සජිත් විනාශ කරන දේශපාලන පිසාචයින් ගැන ඔහුගේ සමීපතමයෙකු කළ හෙළිදරව්ව මෙන්න

සජිත්ගේ හයියෙන් එජාප නි.නායකමට කැස කවන රංජිත් සහ ලේකම්කමට කෙල හලන තලතා

 අජිත්ගේ කුරුමාණම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමට   

කෑම පර්සලයකටත් මිල දී ගත හැකි එජාප පසු පෙළ පිසාචයෝ මෙන්න 

තිස්සගේ මාර්ගයෙන් චන්ද්‍රානි මහින්දගේ හොර ආණ්ඩුවට පනින්න හදලා 

තමා වටේ සිටින අය ගැන සජිත්ගේ තක්සේරුව එළියට 

ජනපතිවරණ ව්‍යාපාරයට කෝටි 90ක් ණය වෙලා 

ප්‍රතිකාරයි-විවේකයයි ගන්න සජිත් රට යන්න ලෑස්තියි 

අරමුණ 2025 ජනපති අපේක්ෂකයා ලෙස යළි කරළියට ඒමයි 

මංගලගේ එතනෝලුයි-මලික්ගේ සල්ලියි එජාපයට කළ හදිය

රනිල්-සජිත් නොමඟ යැවූ හර්ෂගේ බොරු සමීක්ෂණ 

 සජිත් කෙරෙහි හරීන්ට තිබෙන ළබැඳියාව ගැන ඉඟියක්  

ජනාධිපතිවරණයට බලහත්කාරයෙන් තල්ලු කර සජිත් ප්‍රේමදාස මහතා විනාශ කළ ඔහු වටා සිටින අවස්ථාවාදී සහ දේශපාලන අඳ බාල කල්ලිය මේ වන විට උත්සහ කරමින් සිටින්නේ, එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ අගමැති අපේක්ෂකයා ලෙස ඔහුව පත් කර ගනිමින් පක්ෂය ද දෙකඩ කඩා නියත ලෙස පරාජයට පත් වන මහා මැතිවරණයටත් ඔහු බලෙන්ම තල්ලු කර ඔහුගේ දේශපාලන ජීවිතයම  ඈවර කිරීමට යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපතයෙක් “lankanewsweek” සමග හෙළිදරව් කර සිටියේය.

සියලු කරුණු සහ අභ්‍යන්තර රහස් තොරතුරු රැසක් හෙළිදරව් කරමින් සජිත් ප්‍රේමදාස මහතාට අතිශය සමීප සහ ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ද සුවිශල් කාර්ය භාරයක් කළ එම පුද්ගලයා “lankanewsweek” වෙත ලබා දුන් සම්පූර්ණ ප්‍රකාශය මෙසේය. 

“විපක්ෂ නායකකමවත් ලබා ගැනීමට මුල සිටම කිසිදු අවශ්‍යතාවක් නොතිබූ සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය උදුරා ගෙන අගමැති අපේක්ෂකයා ලෙස මහා මැතිවරණයට තරඟ කිරීමට කිසිම අවශ්‍යතාවක් ඇත්තේ නැහැ.

ජනාධිපති අපේක්ෂකකම උදුරා ගෙන බලහත්කාරයෙන් බලහත්කාරයෙන් ජනාධිපතිවරණයට තල්ලු කළා වගේ මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකකම උදුරා ගෙන සජිත් ප්‍රේමදාස මහතා නියත ලෙස පරාජයට පත් වන මහා මැතිවරණයට ද බලෙන්ම තල්ලු කිරීමට කුමන්ත්‍රණය කරන්නේ රංජිත් මද්දුම බණ්ඩාර,තලතා අතුකෝරාල,අජිත් පී පෙරේරා,හරීන් ප්‍රනාන්දු,මලික් සමරවික්‍රම,මංගල සමරවීර,ඉරාන්  වික්‍රමරත්න,හර්ෂ ද සිල්වා,අශෝක අබේසිංහ,එස් එම් මරික්කාර්,චන්ද්‍රානි බණ්ඩාර,හේෂා විතානගේ,කබීර් හෂීම්,හර්ෂණ රාජකරුණා,තුෂාර ඉඳුනිල්,හෙක්ටර් අප්පුහාමි,නලීන් බණ්ඩාර සහ චමින්ද විජේසිරි යන අයයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් එළවා සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය රැගෙන දීමට මේ අය උත්සහ කරන්නේ ඔහු කෙරෙහි තිබෙන සද්භාවයකින් නොව සිය පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර මුදුන් පමුණුවා ගනිමින් පක්ෂය අභ්‍යන්තරයේ සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහායි.

ඊට හොඳම උදාහරණය වන්නේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත් කර පක්ෂයේ නියෝජ්‍ය නායකයා වීමට රංජිත් මද්දුම බණ්ඩාර ද,මහා ලේකම් වීමට තලතා අතුකෝරාල ද,විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වීමට අජිත් පී පෙරේරා ද,දරන උත්සහයයි.හරීන් ප්‍රනාන්දු මහතාට මේ සටනේදී තිබෙන්නේ දේශපාලන හේතුවක් නොව අතිශය පෞද්ගලික සහ සුවිශේෂී ළබැඳියාවක් බව කවුරුත් දන්නවා.ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඔහුට යළි පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි නිසා සජිත් ප්‍රේමදාස නායකත්වයට පත් කර ගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයට පැනීමට ඔහු උත්සහ කරනවා.

චමින්ද විජේසිරි,හේෂා විතානගේ,හෙක්ටර් අප්පුහාමි,හර්ෂණ රාජකරුණා,තුෂාර ඉඳුනිල්,නලීන් බණ්ඩාර සහ චමින්ද විජේසිරි යන අය කෑ ගහන්නේ මුදල් ඇමතිවරයා ලෙස මංගල සමරවීර ලබා දුන් එතනෝල් සහ මලික් සමරවික්‍රමගේ සල්ලිවලටයි.සල්ලි සහ යාන වාහන ලබා දෙමින් කාලයක්ම මේ පසු පෙළ නඩත්තු කළේ රවී කරුණානායක සහ ලක්ෂ්මන් කිරිඇල්ලයි.ඒ දවස්වල මේ කණ්ඩායම පෙනී සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සමගයි.නමුත් අවසානයේදී මේ පසු පෙළ සජිත් ප්‍රේමදාස මහතාගේ පැත්තට හැරුණේ එතනෝල් බලපත් සහ සල්ලි ඇතුළු ලොකු කුට්ටියක් මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම ඒ අයට දුන් නිසයි.එසේ නොමැතිව සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන ආදරයකට හෝ දේශපාලන අවබෝධයක් නිසා නොවෙයි.

රටේ වැදගත්ම සහ විශාලම තනි දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ඉතිහාසයේ මේ වගේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් නම් මම කවදාවත් දැක නැහැ.පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් ඇති වන සෑම අවස්ත්වකදීම මේ මන්ත්‍රීවරුන් කරන්නේ එම ප්‍රශ්නය දඩ මීම කර ගනිමින් නායකයින්ගේ දත ගැළවීමයි.මේ මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකදීම කට අරින්නේ වැඩිම සල්ලි කුට්ටිය ලබා දෙන පැත්ත වෙනුවෙන් වන අතර මේ වන විට මේ අයගේ ජීවන මාර්ගය වී තිබෙන්නේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයි.

කැසීනෝ ඇතුළු සූදු කෙළීමෙන් බංකොලොත් වී කිසිවක් කර කියා ගත නොහැකිව දැඩි දරිද්‍රතාවයකින් පෙළෙන නලීන් බණ්ඩාර නඩත්තු කරන්නේ ද මලික් සමරවික්‍රමයි.ආණ්ඩුව පැවැති කාලයේ මොහු පුරුද්දක් ලෙස මැති ඇමතිවරුන්ට කතා කර කර ඒ ඒ අමාත්‍යංශවල කරක් ගසමින් වාහන සහ සල්ලි හිඟා කෑමයි.

කිලී මහා රජාගේ රානිල් වික්‍රමසිංහ විරෝධී න්‍යාය පත්‍රය එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක කරන ඍජු නියෝජිතයා වන්නේ එස් එම් මරික්කාර මන්ත්‍රීවරයායි.ඒ අතර සුජීව සේනසිංහ,හර්ෂ  සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න ඇතුළු මේ මන්ත්‍රීවරුන් සියලු දෙනාමත් සිටිනවා.චන්ද්‍රානි බණ්ඩාර කියන්නේ 2018 ඔක්තෝබර් මස 26 වැනිදා කුමන්ත්‍රණකාරී ලෙස ඇති කළ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට තිස්ස අත්තනායක මාර්ගයෙන් එකතු වෙන්න උත්සහ කළ මන්ත්‍රීවරියක් බව කවුරුවත් දන්නේ නැහැ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවට බොරු සමීක්ෂණ වාර්තා සකස් කර එක්සත් ජාතික පක්ෂයට ඉදරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ පමණක් නොව සජිත් ප්‍රේමදාසව පවා නොමඟ යැවූ නියමුවා වූයේ හර්ෂ ද සිල්වායි.මේ සියලු සමීක්ෂණ කළේ කොළඹ කොල්ලුපිටියේ පිහිටි හර්ෂ ද සිල්වාට ද අයිතියක් ඇති පෞද්ගලික සමීක්ෂණ ආයතනයකිනුයි.ඔහු සමග මේ බොරුව ගෙතීමට මංගල සමරවීර,මලික් සමරවික්‍රම,අජිත් පී පෙරේරා,සුජීව සේනසිංහ,හරීන් ප්‍රනාන්දු,ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් ඇතුළු පරිසක් ද එක් වුණා.

මේ කුමන්ත්‍රණකරුවන් වගේම ඒ අයගේ දේශපාලන සහ පෞද්ගලික න්‍යාය පත්‍ර ගැන සජිත් ප්‍රේමදාස මහතා වෙත මම දීර්ඝ වශයෙන් කරුණු පැහැදළි කළා.මේ කණ්ඩායම කවදා හරි ඔබතුමාට කරන්නේත් රනිල් වික්‍රමසිංහ මහතාට කළ වැඩේම තමයි කියලා මම එතුමාට පැහැදිළි කළා.ඉදිරි මහා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය නියත ලෙස පරාජයට පත් වන බවත්,එසේ තිබියදී මේ අයගේ බලපෑමට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය ද බලහත්කාරයෙන් ලබා ගෙන මහා මැතිවරණයට ඉදිරිපත් වුණොත් ඔබතුමාටත් සිදු වන්නේ රනිල් වික්‍රමසිංහ වගේම පරාජිත නායකයෙකු ලෙස ලේබල් ගසා ගෙන කුජීත වී සිටීමට යැයි මම තේරුම් කර දුන්නා.

ඒ අනුව මේ අවස්ථවේදී කළ යුත්තේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ද,එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ද ඉල්ලීමට සහ යෝජනාවට අනුව මහා මැතිවරණය අවසන් වන තුරු රනිල් වික්‍රමසිංහ මහතාට නායකත්වයේ රැදී සිටීමට ඉඩ දී,කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතුව නායකත්ව මණ්ඩලයක් පිහිටුවා ඊට බලතල ගෙන ඒ මණ්ඩලය හරහා මැතිවරණය මෙහෙයවීම යැයි ද කියා සිටියා.

මහා මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය කැඳවා නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත හැකි යැයි ද,මේ මොහොතේ කළ යුත්තේ පක්ෂ නායකත්වය බදා ගැනීම නොව 2025 ජනාධිපති අපේක්ෂකයා ලෙස පියවරෙන් පියවර යළි ඉදිරියට පැමිණීම යැයි ද එසේ නොවුණොත් පාඨලී චම්පික රණවක ඔබතුමා පරයා ඉදිරියට එනු ඇතැයි ද මම සජිත් ප්‍රේමදාස මහතාට පැහැදිළි කර දුන්නා.

ඇත්තටම මේ සියලු කරුණු කාරණා එතුමා තේරුම් ගත්තා.තමා වටා සිටින කට්ටිය එසේ සිටින්නේ තමාට තිබෙන ආදරයකට නොවන බවත් ඒ අය උත්සහ කරනේ තමාගෙන් ගොඩ යන්න බව තමා හොඳින්ම දන්නා බවත් මේ අයගේ බල කිරීමට අවනත වී තමා එළියට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා සමග ආරවුල් ඇති නොකර ගන්නේ ඒ නිසා බවත් එතුමා මා සමග කියා සිටියා.

තාමාට විපක්ෂ නායකකම හෝ පක්ෂ නායකකම හෝ අගමැති අපේක්ෂකකම අවශ්‍ය නොවන බවත් ඒ සියල්ල ඉල්ලා සිටින ලෙසට තමාට බල කරන්නේත්,ඒ සියල්ල අවශ්‍ය වී තිබෙන්නේත් තාමාට නොව තමා වටා සිටින අයට බවත් රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරීය යන මහත්වරුන් සමග අවසන් වරට පැවැත් වූ සාකච්ඡාවේදී තමා කියා සිටියේ මේ පසුබිම මත වන බවත් ඔහු සඳහන් කළා.

ඇත්තටම සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් දේශපාලනය කරාවි ද කියාත් ප්‍රශ්නයක් තිබෙනවා.ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ඔහු තවමත් සිටින්නේ විශාල මානසික කඩා වැටීමක බව කිව යුතුයි.ප්‍රතිකාර සහ විවේක ගැනීම සඳහා තමාට විදේශ ගතවීමට අවශ්‍ය බව සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය සමග පවත් වූ සාකච්ඡාවේදී පවා කියා තිබෙනවා.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් කෝටි 90ක් ණය වී සිටින අතර ඔහුට ඒ ණය ගෙවා ගැනීමට පවා හැකියාවක් ඇත්තේ නැහැ.රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය සමග පැවැත් වූ සාකච්ඡාවේදී,එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් සඳහා මසකට රුපියල් ලක්ෂ 30ක් වැය වන බවත් පක්ෂයේ නායකයා ඒ මුදල මාසිකව කෙසේ හෝ සොයා ගත යුතු බවත් රනිල් වික්‍රමසිංහ කියා තිබෙනවා.ඒ වෙලාවේදී පක්ෂයේ වියදම් සඳහා මසකට ඒ තරම් මුදලක් වැය වන්නේ දැයි අසමින් ඔලුවේ අත ගසා ගෙන ඇති සජිත් ප්‍රේමදාස මහතා කියා තිබෙන්නේ ජනාධිපතිවරණයට ගත් ණයවත් ගෙවා ගැනීමට තමාට නොහැකි වී තිබෙන බවයි.එසේ තිබියදී එක්සත් ජාතික පක්ෂයේ වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 30ක් තමා සොයා ගන්නේ කෙසේදැයි ද එතුමා ප්‍රශ්න කර තිබෙනවා.   

(සුජිත් මංගල ද සිල්වා)

LANKANEWSWEEK

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *