MCC ගිවිසුම: “70%ක් හොඳ” වුණු “ඇමෙරිකානු මර උගුල”

MCC හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් යළිත් වරක් දැඩි අවධානයක් යොමු වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වූ දේශපාලනඥයින් MCC ගිවිසුම සම්බන්ධයෙන් පළ කරන අදහස් හේතුවෙනි.

ජනාධිපතිවරණයට පෙර පැවති ප්‍රචාරක රැලියකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති වූ වහාම මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම කුණු කූඩෙට විසික් කරනවා කියන එක ජාතියට ලබා දෙන,” බවය.

එහෙත්, පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් උදය ගම්මන්පිලගේ අදහස වූයේ, “ඇමෙරිකාවෙන් එන හැම දේට ම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපට නැහැ,” යන්නය.

“70%ක මුදලක් වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. 30%ක මුදලක් තමයි ඉඩම් ව්‍යාපෘතියට වෙන් වෙන්නෙ. අපේ ස්ථාවරය තමයි ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නෑ. මේ ඇමෙරිකාවෙන් එන හැම දේට ම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපට නැහැ,” යනුවෙන් එහිදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, සංවර්ධන සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ නොවැම්බර් 25 වන දා ප්‍රකාශ කළේ, මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට මේ රජය යටතේ අත්සන් නොතබන බවය.

“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ කිසිසේත් ම අත්සන් කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි ඒ ප්‍රශ්නය ජය අරන් තියෙන්නේ.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට පෙර චෝදනා කළේ, එය “ඇමෙරිකානු මර උගුලක්” වන අතර ඒ හරහා ඇමෙරිකාවට ශ්‍රී ලංකාවේ ඉඩම් “කුණු කොල්ලයට” විකිණෙන බවටය.

මේ අතර, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුමෙහි පළ කර තිබූ අදහසක දැක්වුණේ, “ඊයේ රැස්වුණු වොෂිංටන්හි MCC අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බවට තීන්දු කර ඇතැයි වාර්තා වන,” බවය.

කෙසේ වෙතත්, ඇමෙරිකානු රජය මේ පිළිබඳ නිල ප්‍රකාශයක් මෙම ලිපිය සකසන අවස්ථාව වන විටත් නිකුත් කර නොතිබිණි.

“ආණ්ඩුව ගිවිසුමට අත්සන් කරාවි”

MCC ගිවිසුම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ස්වාධීන ආර්ථික විශ්ලේෂක, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පැවසුවේ, මෙම ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් වන බවය.

“ශ්‍රී ලංකාවට දැන් හැම ඩොලර් එකක් ම වැදගත්. ඒ නිසා මේක අත්සන් කරන එක හොද දෙයක්. ඡන්දවලදි කට්ටිය මොනව කිව්වත් දිනුවට පස්සේ ඒගොල්ලෝ ඒ දේවල් කරනවා. ඒක පසුගිය රජයත් කළා.”

මේ අතර, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානය පවසන්නේ, මෙම ගිවිසුම හරහා පෞද්ගලික අංශයට ඉඩම් අත්පත් කර ගැනීමට හැකි වන අතර එම ඉඩම් විදේශ සමාගම්වලට විකිණීමේ අවදානමක් පවතින බවය.

“දැනට බලයේ ඉන්න පොදුජන පෙරමුණ විසින් මෙහෙයවපු විරෝධතාවක් තිබුණා. දැන් වෙනකොට ඒක ගැන ලොකු කතාවක් රටේ නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා. පොදුජන පෙරමුණ ගෙනාපු විරෝධය බොහෝ දුරට වැරදි කරුණු මත සහ ඒ වගේ ම ජාතිවාදී අදහස් පදනම්ව තමයි ඒ විරෝධය ගොඩ නැගුණේ. දැන් බලයේ ඉන්නේ ඒ විරෝධය පළ කරපු පාර්ශවය නිසා විරෝධයක් නැතුව ම ඒකට අත්සන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් ඒකට විරෝධය පළ කරනවා,” ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානයේ සාමාජිකා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පැවසීය.

පසුගිය සඳුදා (දෙසැම්බර් 09) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකින් අනතුරුව නිවේදනයක් නිකුත්කරන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානය වැඩිදුරටත් පවසන්නේ, “සියලූම ශ‍්‍රී ලාංකිකයින්ගේ ආර්ථික ස්වාධිපත්‍යයට හානිකර” යෝජිත ගිවිසුමට තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බවය.

ජාත්‍යන්තර අත්දැකීම

MCC ගිවිසුමෙන් “රට බෙදේ” යන්න ශ‍්‍රී ලංකාවාසීන්ගේ අයිතිවාසිකම් සහ සම්පත් කෙරෙහි මෙම ගිවිසුම මගින් ඇති කරන සැබෑ අන්තරායන්ගෙන් ජනතා අවධානය වෙනතකට යොමු කර “ජාතිවාදය ප‍්‍රවර්ධනය කිරීමට දේශපාලනිකව සැලසුම් කළ ප‍්‍රකාශනයක්” බව ද නිවේදනයේ දැක්වේ.

හොන්ඩුරාස් වල නීති විරෝධී දක්ෂිණාංශික කුමන්ත‍්‍රණයකින් බලයට පැමිණි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන තන්ත‍්‍රයකට මාස ගණනාවක් යන තුරු අරමුදල් සහ නීත්‍යානුකූලභාවය ලබා දෙමින් MCC කටයුතු කළේයආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානය

“කලින් යටත් විජිතකරණයට ලක් වූ රටක පුරවැසියන් වශයෙන් අපි ඉන්දියානු සාගරයේ යටත් විජිතකරණය සහ මිලිටරීකරණය අහෝසි කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීමට කැමැත්තෙමු.”

MCC ගිවිසුම අත්සන් කළ වෙනත් රටවල අත්දැකීම් පහදන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානය, MCC ආයතනය 2004 වර්ෂයේදී ආරම්භ කිරීමෙන් පසුව රටවල් 37ක් සමග ගිවිසුම්වලට ඇතුළු වී තිබෙන බව පෙන්වා දෙයි.

“මැඩගස්කරයේ MCC ප‍්‍රතිපාදන තුලින් කෙරුණු ඉඩම් ප‍්‍රතිසංස්කරණවල ප‍්‍රතිඵලයක් ලෙස හෙක්ටයාර මිලියන 1.3 ක් එහෙම නැත්නම් මැඩගස්කරයේ වගා කළ හැකි භූමියෙන් භාගයක් විදේශීය පෞද්ගලික සමාගමකට අපනයන කෘෂිකර්මාන්තය සඳහා වසර 99 කට නොමිලේ බදු දී ඇත. ඝානාවේ MCC ප‍්‍රතිපාදන තුලින් බලශක්ති අංශය තුල ඇති කළ ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් රජය සතු විශාලතම විදුලිබල සැපයුම්කරුවෙකු පෞද්ගලීකරණය කරන ලදි. හොන්ඩුරාස් වල නීති විරෝධී දක්ෂිණාංශික කුමන්ත‍්‍රණයකින් බලයට පැමිණි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන තන්ත‍්‍රයකට මාස ගණනාවක් යන තුරු අරමුදල් සහ නීත්‍යානුකූලභාවය ලබා දෙමින් MCC කටයුතු කළේය. වෙනත් රටවල MCC අත්හදා බැලීම්වල සෘණාත්මක ප‍්‍රතිවිපාක පිළිබඳ බොහෝ සාක්ෂි ඇති හෙයින් ශ‍්‍රී ලංකාවත් එවැනි වැරදි කිරීමෙන් වැළකිය යුතු යැයි අපි නිර්දේශ කරමු,” යනුවෙන් ද නිවේදනයේ දැක්වේ.

විද්වතුන්, වෘත්තිකයින්, ශිෂ්‍යයින් සහ සමාජ ක‍්‍රියාකාරීන් 37 දෙනෙකු විවිධ සංවිධාන 15 ක් එම නිවේදනයට අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකාවේ මෙම ගිවිසුම අත්සන් කිරීමට දී තිබූ කාලය දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතය.

මේ වන විට පාර්ලිමේන්තුවේ වාරාවසාන කර ඇති හෙයින් එය යළි රැස් වනුයේ 2020 ජනවාරි 03 වන දාය. එසේ වුවහොත් ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම කෙසේ සිදු වෙයි ද?

“ආණ්ඩුවට පුළුවන් MCC එකත් එක්ක කතා කරලා මුලින් ගිවිසුමට අත්සන් කරන්න. ජනවාරි 3 වෙනිදාට පස්සේ පාර්ලිමේන්තු අනුමැතිය අරන් දෙන පොරොන්දුව පිට ඒකට අත්සන් කරන්න පුළුවන් ආණ්ඩුවට,” ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු අනුමැතිය

මෙම ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මුදලක් ප්‍රදානයක් ලෙසින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර එම මුදල් ලැබෙනුයේ, ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුවහොත් පමණි.

කෙසේ වෙතත්, සුළුතර ආණ්ඩුවක් සහිත වත්මන් රජයට MCC ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ.

ඒ, එක්සත් ජාතික පක්ෂය මෙම ගිවිසුම සම්බන්ධයෙන් කුමන ස්ථාවරයක් අනුගමනය කරයි ද යන්න නිශ්චිත නොවන හෙයිනි.

බීබීසී සිංහල සේවය කළ විමසුමකදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂය MCC ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කරන බවය.

“අපි MCC ගිවිසුම අත්සන් කරන්න හැදුවා ම ජනතාව ඒක ප්‍රතික්ෂේප කරලා ඒක අත්සන් නොකරන පාර්ශවයට ඡන්දය ලබා දුන්නා. ඒ නිසා අපි ජන වරමට ගරු කරලා ඒ ගිවිසුම අත්සන් නොකර ඉන්න ආණ්ඩුවට සහය දෙනවා.”

ඒ අනුව, පාර්ලිමේන්තුවේ ආසන 106කට හිමිකම් කියන එක්සත් ජාතික පක්ෂය ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කළහොත් ඊට අනුමැතිය ලබා ගැනීම අභියෝගයක් වනු ඇත.

මොකක් ද මේ MCC ගිවිසුම?

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිතය.

ඒ, ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5ක් වශයෙනි.

මෙම ආධාර මුදල ලබා දෙන්නේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහාය.

  • ප්‍රවාහන ව්‍යාපෘතිය: මේ යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට (Central Ring Road Network) ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට නියමිතය.
  • ඉඩම් ව්‍යාපෘතිය: මේ යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂිතය.

BBC – Sinhala

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *