ව්‍යවස්ථාවට අංචි ඇදීම – සී ජේ අමරතුංග –

වසරක් ගෙවී ලබන නව වසර අප රටට අභියෝගාත්මක හා තීරණාත්මක වසරක් වන බව පෙනෙන්නට තිබේ. මෙම වසරේදී ආණ්ඩුව කරන්නට නියම කරගෙන ඇති කාර්ය ඉටුවන්නේ නම් මෙය ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන වසරක් වනු නොඅනුමානය. එයින් රටේ අනාගතයට බලපාන ඉතාමත් වැදගත් කාර්යයක් වන්නේ රටට ගැළපෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මතකොට කි‍්‍රයාවට නැගීමයි. එය අප රටේ අනාගත දේශපාලන ගමන් මග තීරණය කරන ප‍්‍රධාන සිදුවීමක් වනු ඇත.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ කමිටුවක් ආණ්ඩුව පසුගියදා පත් කළේය. නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට දිවයිනේ ප‍්‍රකට විද්වතුන් හා සමාජ කි‍්‍රයාකාරීන් පිරිසක් පත්කොට ඇත. නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගනිමින් සමාජ සංවාදයක් අරඹා සම්මුති ඇතිකර ගැනීම මෙම කමිටුවේ කාර්යභාරය බව පෙනෙන්නට තිබේ.
ව්‍යවස්ථානුකූලව පවතින තත්ත්වය යටතේ මෙන්ම ආණ්ඩුව තීරණය කොට ඇති ආකාරයටද නව ව්‍යවස්ථාව සකස් කිරීමේ ප‍්‍රධාන වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව මෙහිදී ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස කි‍්‍රයාකරන බව කියැවෙයි.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රමවේදය

ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පැවරීමට යන්නේ පාර්ලිමේන්තුව මගින් පත්කරන කමිටුවකටය. එයට විසිඑක් දෙනකු පත්කිරීමට නියමිත බව වාර්තා විය. එම කමිටුවෙන් කෙටුම්පත් කරන නව ව්‍යවස්ථාව කැබිනට් මණ්ඩලයේ සම්මත කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඡුන්දයෙන් අනුමතකොට ජනමත විචාරණයකින් සම්මත කරගත යුතුව ඇත. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නීතිගත වන්නේ ඒ ආකාරයෙනි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යෝජනාව ලබන ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුව කියයි. එය ඉදිරිපත් කිරීමත් සමග ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලිය නිල වශයෙන් ආරම්භ වනු ඇත.

රටක මූලික නීතිය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. රට පාලනය කිරීමේ ක‍්‍රමවේදය බලය බෙදාහැරීම හා එක් එක් ආයතනවල බලතල පැහැදිලිව සඳහන් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහිය. කවුරුන් කොහොම රට පාලනය කළ ද එය කළ යුතු වන්නේ ව්‍යවස්ථාවේ පනවා තිබෙන නීතිරීති විධි විධාන අනුකූලවය. යමෙක් එසේ නොකරන්නේ නම් ඔහු හෝ ඇය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට වරදකරු වෙයි.

දේශපාලනයේ තීරණාත්මක වෙනසක්

එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැඳින්වෙන්නේ රටේ උත්තරීතර නීතිය වශයෙනි. එනම් අනෙක් සියලූ නීතිරීති එම නීතියට යටත්ය. අනෙක් නීතිරීති පනවන්නේත් කි‍්‍රයාත්මක කරන්නේත් එකී උත්තරීතර නීතියේ පනවා ඇති  විධි විධාන අනුවය.

ලබන නව වසරේදී අප රට කරන්නට යන්නේ රටේ එම උත්තරීතර නීතිය අලූතින් හඳුන්වාදීමයි. මෙය රටේ දේශපාලනයේ තීරණාත්මක වෙනසක් වන්නේ එම නිසාය.

සාමාන්‍යයෙන් රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නේ දිගු කාලයක් පවතින්නටය. ඇමෙරිකාවේ ව්‍යවස්ථාව වසර දෙසීයකට වඩා පැරණිය. ලොව බොහෝ රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තරමක දිගු කලක් පවතින ඒවාය. ඒවා වෙනස් කරන්නට වන්නේ විප්ලවකාරී බල පෙරැුළියක් හෝ එබඳු වෙනස් තත්ත්වයක් යටතේය. ආණ්ඩු මාරුවන විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනස්කිරීමේ තත්ත්වයක් කිසිදු රටක දකින්නට ලැබෙන්නේ නැත. එය එසේ වීමට හේතුවන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැමගේ අදහස් ලබාගෙන සකස් කිරීම නිසා විය හැකිය.

අප රටේ මේ සම්පාදනය කරන්නට යන්නේ නිදහසින් පසුව හදන තෙවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. ශ්‍රී ලංකාවට නිදහස ලබාදෙනවිට අපට ලැබුණු සෝල්බරී ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය වූයේ යටත් විජිතවාදයේ ලක්‍ෂණ එහි තවදුරටත්  පැවැති නිසාය. 1970 දී බලයට පැමිණි සමගි පෙරමුණු ආණ්ඩුව 1972 ජනරජ ව්‍යවස්ථාව සකස්කොට සම්මත කළේ ඒ සඳහාය. එසේ වුවද එම ව්‍යවස්ථාවට ආයුෂ තුබුණේ වසර හයකි. 1978 දී තවත් ව්‍යවස්ථාවක් සම්මත වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එජාප ආණ්ඩුවේ දේශපාලන චින්තනයට අනුවය. එයට සමස්ත ජනතාවගේ එකඟත්වයක් තුබුණේ නැත. දහනව වතාවක් සංශෝධනය වූ එම ව්‍යවස්ථාව ඉවත්කොට අලූත්ම ව්‍යවස්ථාවක් සම්මත කිරීම මෙම අවස්ථාවේ ඉටු කිරීමට යන කාර්යයි.

සියලු පක්ෂවල සහභාගීත්වය

මෙහිදී අප උගත යුතු ප‍්‍රධාන පාඩමක් වන්නේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හුදෙක් එකී පක්‍ෂයක හෝ පක්‍ෂ කිහිපයක හෝ වුවමනාව අනුව නොව සමස්ත ජනතාවගේ අදහස් ලබාගෙන සම්මත කර ගැනීමේ වැදගත්කමයි. එසේ නොවන ව්‍යවස්ථාවක් කල් පවතින්නක් නොවන අතර එවැන්නක ප‍්‍රතිවිපාකද භයානකය. එයට හේතුවන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙරෙහි ගෞරවයක් හා පිළිගැනීමක් ජනයා තුළ නොවීමයි. තමන් පාලනය වන්නේ සාධාරණ හා යුක්තිගරුක ආකාරයෙන් නොවන බව මහජනයා සිතන විට එබඳු තත්ත්වයක් යටතේ මහජන කැළඹීම් හා කැරැුලි ඇතිවීම ස්වභාවිකය.

අපගේ පසුගිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සැකසීමේදී සිදුවූයේ එහි ආධිපත්‍යධාරී පිරිසගේ මතය අන් අය මත පැටවීමක් බව කිවහොත් නිවැරැුදිය. 1972 හා 1978  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවලදී රටේ විපක්‍ෂයේ අදහස්වලට කන්දීමක් සිදුවූයේ නැත. එමෙන්ම මෙරට සුළුතර ජනයා ගැන තැකීමක් කළේම නැති තරම්ය. එහි ප‍්‍රතිඵලය වූයේ රටට දිගුකාලීන යුද්ධකොට මෙන්ම දකුණේ කැරැුල්ලකටද මුහුණදීමට සිදුවීමයි. ඔවුන් එසේ කැරලි ගැසීමට හේතුව පවතින උත්තරීතර නීතිය නොපිළිගැනීම බව අමුතුවෙන් කිව යුතු නැත.
එසේ නම් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී ප‍්‍රධාන පාඩමක් වන්නේ එය සමස්ත ජනතාවගේ සහභාගිත්වයෙන් සාකච්ඡුාවෙන් හා සම්මුතියෙන් සම්මත කළ යුත්තක් වීමයි. එසේ නොවන විට සිදුවන්නේ නැවත වතාවක් රටේ උත්තරීතර නීතිය පිළිබඳ පිළිගැනීම බිඳවැටීමයි.

කඩාකප්පල් කිරීම විපක්‍ෂයේ කාර්යභාරය ද ?

මේ මොහොතේ පෙනෙන්නට තිබෙන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට රටේ සියලූ දේශපාලන පක්‍ෂවල ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වල, සිවිල් සමාජ සංවිධානවල හා මහජනයාගේ අදහස් ලබාගැනීමට ආණ්ඩුව උත්සාහයක යෙදී ඇති බවයි. එසේ වුවද එයට සැබැවින්ම සියලූ දෙනාගේ සහයෝගය ලැබේද යන්න ප‍්‍රශ්නයකි. එයට හේතුවී තිබෙන්නේ මෙරට දේශපාලන සංස්කෘතියේ තිබෙන ප‍්‍රශ්නයයි. ආණ්ඩුවක් කරන  ඕනෑම වැඩක් කඩාකප්පල් කිරීම විපක්‍ෂයේ කාර්යභාරයය යන පිළිගැනීමකින් වත්මන් විපක්‍ෂය කි‍්‍රයාත්මක වන බව පසුගිය කාලයේ මෙන්ම මේ වන විටත් දක්නට ලැබෙන තත්ත්වයයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය ආරම්භ කරන විටම විපක්‍ෂය දැක්වූ ප‍්‍රතිචාරවලින් ඒ බව පෙනෙන්නට තිබිණි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීමට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත්කිරීමට යන බව කියන විට විපක්‍ෂයේ ඇතැම් පිරිස් කීවේ එසේ කරන්නට ඉඩදිය නොහැකි බවය. ඔවුන් කියන විදිහට නම් පවතින නීතියේ තිබෙන ආකාරයටම එය කළ යුතුය. එනම් කැබිනට් මණ්ඩලයෙන් අනුමතකොට කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එසේ කියන අය නොකියා කියන්නේ ව්‍යවස්ථා සම්පාදනයට තමන් හවුල් නොවන බව යැයි පෙනෙන්නට තිබේ. එවිට හදන ව්‍යවස්ථා කෙටුම්පත ගැන ඔවුනට වගකීමක් නැත. කොහෙන් හෝ කෙනෙක් අල්ලාගෙන විරුද්ධ වන්නට හැකිවන්නේ එවිටය. එවිට මේ වැඬේ බකල් කිරීමට උත්සාහයක් දැරිය හැකිය. එවැනි කි‍්‍රයාවලියක ඒකායන අරමුණ වන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ ගෞරවය හා කීර්තිය එයට මුල් වූවන්ට ලැබීම වැළැක්වීමයි. එනම් ආණ්ඩුවේ නායකයන්ට එම ගෞරවය නොදීමයි වැඬේ බකල් කරන්නට හදන්නේ ඒකටය.
දැන් මෙම ප‍්‍රශ්න මතුකර ගන්නට හදන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු දෑ ගැන නොවේ. රටට ගැළපෙන්නේ කුමන ක‍්‍රමයක් ද යන්න ගැන නොවේ. මෙය කරන්නට යන ආකාරය පිළිබඳවයි. ජී.එල්. පීරිස් හිටපු මන්තී‍්‍රවරයා කියා ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණ එකක් නොව දෙකක් අවශ්‍ය බවයි. ඒ කියන්නේ මෙය නොකෙරෙන වෙදකමත් බවට පත්කිරීමට උත්සාහ දරන බවයි.

අතීතයේ කළ දේ

මෙසේ නිගමනය කිරීම අසාධාරණ බව ඇතැම්විට තර්ක කළ හැකිය. එසේ වුවද එබදු ප‍්‍රශ්න කිරීමකට හේතුවන්නේ මෙම දේශපාලන බලවේග මීට පෙර කි‍්‍රයාත්මක වූ ආකාරය පිළිබඳව තිබෙන අත්දැකීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහනව වන හා විසිවන සංශෝධනය ඉදිරිපත් කිරීමේදී අපට අත්දකින්නට ලැබුණේ එම තත්ත්වයයි. දහනව වන සංශෝධනයට සියලූදෙනා සහාය දුන්නේ එය බකල් කරන්නට දැරූ සියලූ උත්සාහයන් ව්‍යර්ථ වූ පසුවය. කොන්දේසි සියල්ලට යටත් වූ විටය. විසි වැනි සංශෝධනය සම්මත කරන්නට ඉඩ ලැබුණේම නැත. එසේ වූයේ වැඬේ නොකෙරෙන ආකාරයට කොන්දේසි දැමීම නිසා බව කාටත් තේරුම් ගිය කාරණයකි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධ වන්නට කාට හෝ අවශ්‍ය නම් එයට  හේතු සොයා ගැනීම එතරම් අපහසු නැත. එවිට හේතුව නම් සර්ව සාධාරණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කියා දෙයක් නිර්මාණය කළ නොහැකිවීමයි.  ඕනෑම ව්‍යවස්ථාවක හිතකර ලක්‍ෂණ මෙන් අහිතකර ලක්‍ෂණ ද ඇත. එක් ප‍්‍රශ්නයක් විසඳීමේදී යහපත් වන විධි විධානයක් තවත් කාරණයකට බලපාන්නේ අහිතකර ආකාරයෙනි. එම නිසා සිදුවන්නේ යම් තෝරා ගැනීම් කිරීමටය. අතරමැදි සම්පාදනයන් ඇතිකර ගැනීමටය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී කෝකටත් තෛල සොයාගත නොහැකිය. කුමන ආකෘතියක් තෝරා ගත්තද එහි අයහපත් ලක්‍ෂණ තිබිය හැකිය. එමෙන්ම තෝරා නොගන්නා නැතහොත් ප‍්‍රතික්‍ෂේප කරන අංගවල යහපත් ලක්‍ෂණද තිබිය හැකිය. එසේ වුවද වෙනත් හේතු නිසා ඒවා ප‍්‍රතික්‍ෂේප කරන්නට සිදුවෙයි.

මෙය හොඳින්ම තේරුම් යන කරුණු ගණනාවක් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලියේදී දැකගත හැකිය. ඉන් ප‍්‍රධාන කාරණයක් වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි.

මේ රට දශක කිහිපයක් තිස්සේ විධායක ජනාධිපති ක‍්‍රමයේ අහිතකර විපාකවලට මුහුණ දුන්නේය. එමගින් බිහිවූයේ ව්‍යවස්ථාදායක ඒකාධිපතියන් වැනි පිරිසකි. ඔවුන් රට පාලනය කළේ අත්තනෝමතිකවය. කෙටි කලක් සිටි ඞී.බී. විජේතුංග ජනාධිපතිවරයා හැර අන් කිසිවකු කීර්තිමත් වාර්තාවක් තබා ගියේවත් අඩුතරමින් ජනතා අප‍්‍රසාදයට ලක්නොවී විශ‍්‍රාම ගියේවත් නැති බව කිවහොත් නිවැරැුදිය. විධායක ජනාධිපති ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමේ අත්දැකීම් එබඳුය.

සියල්ලට හරියන ක්‍රමයක් නැත

දැන් උත්සහය තිබෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටය. ඒ අනුව තෝරා ගැනීමට තිබෙන්නේ පාර්ලිමේන්තුවෙන් පත්වන අගමැතිවරයකුට විධායක බලය ලබාදීම විය හැකිය. එබඳු විධායකයකු පත්වන්නේ රටේ සමස්ත ජනතාවගේ ඡුන්දයෙන් නොවේ. කොහේ හෝ ඡුන්ද කොට්ඨාසයක ඡුන්දදායකයන්ගේ ඡුන්දයෙනි. එහිදී රටේ පාලකයා තෝරා ගැනීමේ අයිතිය සමස්ත ජනතාවට ලැබෙන්නේ නැත. මෙය විශේෂයෙන්ම හා බරපතළ ලෙස දැනෙනු ඇත්තේ සුළුතර ප‍්‍රජාවන්ටය. රටේ පාලකයා තේරීමේ අයිතිය මෙම ජනයාගෙන් ඉවත්කිරීම කෙතරම් යුක්තිසහගත දැයි ප‍්‍රශ්න කිරීම සාධාරණය.

කෙසේ වෙතත් විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ අපගේ අත්දැකීම් අනුව අපට තවදුරටත් එවැනි ක‍්‍රමයක් පවත්වාගෙන යාම අනුමත කළ නොහැකිය. ප‍්‍රමාණවත් විධායක බලයක් නැති ජනාධිපතිවරයකු ඡුන්දයෙන් පත්කිරීමද තේරුමක් නැත. විධායක බලය දෙතුන් පොළකට බෙදීමද කළ නොහැකිය. එක් රාජ්‍ය නායකයකු සිටිය යුතුය. ඔහුට විධායක බලය තිබිය යුතුයි.

එබැවින් දැන් අවශ්‍ය වන්නේ සම්මුතියකි. එහිදී සර්ව සාධාරණ ක‍්‍රමයක් තිබිය නොහැකි බව සියලූදෙනා තේරුම් ගැනීම අවශ්‍යය.
නව මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන්ද කතන්දරය ඒ හා සමානය. සමානුපාතික ඡුන්දක‍්‍රමයේ තිබෙන සාධාරණත්වය කොට්ඨාස ක‍්‍රමයේදී ඒ මට්ටමෙන් නැත. මේ ක‍්‍රම දෙක එකතු කළ ද එහිදී ද සියලූ යහපත් අංග තබාගත නොහැක. පක්‍ෂයකින් තෝරා එවන අපේක්‍ෂකයන්ට ඡුන්දය දීමට සිදුවීම වැනි වෙනත් ප‍්‍රශ්න මතුවීම නිසැකය.

ඇතැමුන්ට අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩු හදන ක‍්‍රමයකි. එනම් දිනන පක්‍ෂයට පහසු බහුතරයක් අවශ්‍යය. එය එසේ නම් සම්පූර්ණ සමානුපාතික ක‍්‍රමයකින් ඉවත්විය යුතුය. එවිට කුඩා පක්‍ෂවලට හා සුළුතර ප‍්‍රජාවන්ගේ පක්‍ෂවලට සිදුවන්නේ අසාධාරණයකි. මෙහිදී ද සිදුවන්නේ සම්මුතියක් ඇතිකර ගැනීමටය. එක්කෝ ස්ථාවර ආණ්ඩු හැදීමේ වුවමනාව අතහැරිය යුතුය. නැතහොත් කුඩා පක්‍ෂවලට අසාධාරණයක් සිදුවනවා නම් එකඟ විය යුතුය. කුමක් තෝරාගත්තද තවත් පිරිසකට විරුද්ධවීමේ හැකියාව ඇත.

මෙහිදී වඩාත් බරපතළ ගැටුමක් ඇතිවිය හැක්කේ ජනවාර්ගික ප‍්‍රශ්නයට නැතහොත් ජාතික ප‍්‍රශ්නයට විසඳුම් ලෙස බලය බෙදීමේ ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමේදීය. දෙමළ ජනයා තෘප්තිමත් වන්නේ ෆෙඩරල් ක‍්‍රමයකින් විය හැකිය. එසේ වුවද දකුණේ ජනයා තවමත් එයට සූදානම් නැත. එසේ වුවද ඒකීය ක‍්‍රමයක් තුළ ද බලය බෙදීමක් කළ හැකිය. ප‍්‍රශ්නය තිබෙන්නේ එම සම්මුතිය ඇතිකර ගැනීමේදීය. මෙහිදී දෙපැත්තේම අන්තවාදීන්ගේ විරෝධතාවලට මුහුණදීමට සිදුවිය හැකිය.

එබැවින් තේරුම්ගත යුතු වන්නේ ව්‍යවස්ථා සම්පාදනයේදී සර්ව සාධාරණ හා සියලූ ප‍්‍රශ්න විසඳන ක‍්‍රම නැති බව ය. කරන්නට තිබෙන්නේ අපට ගැළපෙන ක‍්‍රමයකට සම්මුතියක් ඇතිකර ගැනීමයි.

සංකීර්ණත්වය

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම කඩාකප්පල් කරන්නට හා එයට ලෙඩ දාන්නට හදන බලවේගවලට අවස්ථාව ලැබෙන්නේ ද එහි ඇති මෙම සංකීර්ණත්වය නිසාය. විරුද්ධ වන්නට අවශ්‍ය උදවියට  ඕනෑතරම් කරුණු ඇහිඳ ගැනීමේ හැකියාව මේ තුළ ඇත.
එබැවින් ප‍්‍රධාන පක්‍ෂ දෙක එක්ව වැඩකරන මෙම අවස්ථාව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට හා සම්මත කිරීමට ඇති හොඳම අවස්ථාවයි. එයට ලෙඩදාන උදවිය හෙළිදරව් කිරීමද කළ හැකි වන්නේ ප‍්‍රශ්නවල සංකීර්ණත්වය පිළිබඳව මහජන අවබෝධය ඉහළ නැංවීමෙනි. මෙයට මහජනයා සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම ඇත්තේ එතැනය.

පෙනෙන්නට තිබෙන්නේ මෙම අත්‍යවශ්‍ය හා උත්තරීතර කාර්යයටද  ලෙඩදාන පිරිසක් කි‍්‍රයාත්මක වන බවයි. මෙම කාර්යයට අදහස් ඉදිරිපත් කරමින් දායක නොවී එය කඩාකප්පල් කිරීමට හැදීම නම් ජනතා විරෝධී අපරාධයක් බව නොකියා නොහැකිය.

සී ජේ අමරතුංග  –

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *