ස්විස් තානාපති නිලධාරිනිය ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව යයි

පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 3 වැනිදා කළ නියෝගය ප්‍රකාරව ගානියා බැනිස්ටර් මහත්මිය ඇගේ නීතිඥවරුන් දෙදෙනකු සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමග ඊයේ  (8) පස්වරු 2 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම නිලධාරියා කීය.

සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඇය පැමිණෙන බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකයට පසුගිය සිකුරාදා (06) දැනුම් දී තිබූ බව ද වාර්තා විය.  

ශ්‍රී ලංකාවේ  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන මෙම නිලධාරිනිය නොවැම්බර් මස 25 වැනිදා කුරුඳුවත්ත පොලිස් වසමේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පස් දෙනෙකු විසින් පැහැරගෙන ගිය බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියා විසින් ඉකුත් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම නිලධාරිනිය පැහැරගෙන ගොස් ලිංගික අතවර කර නිශාන්ත සිල්වා නමැත්තාට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කර ඇගේ දුරකථනය පරීක්ෂා කිරීමෙන් පසු පැය කිහිපයක් රඳවා තබාගෙන සිට පසුව මුදා හරින ලදැයි එම පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 3 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරුවන් පැහැරගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන තුරු ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව අයට අද (09) වනතුරු විදෙස් ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් පැනවීය.

මේ සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (9) යළි කැඳවීමට නියමිතය.
රහස් පොලිසියේදි මේ තැනැත්තියගෙන් පැය පහක පමණ ප්‍රකාශයක් සටහන් කරගත් බවද පැවසේ.

ප්‍රකාශය දීමට පෙර ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ඇත.
ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඇය ඊයේ රාත්‍රි 7 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ.

(නිමන්ති රණසිංහ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *