2015 ට පෙර බැදුම්කර වංචා තොරතුරු ඇතුලත් වෝහාරික විගණන වාර්තා 05ක් කෝප් කමිටුවේ හිරවෙයි


මේ වන විට පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කොට ඇති අතර නව සැසිවාරය ලබන ජනවාරි මාසයේ මුල ආරම්භ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ කරළියට පැමිණි තවත් එක් කරුණක් වන්නේ කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවයි. මෙම වාර්තාව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගිය දෙසැ. 03 වෙනිදා කෝප් කමිටුවක් කැඳවා එහිදී කෝප් සාමාජිකයින්ට ලබාදීමටත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් තීරණය කර තිබිණි. එසේ තිබියදී පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම හේතුවෙන් කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව රටට හෙළිකළ හැකිව තිබූ ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් තවත් මාස ගණනකට හෝ වසර ගණනකට යටපත් වීම සිදුවූ බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
කෙසේ වෙතත් සිද්ධිය මෙසේය. පසුගිය ජනාධිපතිවරණ සමයේ නොවැම්බර් 11 දින මහ බැංකු අධිපතිවරයා විසින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති වෙත වෝහාරික වාර්තාවට අදාළ නීතිපතිවරයාගේ නිර්දේශ සහිත ලිපියක් එවා ඇති අතර නොවැම්බර් 27 වැනි දින වෝහාරික විගණනයට අදාළ වාර්තා 05ක් කෝප් කමිටු කාර්යාලයට එවා තිබේ. එම වාර්තා 05 තුළ 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළ කරුණු ගණනාවක් ඇතුළත් බවත් නීතිපති නිර්දේශය වන්නේ කෝප් කමිටුවේ සාමාජිකයින්ට පමණක් මෙම වාර්තා පරිශීලනය හැකි බවත් අධිකරණ ක‍්‍රියාමාර්ග සඳහා අවශ්‍ය රහස් තොරතුරු එම වාර්තා තුළ අඩංගු බවත් මහ බැංකු අධිපතිවරයාගේ ආවරණ ලිපියේ සඳහන් කොට තිබිණ. මේ හේතුවෙන් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති කෝප් ලේකම්වරයාට උපදෙස් දී තිබුණේ එම වාර්තා සේප්පුවේ බහා තබන ලෙසත් පාර්ලිමේන්තුවේ ඊළඟ සභා වාර දිනය එනම් දෙසැ.03වැනිදා පෙරවරුවේ කෝප් සභාව කැඳවීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙසත්ය.
එසේ තිබියෙදී දෙවැනිදා වන විට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනය අත්සන් කරන බවට ප‍්‍රවෘත්තියක් පළ විය. මේ අතර කෝප් සභාපතිවරයා කෝප් කමිටුවේ සාමාජිකයින් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න වැනි මන්ත‍්‍රීවරුන්ට කතා කොට සැසිවාරය අවසන් කිරීම පිළිබඳව විමසූ අතර අවම වශයෙන් 03වැනිදා මෙම වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ හැකිද යන්න විමසන ලෙස කියා සිටියේය. කෙසේ වෙතත් දෙසැ.02 දින මධ්‍යම රාත‍්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කෙරිණි. පසුදින එනම් 03වැනිදා කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති කෝප් ලේකම්වරයා හමුවිය. ”දැන් මේ වාර්තා අපි කාටවත් විවෘත කරන්න බැහැ. මම හිතුවේ 03වෙනිදා කෝප් කමිටුව කැඳවලා සාමාජිකයින් ඉදිරියේ මේ වාර්තා විවෘත කරන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුවට දාන්න. ඒ නිසා මමවත් විවෘත කළේ නැහැ. ඒ තීරණය ගත යුත්තේ කෝප් කමිටුවේ සාමාජිකයින්. නමුත් දැන් කෝප් කමිටුව අහෝසිවෙලා තියෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයෙන් පස්සේ පත්වෙන කෝප් කමිටුවෙන් තමයි මේ ගැන ඉදිරි කටයුතු සිදුවෙන්නේ. ඒ වෙනකල් වාර්තා සේප්පුවේ දාලා තියන්න වෙනවා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන මාධ්‍යවේදීහු කිහිපදෙනෙක්ද කෝප් සභාපතිවරයායෙන් මේ පිළිබඳව විමසා සිටියහ. ”සමහර මාධ්‍යයත් වාර්තා කළා ඒ වගේම මේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු කිව්වා මේ වාර්තා කලින් ලැබිලා ඉදිරිපත් කළේ නැහැ කියලා.” මාධ්‍යවේදියෙක් විමසීය. ”ඒක පට්ටපල් බොරුවක්. සමහර ඞීල් වහගන්න කියන කතා මේවා. ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ බැඳුම්කර වංචාවයි. ඒකේ වැරදිකරුවන්ට දඩුවම් දෙන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ විගණන වාර්තා එළිදැක්වුවා නම් ජනතාවට ඒ ගැන ඇත්ත දැන ගන්න පුළුවන්. දැන් ඉතිං ඒ අවස්ථාව ජනතාවට අහිමි වුණා. ආයේ කෝප් කමිටුවක් පත්වෙලා න්‍යායපත‍්‍ර හදලා මේ ගැන තීරණ ගන්නකොට මහ මැතිවරණයත් ඒවි.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *