කමිටුවේ හිරවූ බැදුම්කර වාර්තා එලියට ගත හැක්කේ මුදල් ඇමති වන අගමැතිටයි – කෝප් හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති

මහ බැංකු බැඳුම්කරයේ වෝහාරික විගණන වාර්තා විවෘත කිරීමට මුදල් ඇමතිවරයාට ඇති බලය පාවිච්චිකරමින් එම වාර්තා  තමා අතට ගෙන ඊට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපතිවරයා හැටියට තමා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ  (8) පැවැසීය. 

2015 වසරට පෙර මහ බැංකුවේ සිදුවී ඇති බැදුම්කර වංචා ඇතුළු තොරතුරු රැසක් ඇතුළත් වෝහාරික විගණන වාර්තා පහක් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම නිසා කෝප් කමිටුවේ හිර වී ඇත්තේ ඒ ගැන කිසිදු පියවරක් ගත නොහැකි වන අයුරිනි 

පොදු ව්‍යාපාර කාරක සභාව හැරුණු විට වෝහාරික විගණන වාර්තා විවෘත කිරීමට මුදල් ඇමැතිවරයාට පූර්ණ බලය ඇතැයි ද ඒ අනුව මුදල් විෂය භාරව සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය නම් එම වාර්තා නිරීක්ෂණය කර අවශ්‍ය ඊළඟ පියවර ගත හැකි යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති මහතා අවධාරණය කර කීය.

වෝහාරික විගණන වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් විවෘත කිරීමට පැය කීපයක් තිබියදී පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම නිසා බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේ යැයි කී හෙතෙම වාරාවසාන කිරීම දිනයකින් හෝ කල් ගියේ නම් අදාළ වාර්තාවල අන්තර්ගත කරුණු විමසා ගත යුතු පියවර සම්බන්ධයෙන් තීරණයක් ගත හැකිව තිබිණි යැයි පැවැසීය.

අදාළ වෝහාරික විගණන වාර්තා කෝප් කමිටු ලේඛනාගාරයේ ආරක්ෂිතව ඇතැයි ද නව කෝප් කමිටුවට එය පිරික්සා බැලිය හැකි යැයි ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

මාර්තු 2 වැනිදා වනවිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ලැබෙන බැවින් නව කාරක සභාවක් පත්කර ඔවුන් මෙය විමර්ශනය ආරම්භ කිරීමට පෙර බොහෝවිට විය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *