අයවැයේ කැපිල්ල – සී ජේ අමරතුංග

‘‘මතුපිටින් පෙනෙන්නට තිබෙන දේ සත්‍යය නම් අපට විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත.’’ යන්න කාල් මාක්ස් චින්තකයාගේ ප‍්‍රකට කියමනකි. සාමාන්‍ය මහජනයා ප‍්‍රශ්න දකින ආකාරය හා විද්‍යාත්මක සත්‍යය අතර පවතින බරපතළ වෙනස මෙම කියමනෙන් සරලව පෙන්වාදී ඇත. ලෝකය ගෝලාගාර බව මහජනයාට ඒත්තු ගන්වන්නට එදා සිටි විද්‍යාඥයන්ට පහසු වූයේ නැත. එමෙන්ම මහජනයාට පෙනෙන්නේ හිරු ලෝකය වටා ගමන් කරන බවයි. අතීතයේ විශ්වාස කළේද ඒ බවයි. ඊට වඩා ඇත්ත තත්ත්වය වෙනස් බව පෙන්වා දුන්නේ විද්‍යාවයි. එම ඇත්ත කියන්නට ගිය ඇතැම් විද්‍යාඥයන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. තවත් අයට විවිධ වද බන්ධනවලට මුහුණ දෙන්නට සිදුවූයේ ද මෙම පරස්පරය නිසාය.
විද්‍යාත්මක යථාර්ථය හා මතුපිටින් පෙනෙන දේ අතර මෙම පරස්පරය ගැන කාල් මාක්ස් කී දේ බොහෝ ආර්ථික දේශපාලන කරුණු සම්බන්ධයෙන් වලංගු බව පැහැදිලිය. මෑත කාලයේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් සලකා බලන විට මාක්ස්වාදීන් කියා ගන්නා ඇතැමුන් ප‍්‍රශ්න විග‍්‍රහ කරන ආකාරයටද මාක්ස්ගේ මෙම විවේචනය අදාළ බව පෙනෙන්නට ඇත. ආණ්ඩුවේ 2016 අය වැය ලේඛනය හා එය සංශෝධනයට ගෙන ගිය උද්ඝෝෂණයේ ඇතැම් මතවාද සම්බන්ධයෙන්ද දක්නට ඇත්තේ එබඳුම තත්ත්වයකි.
මෙවර අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසුව ජන මතයෙන් ආ පීඩනයට මුහුණදෙන්නට ආණ්ඩුවට සිදු විය. ආණ්ඩුව කළේ මහජන විරෝධය යම් පමණකට සමනය වන ලෙස අය වැය සංශෝධනය කිරීමයි. ඊළඟට විවේචන එල්ල වූයේ අය වැය සංශෝධනය කිරීම ගැනය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේ ඉතිහාසයේ වැඩිම සංශෝධන ගෙන ආ අය වැය ලෙස මෙය ඉතිහාස ගත වන බවයි. හිටපු මුදල් ඇමැතිවරයෙකු වන රෝනී ද මෙල් මහතා අය වැය එකොළොහක් ඉදිරිපත් කළ බවත් ඒ එකකටවත් සංශෝධන ඉදිරිපත් නොවූ බවත් ප‍්‍රකාශ කොට තිබිණි.
රොනී ද මැල් මහතා මුදල් ඇමැති තනතුරට මුලින්ම පත්වූයේ 1977 දීය. ඔහු එම තනතුර භාර ගන්නා විට මෙරට සියලූම ජනයාට හාල් සලාක පොත කියා කාඞ් පතක් තිබිණි. මහජනයාට නොමිලේ හාල් සේරුවක් හා අඩු මිලට තවත් හාල් සේරුවක් දුන්නේ එම සලාක පොතටයි. ඒ කාලයේ සලාක පොත කෙනකුගේ අනන්‍යතාව තහවුරු කරන ලියවිල්ලක් ලෙසද පිළිගැනීමක් තිබිණි.
ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමැති ලෙස රොනී ද මැල් මහතා ඉදිරිපත් කළ පළමු අය වැය ලේඛනයෙන්ම හාල් පොතත් හාල් සලාකයත් අහෝසි කරනු ලැබීය. එයට වම හා විපක්ෂය විරෝධතා දැක්වුවද ඒ කිසිවක් තුට්ටුවකට ගණන් ගත්තේ නැත. බලයට පත්වූ විගසම එම ආණ්ඩුව සිය විරුද්ධවාදීන්ට පහරදී හිහඬ කොට තිබිණි. නිදහස් ජනමාධ්‍යය හා පුරවැසි සංවිධානද එකල ක‍්‍රියාත්මක වූයේ නැත. විපක්ෂයේ පාක්ෂිකයා එළියට බහින්නට තරම් නිර්භීත වූයේ නැත. යම් හඬක් නැඟුවේ වම පමණකි. එයට කන් නොදී ආණ්ඩුව තම ආර්ථික පිළිවෙත ක‍්‍රියාත්මක කළේය. එකල වැඩ කෙරුණේ එහෙමය.
වම කීවේ සලාක පොත හා මහජනයාට නොමිලේ දෙන සහල් සේරුව කපා හැරීම නිසා විශාල ව්‍යසනයක් ඇතිවන බවයි. දුප්පත්ම ජනයාට කන්න බොන්න නැතිවී බඩගින්නේ මිය යන්නට සිදුවන බවයි. මන්දපෝෂණය බරපතළ ලෙස පැතිරෙනු ඇති බවයි. මතුපිටින් පෙනුණ දේ ඇත්ත නම් එය එසේ සිදුවිය යුතුව තිබිණි. එසේ වුවද පසු කාලයේ දකින්නට ලැබුණේ වෙනත් තත්ත්වයකි.
ළමා මන්ද පෝෂණය නවසිය හැත්තෑ ගණන් දක්වා අප රට මුහුණ දුන් ප‍්‍රධාන ප‍්‍රශ්නයකි. එයින්ද බරපතළම තත්ත්වය දුස්සාධ්‍ය මන්දපෝෂණයයි. විශාල බඩ ගෙඩි හා කෙසඟ අත් පා එම තත්ත්වයේ ලක්ෂණයි. එකල එබඳු රෝගීන් සඳහා කොළඹ මහ රෝහලේ වාට්ටුවක් වෙන්කොට තිබිණි. එහි ඉඩ කඩ මදිවී කොටසක් මුල්ලේරියාවටද යැවූ බව කියති. නවසිය හැත්තෑ ගණන්වලින් පසුව එම දුස්සාධ්‍ය මන්ද පෝෂණ තත්ත්වය අප රටින් තුරන්ව ගිය බව අපගේ අත්දැකීමයි. මේ වන විටත් සාමාන්‍ය මන්දපෝෂණය ප‍්‍රශ්නයක්ව ඇතත් ඉහත කී තත්ත්වයේ රෝගී ළමයින් හමුවන්නේ කලාතුරකිනි.
මහජනයා මතුපිටින් දකින දේ හා ඇත්ත ලෝකය අතර පරස්පරය පෙනී යන එක් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
ඇතැම් වාමාංශිකයන් තවමත් කියන්නේ මෙරට මුහුණදෙන සියලූ ව්‍යසනවලට හේතුව 1977 දී හඳුන්වාදුන් විවෘත ආර්ථිකය බවයි. එසේ වුවද මන්ද පෝෂණය අඩුවීම, ජීවිත අපේක්ෂාව ඉහළයාම ළමා හා මාතෘ මරණ අඩුවීම, අධ්‍යාපනය ඉහළ යාම ආදී සියලූ අංශවලින් හෙළිවන්නේ වෙනත් කතාවකි. එය මහජනයාගේ සාමාන්‍ය බුද්ධියට මේ වන විට වැටහී ඇති බව පෙනෙන්නේ මෙම ක‍්‍රමය වෙනස් කිරීමේ සටන් පාඨයට අද එතරම් මහජන සහායක් නොමැති නිසාය. එසේ වුවද එම තත්ත්වය ඇතිවීමට දිගු කාලයක් ගතවී තිබේ.
මහජනයාට නොමිලේ නැතහොත් සහන මිලට සහල් හා වෙනත් ආහාර ද්‍රව්‍ය ලබාදීමට තිබූ සලාක ක‍්‍රමයත් හාල් සලාක පොතත් අහෝසි කර වසර තිස් ගණනක් ගතවී ඇතත් එම සලාක ක‍්‍රමය සමඟ බැඳුණු මූලික මතවාදය තවමත් ශක්තිමත් බව මෙම අය වැය සම්බන්ධ වාද විවාද හා විරෝධතා ආදියේදී පැහැදිලි විය. එම මතවාදය වන්නේ රජය ජනතාවට සියල්ල ලබාදිය යුතුය යන්නයි. නැතහොත් මූලික අවශ්‍යතා සියල්ල සැපයිය යුතු බවයි. එමෙන්ම ඒ සඳහා මහජනයාගෙන් කිසිවක් ගැනීම නොකළ යුතු බවයි. එසේත් නැත්නම් ඉතා අඩුවෙන් රැුගෙන විශාල ලෙස ලබාදිය යුතු බවයි. රජයක් ජනතාවට සහන සලසන්නේ ජනතාවගෙන්ම ලබාගන්නා ධනයෙන්ය යන්න මෙම තර්කයට හසුවන්නේ නැත. රජය පිළිබඳ මෙම හැඟීම, කල්ප වෘක්ෂය සම්බන්ධ විශ්වාසයට සමානය. එනම් ඉල්ලන සියල්ල මවාදිය හැකි වීමයි.
බොහෝ විට මෙම මතවාදය ගොඩනඟන්නේ දේශපාලනඥයන් විසින්මය. ඔවුන් ජනතාවට පෙන්වන්නේ හා කියන්නේ ජනතාවට අවශ්‍ය සියල්ල ලබාදීමට තමන්ට හැකියාව ඇති බවයි. විශේෂයෙන්ම මැතිවරණවලදී දේශපාලනඥයන් පොරොන්දු දෙන්නේ ඒ ආකාරයෙනි. එකිනෙකා හා තරගයට මෙන් පොරොන්දු වන්නේ ස්වර්ග රාජ්‍යයක් මවා දීමටය. ප‍්‍රශ්නය මතුවන්නේ යථාර්ථය ලෙස එය එසේ කළ නොහැකිවීම නිසාය.
රජයක් තිබෙන්නේ මහජන සුබ සෙත සැලසීම සඳහාය යන්න ගැන විවාදයක් තිබිය නොහැකිය. එය රජයක ප‍්‍රථම හා එකම වගකීම යැයි කීවද වරදක් නැත. එසේ වුවද එයින් අදහස් කරන්නේ මහජනයාට අවශ්‍ය දේ රජයෙන්ම සැපයීම යන්න විය නොහැකිය. මහජනයාට හොඳින් ජීවත්වීම සඳහා පසුබිම හා අවස්ථා සලසා දීම රජය විසින් කළ යුතුය. එමෙන්ම මහජනයාට අදට වඩා හොඳ ජීවන තත්ත්වයක් හෙට උදාකරදීමට රජය කටයුතු කළ යුතුය. අය වැය ලේඛනයකින් සිදුවිය යුතුවන්නේ ඒ සඳහා උපාය උපක‍්‍රම සලසා ක‍්‍රියාවට නැඟීමයි.
එමෙන්ම මහජන සුබසාධනය සැලසීමද රජයක වගකීමකි. එම සුබසාධනය අවශ්‍ය වන්නේ දුබලයන්ටය. නැති බැරි මිනිසුන්ටය. ආර්ථිකයේ තරග කරමින් තමන්ට හොඳ ජීවන තත්ත්වයක් සලසා ගැනීමට හැකියාව නැති උදවියටය. එලෙස රජය සුබසාධනය සලසන විට ඒ සඳහා ගෙවන්නට සිදුවන්නේ වෙනත් පිරිසකටය. එනම් යම් හැකියාවක් ඇති පිරිසටය. ආර්ථිකය කළමනාකරණය කළ හැකිවන්නේ ඒ ආකාරයෙනි. සුබසාධනය සඳහා මුදල් මැවීමේ හැකියාවක් රජයකට නැත. කළ හැකි වන්නේ මුදල් නෝට්ටු මුද්‍රණයයි. එයද ජනතාවගේ බදු අය කර ගැනීමේ වක‍්‍ර ක‍්‍රමයකි. මහජනයාගේ ධනය රජය කොල්ල කෑමේ ක‍්‍රමයකි. ඇත්ත කතාන්දරය ඒකය.
මේ වසරේ ඉදිරිපත් කළ අය වැය ලේඛන දෙක මගින් ආණ්ඩුව සාමාන්‍ය ජනයාට විවිධ සහන සලසා ඇත. රජයේ සේවක වැටුප් විශ‍්‍රාම වැටුප් වැඩි කොට ඇත. තෝරාගත් භාණ්ඩවල මිල අඩු කළේය. ඛණිජ තෙල් මිල හා ගෑස් මිල අඩු කිරීම බොහෝ දෙනාට දැනෙන සහනයකි. ගමන් වියදම් සුළු වශයෙන් හෝ අඩුවී ඇත.
මෙලෙස සහන ලබාදීමට ආණ්ඩුව මහජනයාට පොරොන්දු වී තිබිණි. ප‍්‍රශ්නය ඇත්තේ පොරොන්දු වූ සහන ප‍්‍රමාණය මීටත් වඩා වැඩි වීමයි. එහිදී දේශපාලනඥයන් පෙනීසිටියේ ඇලඩින්ගේ පුදුම පහන ඇතැති පිරිසක් ලෙසිනි. අය වැයට විරෝධයක් වර්ධනය වීමට ප‍්‍රබල හේතුවක් වූයේ දේශපාලනඥයන් විසින්ම ගොඩනැගූ එම මතවාදයයි.
මහජනයාට එලෙස සහන දෙන විට ඒ සඳහා මුදල් මහජනයාගෙන්ම ලබාගැනීමට සිදුවීම රජයට වැළැක්විය නොහැකි කාරණයකි. ආණ්ඩුව මෙවර තෝරාගත්තේ එම මුදල් මැද පාන්තිකයාගෙන් ලබාගැනීමේ විකල්පයයි. මැද පාන්තිකයාට ඩෝං ගියේ ඒකටය. ආණ්ඩුවට අය වැය සංශෝධනය කරන්නට සිදුවූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
මෙම තත්ත්වය හොඳින් පෙනෙන්නට තිබෙන්නේ අය වැයට ඉදිරිපත් කළ ප‍්‍රධාන සංශෝධන සැලකිල්ලට ගත්විටය. ඒවානම් වාහනවල ආදායම් බලපත‍්‍ර ගාස්තුව නැංවීම සියයට විසි පහ සිට පහළොව දක්වා අඩු කිරීම, දුම් පරීක්ෂණයට නියම කොට තිබූ පන්දහසක ගාස්තුව එක්දහස් පන්සියයකට අඩු කිරීම, කල්බදු තක්සේරු ගාස්තුව මෝටර් රථ සඳහා පහළොස් දහසේ සිට පන්දහස දක්වාත් ත‍්‍රිරෝද රථ සඳහා තුන් දහස දක්වාත් අඩුකිරීම හා රජයේ සේවකයන්ට තීරුබදු රහිතව වාහන ගෙන්වීමට බලපත‍්‍ර ලබාදීම අහෝසි කිරීමේ තීරණය වෙනස් කොට සීමා යටතේ ලබාදීම ආදියයි.
ඉහත කී බදු සියල්ලම පාහේ මැද පාන්තිකයා එල්ල කරගත් බදු බව පැහැදිලිය. තීරුබදු රහිත වාහන බලපත් ලැබෙන්නේ ඉහළ නිලධාරින්ට හා වෘත්තිකයන්ටය. කම්කරු ගොවි ජනයා අතර වාහන හිමියන් සිටින්නේ නම් ඉතා සුළු පිරිසකි. එසේ සිටින්නේ නම් ඔවුන්ද යම් ධනයකට හිමිකම් කියන්නන් විය යුතුය. එබැවින් මේ සියල්ලෙහි ඉලක්කය මැද පාන්තිකයා බවට සැකයක් නැත.
මෙලෙස මැද පාන්තිකයාගේ බදු අයකර ගැනීම හා වරප‍්‍රසාද අහිමි කිරීමට එරෙහිව එම පන්තියෙන් නැගිටීමක් ඇතිවීම ස්වාභාවිකය. එසේ වුවද එම තත්ත්වය ඇතිවන්නේ ආණ්ඩුව ලබාදුන් ඇතැම් සහනවලින් මැද පාන්තිකයාටද සහන හිමිවී ඇති තත්ත්වයක් තුළය. ඛණිජ තෙල් මිල හා ගෑස් මිල අඩු කිරීම හා සාමාන්‍ය පරිභෝජන භාණ්ඩ මිල අඩු කිරීමේ වාසියද මැද පාන්තිකයාට හිමිවිය. එනමුත් රජය කළ එක් උපක‍්‍රමික වරදක් නම් වාහන මත බදු ගණනාවක් එකවර ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමයි. එය බරපතළ විරෝධයක් ඇති කිරීමට එක් හේතුවකි.
ඇතැම් වෘත්තීය සමිතිවල විරෝධය එල්ල වූයේ අලූතින් රජයේ සේවයට බැඳෙන්නන් සඳහා සකස් කිරීමට යන දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයටය. එම විරෝධය ඉදිරිපත් කරන උදවියගේ ආකල්පය නම් විශ‍්‍රාම වැටුප් රජයෙන්ම ගෙවිය යුතු බවයි. එය ගෙවන්නේ මහජනයාගේම බදුවලින් බවත් එය එන්න එන්නම බරපතළ වැය  බරක් වන බවත් නොතැකීම මෙම විරෝධයට හේතුව බව පෙනන්නට තිබේ. එම ආකල්පයේ පදනම වන්නේ සෑමදේම රජයෙන් දිය යුතු බවට වන මතවාදය බව පෙනෙන්නට තිබේ.
විශ‍්‍රාම වැටුප් බර දිනෙන් දින වැඩි වන ආකාරයත් ජනයාගේ ජීවිත අපේක්ෂාව වැඩි වන විට වැඩි කාලයක් වැටුප් ගෙවන්නට සිදුවන බවත් ඒ සඳහා අරමුදලක් ගොඩනගා තිබීමේ වැදගත්කමත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය. එසේ වුවද එම කරුණු තේරුම් ගන්නට ඇතැම් වෘත්තීය සමිති නායකයන් සූදානම් නැති බව පෙනෙන්නට ඇත. මෙසේ වන්නේ එක්කෝ මුල් බැසගත් ආකල්ප නිසාය. එසේත් නැතහොත් ආණ්ඩු විරෝධීවීම ජනප‍්‍රියත්වයේ මාවත ලෙස සැලකීම නිසාය. එම හේතුව කුමක් වුවත් මෙම ආකල්පය නම් රටට හෝ ජනතාවට සුබවාදී නොවන බව පැහැදිලි කරුණකි. කෙසේ වෙතත් විශ‍්‍රාම වැටුප් ගෙවීමට අරමුදලක් ගොඩනැඟීමට රජය ඉදිරිපත් කොට ඇති යෝජනාව සංශෝධනය නොවීම යහපත් තත්ත්වයකි. එහි සැබෑ ප‍්‍රතිලාභ රටට අත්වන්නේ තවත් දශක දෙක තුනකින් පසුවය.
අය වැයේ සිදු කළ සංශෝධන නිසා දැන් සිදුව තිබෙන්නේ ආදායම් අහිමිවීමයි. එනම් රජය සැලසුම් කර ඇති වියදම් සඳහා ප‍්‍රමාණවත් ආදායම් නොලැබීමයි. එම අහිමි වූ ආදායම පිළිබඳ විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත්ව ඇත. මුදල් ඇමැතිවරයා කීවේ අහිමි වූ ආදායම රුපියල් බිලියන හතක් බවයි. එසේ වුවද මහා භාණ්ඩාගාරයේ නිලධාරියකු සති අන්ත පුවත්පතකට ප‍්‍රකාශ කොට තිබුණේ එම සංඛ්‍යාව බිලියන හැත්තෑවක් හෝ අසූවක් විය හැකි බවයි.
දැන් අය වැය සංශෝධනය වී හමාරය. ආදායම් අහිමි වී ඉවරය. දැන් තිබෙන්නේ එය පියවා ගන්නා ක‍්‍රම සොයා ගැනීමය. එක් ක‍්‍රමයක් නම් ණය ගැනීමයි. දෙවැන්න වියදම් කැපීමයි. තෙවැන්න කලින් දුන් වෙනත් සහන ඉවත් කර ගැනීමයි. සිව්වැන්න අලූත් බදු පැනවීමයි. ඉතිරි අනෙක් ක‍්‍රමය නම් මුදල් නෝට්ටු මුද්‍රණයයි. මේ කුමන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කළද රටට සෙතක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.
ණය ගැනීම යනු අද වියදම හෙට පරපුරට පැවරීමයි. ඒවා පොලිය සමග ගෙවිය යුතුය. එවිට රට තවත් අමාරුවේය. වියදම් කැපීම යනු සංවර්ධන වැඩ අඩාල වීමයි. සහන ඉවත් කිරීම හෝ අලූත් බදු හෝ මගින් යළිත් බර පැටවෙන්නේ ජනතාවටය. මුදල් නෝට්ටු මුද්‍රණය මහජන ධනය කොල්ලකෑමක් හා විනාශකාරී ක‍්‍රමයකි.
එලෙස රටට කොතරම් අහිතකර වුවද ආණ්ඩුවට දැන් කරන්නට තිබෙන්නේ ද මේ කොයි කොයි දේත් යම් පමණකට ක‍්‍රියාවට නැඟීමටය.
මෙලෙස විනාශකාරී තැනකට රට යොමු වීමට හේතුව නම් රජය කරන දේ ගැනත් එහි විපාක ගැනත් රජය හා ජනතාව අතර හොඳ සන්නිවේදනයක් නොවීමයි. අය වැය ගැන ප‍්‍රශ්න මතුවූ විට අගමැතිතුමා මෙම ප‍්‍රශ්නය ජයගැනීමට යම් උත්සාහයක් දරුවද එය රජයක් වශයෙන් ප‍්‍රමාණවත් නැත. රජයත් මහජනයාත් අතර සන්නිවේදන පරතරය ජයගත නොහැකි නම් ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ක‍්‍රියාත්මක කළ නොහැකි වනු ඇත. එහි ප‍්‍රතිඵලය සාමුහික විනාශයයි.
ලංකා වාණිජ සභාව සංවිධානය කළ සම්මන්ත‍්‍රණයකදී කථා කළ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සරසවියේ මහාචාර්ය රඞීන් සාලි ප‍්‍රකාශ කොට තිබුණේ ශ්‍රී ලංකාව දැන් මුහුණදී තිබෙන්නේ ‘ඩූ  ඕර් ඩයි’ තත්ත්වයකට බවයි. ඒ කියන්නේ කරපන් නැත්නම් මැරියන් යන්නයි. රටට අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ තවදුරටත් ප‍්‍රමාද කළහොත් අත්වන්නේ විනාශය බව මහාචාර්ය සාලි මහතා පෙන්වාදී ඇත්තේ ඒ ආකාරයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *