේ ය. 2016 වසරේ දී කරන්නට නියමිත බරපතල වෙනස්කම් කිරීමට බාධා කළහොත්, රාජපක්ෂලාට සිදුවන දේ කුමක් ද යන්න අනතුරු ඇගවීම ද එහි තිබුණි.
මේ අතර තමාට සහ තම පවුලේ උදවියට එල්ල වී ඇති චෝදනා ඉවත්කර ගන්නේ නම්, උක්ත ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කරන තැනකට නොගොස් නිහඬව සිට ,දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවට වූ සංඥාවක් රාජපක්ෂ මහතා ආණ්ඩුවට ලබා දී ඇතැයි දැනගන්නට ඇත. මෙයට ආණ්ඩුව පැත්තෙන් ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව දැනගන්නට තිබේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුකෙරෙන මෙම ගණුදෙනුව සනාථ කෙරෙන බවට අනුමාන හැකි සිද්ධියක් පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුවි ය.
ඒ අමරපුර නිකායේ මහානායක දවුල්දෙන ඤාණීස්සර ස්වාමීන් වහන්සේගේ 101 වෙනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයේ දී ය. මහින්ද රාජපක්ෂ මහතා සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා යාබද අසුන්වලට වී ඉතා සැහැල්ලුව සිනහමුසු මුහුණින් යුතුව සාමිච්චියේ නිරත වි සිටින අයුරු එදින කාටත් දක්නට ලැබුණි. යටි තලයේ සීතල ගණුදෙනුවක් නොපවතින්නේ නම් රාජපක්ෂලාට එරෙහිව බරපතල ලෙස චෝදනා එල්ලකරන රාජිත අමාත්‍යවරයා සමග හිටපු ජනාධිපතිවරයාට එසේ හැසිරීම කිසිසේත්ම පහසුවක් වන්නේ නම් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *