|

විපක්ෂ නායක හබය ; සජිත් පැරදුනු හැටි ; මෛත්‍රී සජිත්ට කළ දේ

නව ජනපති 15 දෙනෙකුගෙන් යුත් කැබිනෙට්ටුවක් මෙන්ම 40 කින් සමන්විත රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයක් හා තිදෙනෙකුගෙන් යුතු නියෝජ්‍ය ඇමතිධූර හරහා තම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යද්දි ජනපතිවරණ පසුබෑමෙන් තිගැස්සුණු එ.ජා.ප යට තවමත් සියයට සියයක ප්‍රකෘති තත්ත්වයකට ලගාවීමට හැකියාව ලැබී නැත.

විපක්ෂ නායකධුරය හිටපු අගමැති රනිල්ට ලබා දෙන ලෙස එ.ජා.ප මහලේකම්වරයා කථානායකගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරන අතරතුර අත්සන් 50 කට ආසන්න සංඛ්‍යාවකින් යුතුව අජිත් පෙරේරා විසින් කථානායකට යැවු තවත් ලිපියකින් ඉල්ලා තිබුණේ විපක්ෂ නායකධූරය සජිත් ප්‍රේමදාසට ලැබිය යුතු බවය.

මෙම ගැටළුව සාකච්ඡා මගින් බේරා ගැනීම සඳහා පසුගිය අගහරුවාදා සවස 4.00 ට කථානායක නිල නිවසේදී හමුවක් සුදානම් කොට තිබූ අතර රනිල් සහ සජිත් දෙදෙනාටම කථානායකවරයා විසින් ඊට ආරාධනා කොට තිබින.

රනිල් එහි ගොස් කථානායකවරයා සමග පැයකට අධික කාලයක් එකට රැදී සිටිමින් සාකච්ඡා කළද සජිත් එම අවස්ථාවට එක්වූයේ නැත. අසනීප තත්ත්වය හා තමා විල්පත්තු අභයභූමිය ආශ්‍රිත ප්‍රදේශයේ සිටින බැවින් එම හමුවට පැමිණිම අසීරු බව ඔහු දන්වා තිබිනි.

විපක්ෂ නායකධූරය පිළිබදව මෙන්ම එ.ජා.ප ය ලැබු මැතිවරණ පසුබෑම මෙන්ම අනාගතයේදි පක්ෂය ප්‍රතිසංවිධානය කිරිම පිළිබදව ද කතානායකවරයා හා රනිල් අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

“ විපක්ෂ නායකකම ඉල්ලලා සජිත් පාර්ශවය ඔබට ලියුම් යවන්නේ නැතිව මාත් එක්ක කතා බහ කළා නම් යම්කිසි එකගත්වයකට එන්න තිබුණා.” රනිල් කීවේ එවැන්නකි.

“භාරකාර ආණ්ඩුව දිගටම තියාගෙන ඡන්දයකට නොගියේ ඇයි කියලාත් අපේ සමහරු දැන් කෑ ගහනවා. ඉතින් මේවා කතා කරන්න එන්නේ නැතුව කොහොමද තීන්දු ගන්නේ.” රනිල් වැඩිදුරටත් කීවේය.

පසුගිය දා රනිල්ගේ පස්වෙනි පටුමග නිවසේ පැවැති සාකච්ඡාවකදී කිරිඇල්ල සහ රාජිත කීවේ ඔබතුමා රිවස් ගිහින් යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙසය. රනිල් ඒ සදහා සුබවාදී ප්‍රතිචාර දැක්වුවද අකිල සහ රවීගෙන් පළවූවේ එසේ නොවිය යුතු බව යැයි තවත් ආරංචි මාර්ග කියා සිටියේය. එසේම සජිත් සහ රනිල් දෙදෙනාම මදකට පසුපසට වී කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් හරහා මහාමැතිවරණ මෙහෙයුම් දියත් කළ යුතු බවට කිරිඇල්ල කළ යෝජනාවට රනිල් ඇතුළු කාගේත් එකගත්වය පළවිය.

“කරූටත් දැන් එපා වෙලා තියෙන්නේ. එයත් එකපයින් සුදානම් නෑ වගේ පේන්නේ. සිංහල බෞද්ධ පදනම රැකගත හැකි තරුණ කෙනෙක් ගැන අවධානය යොමු කිරීම පක්ෂයට වඩාත් වාසියි. ඒත් මමයි කරුයි කිරිඇල්ලයි වගේ ප්‍රවීනයන් මෙතන ඉන්නම ඕනෑ. සජිත්ගෙනුත් උපරීම සහාය පක්ෂයට ලැබිය යුතු වෙනවා.” රනිල්ගේ ස්ථාවරය වූවේ එයය.

බ්‍රහස්පතින්දා රනිල් සිරිකොත ගියේ පක්ෂ ප්‍රතිසංවිධානය හා ඉදිරි මහාමැතිවරණයට අදාළව එ.ජ.ප මන්ත්‍රී කණ්ඩායම් මුණගැසීමටය. මන්ත්‍රීවරු දස දෙනෙකු බැගින් වු කණ්ඩායම් දිනපතා  හමුවී ඔවුන්ගේ අදහස් උදහස් යෝජනා චෝදනා මත පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම එ.ජා. ප නායකයාගේ උත්සාහය වේ.

“දැන් විපක්ෂ නායක ඔබතුමා බව කථානායකතුමා ටුවිටර් පණිවුඩයකින් ප්‍රකාශ කරලා තිබුණා. ඒකට අභියෝග ආවොත්  මොකද වෙන්නේ.” ලක්ෂ්මන් කිරිඇල්ල විමසූවේ රනිල්ගෙනි.

“ඕවා කතා කරගන්න තමයි එන්න කිව්වේ. එන්නේ නැතුව ප්‍රශ්න විසදන්නේ කොහොමද ? විකල්පයක් නැති නිසා තමයි කතානායකතුමා මගේ නම විපක්ෂ නායකධූරයට යෝජනා කරන්න ඇත්තේ.” රනිල් කීවේ එවැන්නකි.

“ නොවැම්බර් මුල ජනපතිවරණය ගැන ස්වාධීන සමික්ෂණ වාර්තාවක් ආවා. ඒකේ සිංහල බෞද්ධ ඡන්ද 22% ක් තිබුණේ සජිත්ට. ඒත් 58% ක් ගෝටට යි. 14% ක් තීන්දුවක් අරන් තිබුණේ නැහැ. අන්තීමේ සජිත් තමන්ගේ 22% තිබුණු සිංහල බෞද්ධ පදනම 30% ට වැඩි කරගෙන තිබෙනවා. ඒවගේම ගෝටා තමන්ගේ 58% ක ඡන්ද 65% ට කිට්ටු කරගෙන තිබුණා. බෞද්ධ ඡන්ද තමයි මෙතනදි තීරණාත්මක වුනේ. ගෝටා සමස්ත ප්‍රතිශතය හැටියට 48% ක තමයි මුලින් හිටියේ. බෞද්ධ ඡන්ද වැඩිපුර එයාට නොයන්න හෝ අපට ගන්න පුළුවන් වැඩපිළිවෙලක් තිබුණා නම් ගෝටාභය සමස්ථ ප්‍රතිඵලයේදි ලංකාව පුරාම හැම ආසනයකම 60% ක ඡන්ද ප්‍රතිශතයක හිර වෙනවා. එතනදී දකුණේ සිංහල බෞද්ධ හා අන්‍යාගමික ඡන්දයි දෙමළ හා මුස්ලිම් ඡන්දයි සජිත්ට එකතුවුනු විදිය බැලුවහම ජයග්‍රහණය සජිත්ටයි. නමුත් දකුණේ ගෝටාගේ 60% ඡන්ද පදනම එතනම නවත්ව ගන්න බැරුව 65% හෝ ඊට උඩින් ගිය නිසයි ඔහු දිනුවේ.” විශ්ලේශකයෙකු වූ දිනේෂ්  වීරක්කොඩිගේ විග්‍රහයට රනිල් ඇතුළු කාගේත් එකගත්වය පළවිය.

“ සජිත් පාර්ශවය මෛත්‍රීපාල ගැන පුදුමාකාර විශ්වාසයකින් කටයුතු කළේ. එයාට ඇටෑක් කරන්න පවා එපා කියලා කිව්වා. ඒ අය ඔය සියලු ඇමතිකම් පවා තනියම භුක්ති වින්දේ මෛත්‍රිපාලගේ සහායෙන්. මෛත්‍රීට 5% ක ඡන්ද තිබුණා. සජිත් පාර්ශවය විශ්වාස කරපු විදියට ඒ ඡන්ද සජිත්ට ආවා නම් ගෝටාභයට 50% ලැබෙන්නේ නැහැ. එහෙම නම් දෙවෙනි මනාපය ගණන් කරන්න වෙනවා. එහෙම වුනා නම් දිනන්නේ සජිත්.” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහය ද කාගේත් පැසසුමට ලක්විය.

“මෛත්‍රී ඉස්සෙල්ලාම ඇරියේ මහින්ද රාජපක්ෂටයි. ඊළගට ඇරියේ රනිල් අගමැතිතුමාටයි. බලන් ගියාම මෛත්‍රී හොදම ඇරිල්ල ඇරලා තියෙන්නේ සජිත් ප්‍රේමදාසටයි. ඔහුගේ ජනාධිපතිකමටත් තට්ටු කළේ වැඩිම විශ්වාසවන්තයා වූ මෛත්‍රිපාලයි” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ කාගේත් සිනා හඩ මැදය.

“සජිත් පාර්ශවය ප්‍රින්ට් සහ ඉලෙක්ට්‍රොනික් මාධ්‍යවලින් ගන්න උදව් පුද්ගලිකව කතා බහ කරලා අරගෙනවත් නැහැ කියලා ආරංචියි. ලංකාදීප, දෙරණ ප්‍රධානීන්නට පුද්ගලිකව කතා කළා නම් මීට වඩා සහාය ගන්න තිබුණා කියලායි ආරංචි. හිරු හැමදාම සිරසට විරුද්ධ ලයින් එකේ නිසා ඒගොල්ලෝ එතනට ගන්න අමරුයි. ඒත් ඔය සියලු මාධ්‍ය බොක්කෙන් ගෝටට උදව් කලාට ඔවුන් සමග කතා කළා නම් අපට මීට වඩා මිඩියා සහයක් ගන්න තිබුණා කියලායි හැමෝම කියන්නේ.” චමින්ද විජේසිරිගේ අදහසට අගමැතිවරයාගේ පූර්ණ එකගත්වය පළ විය.

“ දැන් සි.අයි.ඩි එකේ ලොක්කා ශානි ඇතුළු මධ්‍යස්ථ නිලධාරීන් 704 කට ප්‍රශ්න ඇති කරන්න යන්නේ. ඔවුන්ට රටින් පිට වෙන්න බැරි වෙන්න එයාපොර්ට් එකටත් නම් ලැයිස්තු යවලා කියලායි ආරංචි. ශානි අමුතුම ජාතියේ පොලිස් කාරයෙක්. ඔහු කාටවත් බයර්ස් නෑ. ඒකට හොදම උදාහරණයක් මම අහලා තියෙනවා. ආණ්ඩුව පැත්තෙන් කරපු ඇතැම් ඉල්ලීම් ඔහු ඉවත දැම්මා. කොටින්ම කියනවා නම් ශානිත් එක්ක ගාල්ලේ මහින්දේ එක පංතියේ හිටපු අර හිරකාරයෝ 27 දෙනා මරණකොට වැලිකඩ ප්‍රධානීයා වෙලා හිටපු එමිල් රන්ජන් ළමාහේවාගේ ගෙදර කලින් දවසේ රෑ එකට කෑවා බිව්වත් මම හෙට උදේ උඹ ඇරස්ට් කරනවා කියලා ශානි කියලා නෑ. ඒ මිනිහා මාර පොලිස් කාරයෙක්.” එ.ජා.ප නීති අංශ නිලධාරියෙක් කී විට රනිල් කීවේ “ඒ මිනිහාගේ හැටි එහෙම තමයි” කියාය.

“ගෝටාභයට උදව් කළ අය වැඩියි. ඒ නිසා හැමෝම තම තමන්ගේ මතවාද ඔහු හරහා රටතුළ ස්ථාපිත කරගැනීමේ මහා තරඟයක ඉන්නේ. බණ්ඩාරනායක මහත්තයාට එදා ආවෙත් මේ වගේම හිරවීමක් කියලා විග්‍රහයක් තියෙනවා.” එ.ජා.ප දේශපාලන අංශ ප්‍රධානියෙකු කීවේ එවැන්නකි.

“ගෝටගේ කැබිනට් එකට ආපු චෝදනා නැති එකම මිනිහා වෛද්‍ය රමේෂ් පතිරණයි. ඔහු සම කැබිනට් ප්‍රකාශක ලෙසත් පත් කරලා. හුග දෙනෙක් ජනාධිපතිගේ එවැනි කටයුතු වර්ණනා කරනවා. ඇල්පිටිය ඡන්දය දිනවීම හා ලංකාවේ වැඩිම ප්‍රතිශතයකින් ගාල්ල දිස්ත්‍රික්කය දිනවීම හා රමේෂ්ගේ උගත්කම නිසයි ඒ අවස්ථා ලැබිලා තියෙන්නේ. අපි ඔහුගේ හැකියාවන් ගැන මීට කලිනුත් මෙතන කතා කළා”.හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“දැන් මුළු ආණ්ඩුවම කරගහගෙන යන්න වෙලා තියෙන එකම පිරිසිදු මිනිහා රමේෂ් පතිරණ වෙලා. අනෙක් අය ඔක්කොටම මාසෙන් භාගයක් උසාවි වලයි ඉන්න වෙන්නේ.” රනිල් කීවේ කොක් හඩලමිනි.

“ ආණ්ඩුව හදලා සතියෙන් මාධ්‍ය ආයතනවලට පැනලා බලපෑම් කරනවා. ඒ මදිවට සුදුවෑන් එවලා විදෙස් තානාපති නිලධාරින් පවා පැහැර ගන්න පටන් අරන්. මුළු ජාත්‍යන්තරයම විතරක් නොවෙයි පොහොට්ටුවට ඡන්දය දීපු බුද්ධිමත් මිනිස්සුත් මේ වැඩෙන් තිගැස්සිලා ඉන්නේ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.

“මේ ජනාධිපතිවරණයට රනිල් අගමැතිතුමා ඉල්ලුවා නම් තේමාව වෙන්නේ “බුදු දහම හා වෙළෙදාමයි” කියලා ඔබතුමා ලගදී කියපු කතාව ඉතා වටිනවා. සජිත් පාර්ශවය මෛත්‍රීට වඩා ඔබතුමා ගැන විශ්වාසය තැබුවා නම් ඒ ක්‍රමයෙන් ගොඩ එන්න තිබුණා.” එ.ජා.ප නීති නිලධාරියෙකු කීවේ එවැන්නකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *