පරාජය කියවා ගැනීම -අනුර සුරියබණ්ඩාර


ජනාධිපතිවරණයෙන් පසුව දින 25කට ආසන්න සංඛ්‍යාවක් ගෙවී ගොස් ඇති නමුදු පරාජයේ වේදනාවෙන් තවමත් එක්සත් ජාතික පක්ෂයට ගොඩ යානොහැකිව ඇති බව සත්‍යයකි. පසුගිය සති අන්තයේ එක් විකල්ප පුවත්පතක් පෙන්වා දී තිබුණේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා තම අනුගාමිකයන් පවා මුණනොගැසි මඟහරින පිළිවෙතක පිහිටා කටයුතු කරන බවකි.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ පරාජය යනු ඔහුගේ අනුගාමිකයන්ගේ වරදක් හේතුවෙන් සිදු වුවක් නොවේ. පරාජයට හේතුව අනුගාමිකයන්ගේ වරද ම වුව පරාජයේ පරාජිතව මුහුණ සඟවා ගැනීම ශක්තිමත් නායකත්වයක ලක්ෂණ නොවේ.
ඇත්ත වශයෙන් ම සජිත් පේ‍්‍රමදාස මහතා මේ ලියන මොහොත වන තුරුම අනුගමනය කරමින් හිටින්නේ නිහඬ පිළිවෙතකි. මැතිවරණයෙන් පසුව එ් මහතා කිසිම ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් මේ වන තුරු කර නැත. ඔහුගේ එම නිහඬතාව බරපතළ වන්නේ පසුගිය ආණ්ඩුව සමයේ ආණ්ඩුවේ පාලන රාජකාරිවලට සම්බන්ධ වී කටයුතු කළ නිලධාරින් වන ශානි අබේසේකර නිශන්ත සිල්වා වැන්නන් මේ වන විට මුහුණ දී සිටින තත්ත්වය හේතුවෙනි. අතිශය දක්ෂ රහස් පරීක්ෂකයකු වන ශානි අබේසේකර මහතා හඳුන්වනු ලැබුවේ ශී‍්‍ර ලංකාවේ ෂර්ලොක් ගෝමිස් යනුවෙනි. මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පෞද්ගලික සහකරවරයකු ලෙස අතිශය දරුණ පළිගැනීම් ස්ථාන මාරුවකට ලක්ව සිටින එ් මහතා වෙනුවෙන් හඬක් නැඟීමට හෝ සජිත් පේ‍්‍රමදස මහතා ඉදිරිපත් නොවීම අතිශය භයානක තත්ත්වයකි. මෙකී තත්ත්වය තුළ අනාගතයේ කිසිදු රාජ්‍ය සේවකයකු සිය රාජකාරියේ දී අවංක වීම සම්බන්ධව දෙවරක් හිතන්නට පෙළඹනවා ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සිංහල බෞද්ධ ප‍්‍රබෝධය සමඟ ගැටගසා කියවීමේ උත්සාහයක මේ වන විට පිරිසක් නියැලී සිටින බව පෙනේ ගෝඨාභය මහතාට සිංහල බෞද්ධ ප‍්‍රදේශවලින් 65%කට ආසන්න ඡුන්ද ප‍්‍රතිශතයක් ලැබීම ඊට හේතු වන බවද පෙනේ. උතුරු නැෙඟනහිර යන කදුරට දෙමළ බහුතර ප‍්‍රදේශවල දී සජිත් පේ‍්‍රමදාස මහතාට වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් හිමි වූ බැවින් ද ඉහත සිංහල බෞද්ධ තර්කය තහවුරු කෙරෙන බවක් පෙනේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සිංහල බෞද්ධ මුහුණුවරක් පැවැතියේත් භික්ෂූන්ගේ මැදිහත් වීම අතුරලිගේ රතන වැන්නන් විසින් මුස්ලිම් භීතිකාවක් මැවීම යනාදිය එහි කැපී පෙනන ලක්ෂණ විය. එසේ වුවද ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සුළු ජාතින්ට විශේෂයෙන් මුස්ලිම් ජනතාවට ද ආමන්ත‍්‍රණය කෙරුණු බව පිළිගත යුතු ය. මොහමඞ් මුස්ම්මිල්, අලි සබ්රි, ෆයිසර් මුස්තාපා වැන්නන් විසින් ඉටු කරනු ලැබුවේ එකී කාර්්‍යභාරයයි.
මෙරට මුස්ලිම් විරෝධයක් ඇති කර වීම සඳහා සිංහල බෞද්ධ බලවේග විසින් උපයෝගි කර ගනු ලැබුණේ පාස්කු දින සහරාන් ඇතුළු කල්ලියේ බෝම්බ ප‍්‍රහාරයයි. එම බෝම්බ ප‍්‍රහාරය හරහා මූලික වශයෙන් ප‍්‍රශ්න කෙරෙනු ලැබුණේ මෙරට ජාතික ආරක්ෂාවයි.
සහරාන්ගේ ප‍්‍රහාරය මෙරට මුස්ලිම් ජනතාව විසින් අනුමත කරන ලද්දක් නොවේ. පුහාරයෙන් පසුව මුස්ලිම් ජනතාව, ආගමික නායකයන්ගේ හැසිරිම් අනුව එ් බව වටහා ගත හැකි ය. එසේ ම පාස්කු ප‍්‍රහාරය හේතුවෙන් මෙරට මුස්ලිම් ජනතාවට ද ආරක්ෂාව පිළිබඳ ගැටලූවක් මතු විය. ජාතික ආරක්ෂාව බිඳ වැටුණු තත්ත්වයක් තුළ තමන්ගේ පැවැත්මට ද තර්ජනයක් ඇති වී ඇතැයි මුස්ලිම් ජනතාවට හිතුණේ නම පුදුමයක් නොවේ.
මෙරට ජනාධිපතිවරණයේ දී තැපැල් ඡුන්දය භාවිත කළ මුස්ලිම් මිතුරකු කිවේ තමා ඡුන්දය දුන්නේ ගෝඨාභයට බවයි. හේතුව වශයෙන් ඔහු සඳහන් කළේ සිරිසේන – රනිල් ආණ්ඩුව වැටකොළු පතෝල වැනි ගුණත් නැති අගුණත් නැති එකක් බවයි. 2015 ජනාධිපතිවරණයේ දී ඔහු ඡුන්දය දී තිබුණේ මෛතී‍්‍ර වෙනුවෙනි.
ඉහත තත්ත්වය තුළ දකුණේ ගෝඨාභය වෙනුවෙන් ඡුන්ද හැසිරීම සිංහල බෞද්ධ පදනමක පිහිටා විග‍්‍රහ කරන්නට යාම සාර්ථක වන්නේ නැත. උතුරේ නැෙඟනහිර මෙන් විශේෂිත ප‍්‍රශ්නයක් දකුණේ ජීවත්වන දෙමළ මුස්ලිම් ජනතාවට නැත. එම හේතුව මත දකුණේ මුස්ලිම් දෙමළ ජනතාව ගෝඨාභය වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කිරීම පිළිගත හැකි ය. මනාපය සිංහල මුස්ලිම් දෙමළ වශයෙන් හඳුනාගන්නට හැකියාවක් නැති බැවින් ගෝඨාභය මහතා දකුණේ දී ලද 65%න් දෙමළ මුස්ලිම් ප‍්‍රතිශතය ගණනය කළ නොහැකි වුව ද එම 65% මුලූමනින්ම සිංහල බෞද්ධ ලෙස ගැනම තර්කානුකුළ නැත.
එහෙත් මේ වන විට එක්සත් ජාතික පක්ෂය කියමින් සිටින්නේ තම පරාජයට හේතුව සිංහල බෞද්ධ ජනතාව දිනා නොගැනීම බවයි. රට කඩන ඇමරිකාවට රට විකුණන චෝදනා එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ පටන් ම එල්ල වුවකි. ජෝන් කොතලාවල මහතාට පවා එම චෝදනා එල්ල කරනු ලැබිණ. 2015 ජනාධිපතිවරණයේ දී එම චෝදනාවම එල්ල කරනු ලැබුවේ මෙවර මැතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කැඳවා ගන්නට යෙදුණු එකල එ.ජ.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින්. එහෙත් ජනතාව එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබු සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවීය.
එ් අනුව තේරුම් ගතයුතුව ඇත්තේ සිංහල බෞද්ධ ඡුන්ද දිනා ගැනීමේ දී එක්සත් ජාතික පක්ෂයට යම් අවසියක් සිදුවුයේ නම් එයට හේතු වූයේ සිංහල බෞද්ධ මතධාරන්ගේ බොරු ප‍්‍රචාරවලට ශක්තිමත්ව පිළිතුරු දීමට එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක වැඩපිළිවෙළ තුළ සාර්ථක ක‍්‍රමයක් නැති වීම බවයි. අවම වශයෙන්, එක්සත් ජාතික පක්ෂය තුළ හිඳිමින්ම එජාපයට විරුද්ධව මතවාද දියත් කළ අතුරලියේ රතන, විජේදාස රාජපක්ෂ වැන්නන් සම්බන්ධව කි‍්‍රයාමාර්ගයක් ගැනීමට පවා එජාපය ඉක්මක් වුයේ නැත.
එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව වීදි බැස් හිටි භික්ෂුන් සැබෑ භික්ෂුන් නොවන බව කීමට පවා නිර්භිත වූයේ මංගල සමරවීර මහතා පමණි. එජාපය මේ වන විටත් කරමින් සිටින්නේ විරුද්ධවාදින්ගෙන් ම ආයුධවලින් මංගල සමරවීම මහතාට පහරදීම මිස තමන් තුළ සිංහල බෞද්ධ විරෝධයක් නොතිබුණු බව සහ නොමැති බව තහවුරු කරන්නට කටයුතු කිරීම නොවේ.
විරුද්ධවාදින් විසින් ආණ්ඩුවට එල්ල කරනු ලැබු මිලේනියම් චැලේන්ජ් ඇක්ෆා සෝෆා වැනි චෝදනාවලට පිළිතුරු දීම සම්බන්ධව පැවැති තත්ත්වය ද එයමය.
ඊළඟ කාරණය ආණ්ඩුවට එල්ල වුණු දුෂණ චෝදනාය. ආණ්ඩුවේ ආයතනවල නිලධාරින් සහ මැති ඇමැතිවරුන්ගේ කි‍්‍රයා කලාපය සම්බන්ධව ජනතාව මහත් ගැටලූ පැවතුණි. ආරම්භයේ දීම එම තත්ත්වය බලකා ගන්නට ආණ්ඩුව කි‍්‍රයා නොකිරීම පරාජයට බලපෑ හේතුවකි. සජිත් පේ‍්‍රමදාස මහතාට බුද්ධශාසන අරමුදලේ මුදල් භාවිතය සම්බන්ධව නැගුණු චෝදනාවේ දි එ් මහතා උත්සාහ කළේ එම මුදල් අවභාවිතය සාධාරණිකරණය කරන්නට මිස වැරදි පිළිගැනීමට නොවේ.
මහබැංකු වංචාව වසර හතරක් තිස්සේ විපක්ෂය ඇද ගෙන යද්දිත් එ් ගැන විනිවිද පෙනෙන ආකාරයට කඩිනම් විභාගයක් කරන්නට හෝ මහ බැංකුවේ වෝහාරික විගණන වාර්තාව කඩිනම් කරන්නට හෝ පැවැති ආණ්ඩුවට හැකි වූයේ නැත. වෙනෙකක් තබා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණ වංචා විමර්ශනය සඳහා මෛති‍්‍රපාල මහතා පත් කළ කොමිසමෙ වාර්තාව හමස් පෙට්ටියෙන් ඉවතට ගෙන එ් සම්බන්ධව කතිකාවක් ගොඩනඟන්නට හෝ ආණ්ඩු බලය තිබිය දී පවා එජාපයට හැකි වුයේ නැත.
එජාපයේ පරාජයට බලපෑ ආසන්නතම හේතු දෙකක් වුයේ දුම්රිය වැඩ වර්ජනය සහ ගෑස් හිඟයයි. එවක ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ දැන් කියමින් යන්නේ සජිත් මහතාට විපක්ෂ නායක ධුරය නොලැබුණුහොත් දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. එහෙත් අබේසිංහ නියෝජ්‍ය ඇමැතිවරයාට බලය තිබිය දි මැතිවරණ ආසන්නයේ දුම්රිය වර්ජනය වළක්වා ගන්නට හැකි වූයේ නැත. අවම වශයෙන් වර්කයන්ට එරෙහිව ජාතික සේවක සංගමය වැඩට යෙදවීමට නොහැකි වූ අබේසිංහ මහතා එජාපයේ පරාජයට අනුන්ට චෝදනා කරන්නට පළමුව තමා පාපොච්චාරණය කළ යුතු ය.
සැබෑ දේශපාලන නායකයන් නම් මේ මොහොතේ කළ යුතු වන්නේ තනතුරුවලට කුලල් කා ගැනීම වෙනුවට ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දී ප‍්‍රබල පාර්ලිමේන්තු බලයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කිරීමය. මෙවර ජනාධිපතිවරයා ප‍්‍රතිඵලය අනුව වුව පාර්ලිමේන්තුවේ සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමේ ඉඩක එජාපයට තිබේ. දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් දේශපාලන පක්ෂ, උඩරට දෙමළ ජාතික දේශපාලන පක්ෂ ආදිය එකමුතු කරගෙන මහ මැතිවරණයට මුහුණ දෙන්නේ නම් ආණ්ඩුබලට ලබා ගැනීම සම්බන්ධව බලාපොරොත්තුවක් පවා එක්සත් ජාතික පාක්ෂිකයාට ලබා දීමට එම පක්ෂයට හැකියාව තිබේ.
එහෙත් පවතින කුලල් කා ගැනීම විසින් එ් සියලූම වාසිදායක තත්ත්වයන් අහෝසි කර ගැනීමට එජාපය කටයුතු කරමින් සිටි.


අනුර සුරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *