වෙනස දිගටම රැක ගමු – සිරිසේන රාජපක්ෂ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ වහාම සාධනීය පියවර කීපයක්ම ගත් බව පැහැදිලිය. ඉන් පළමුවැන්න වන්නේ රජයේ කාර්යාල වල තමන්ගේ ඡායාරූප තිබිය යුතු නැති බවට කරන ලද ප්‍රකාශයයි. මෙතෙක් පැවති සිරිත වූයේ ආණ්ඩුවක් බලයෙන් පහ වී අලුත් ආණ්ඩුවක් බලයට පත්වූ වහාම පැරණි ආණ්ඩුවේ නායකයන්ගේ ඡායාරූප බිත්තිවලින් ගලවා රජයේ කාර්යාල වල බිත්ති වල නව ආණ්ඩුවේ නායකයන්ගේ ඡායාරූප ඒල්ලීමය. ඇතැම් අවස්ථාවල ඒ සඳහා අධික වියදමක් පවා දරනු ලැබිණ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මතය වන්නේ රජයේ කාර්යාලයන්හි රාජ්‍ය ලාංඡනය පමණක් තිබීම ප්‍රමාණවත් බවය.

ඒ අනුව මින් ඉදිරියට රජයේ කාර්යාල වල බිත්තිවල අදාළ අමාත්‍යවරයාගේ ඡායාරූපය ඒ ල්ලීම්ද නතර වනු ඇත. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ රුව බිත්තිවල නැති විට ඇමතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති වරුන්ගේ රුවට ඉඩක් ලබා දීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙනු ඇත.

පසුගිය දිනෙක එක්තරා පෞද්ගලික ආයතනයක් පුවත්පත් දැන්වීමක් පළකර තිබුනි. ඉන් කියැවුණේ විවිධ ප්‍රමාණවලින් රාජ්‍ය ලාංඡන විකිණීමට ඔවුන් ළඟ ඇති බවයි. එම දැන්වීම කෙරෙහිද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වන්නේ නම් වැදගත්. මක්නිසාදයත් රජයේ කාර්යාල බලධාරීන් ජනාධිපතිවරයාගේ අදහසට මුවාවෙන් රාජ්‍ය ලාංඡන සඳහා රජයේ මුදල් වැය කරන වැඩපිළිවෙලකට යොමු විය හැකි බැවිනි. රජයේ ඇතැම් නිලධාරීන් කොමිස් මුදල් ආදියට ඇල්මක් දක්වන බැවින් රජයේ ඕනෑම නියෝගයක් තම වාසියට හරවා ගනිමින් ආන්ඩුවේ කනෙන් රිංගීමට කටයුතු කරන බැවිනි. ජනාධිපතිවරයාගේ රුව වෙනුවට රාජ්‍ය ලාංඡනය සඳහා වියදම් කරන්නට රජයේ නිලධාරීන් උපායශීලීව කටයුතු කළහොත් ජනාධිපතිවරයා ගේ අරමුණ ඉටු නොවුණු ඇති බැවිනි.

ඊළඟ කාරණය වන්නේ රාජ්‍ය ආයතන වල සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ආදීන් පත්කිරීමේදී සුදුස්සන් පමණක් පත් කළ යුතු බවට ජනාධිපතිවරයාවරයා විසින් ගන්නා ලද තීරණයයි. රජයේ ඉහත තනතුරු සඳහා ඉල්ලුම් පත් කැඳවීමක් නුදුරු දිනකදී සිදු වනු ඇති බව කියවේ ඉන්පසු මණ්ඩලයක් මගින් සුදුසු පුද්ගලයින් අදාල තනතුරු වලට පත් කරනු ලබනු ඇත. මෙරට රාජ්‍ය ආයතන බොහොමයක් මේ වන විට පවතින්නේ පාඩුලබන තත්ත්වයේය. ඒවාහි පාඩුවට හේතුව දුර්වල කළමනාකරණය, නාස්තිය හා දූෂණයයයි. කළමණාකරන දුර්වලතාවන්ට හේතුව විෂය නොදන්නා තැනැත්තන් දේශපාලන හිතවත්කම් මත පමණක් ඉහළ තනතුරු වලට පත් කිරීමයි. විෂය නොදන්නා ලොක්කෙකු මුල් පුටුවේ සිටින විට කුට නිලධාරීන්ට තමන්ගේ දූෂිත ක්‍රියා පහසුවෙන්ම කර ගෙන යාමට ඉඩ ලැබේ. රාජ්‍ය ආයතන හාන්සි වීමට එම කටයුතු බලපායි

රජයේ නිලධාරීන්ගේ විදෙස් ගමන් සීමා කිරීම් ද තවත් එවැනි යහපත් ක්‍රියා මාර්ගයකි. මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් ගමන් යනු බොහෝ විට සාප්පු සවාරි හෝ විනෝදය අරමුණු කරගෙන සිදුවන ඒවා මිස රටට ඵලදායි ඒවා නොවන බව කවුරුත් දන්නා කරුණකි. ඇතැම් ආයතනයකින් රජයේ වියදමින් විදෙස් පුහුණුවට යොමු කරනු ලැබ ඇත්තේ විශ්‍රාම යාමට ආසන්න වයසේ පසුවන්නන් ය. විදෙස් පුහුණුව ලැබ කෙටි කලෙකින් ම ඔහු විශ්‍රාම ගනිති .පුහුණුව සඳහා වැය කරනු ලබන මහජන මුදල් ගඟට ඉනිකැපුවා වැනිය. විදෙස් සංචාර සම්බන්ධව පමණක් නොව විදෙස් පුහුනුවීම් සඳහා සහභාගී වන්නට ද ප්‍රමිතියක් සකස් වන්නේ නම් වඩාත් වැදගත් වනු ඇත.

ජනාධිපති වරයාගේ ඉන්දියානු ගම්නට ද සහභාගි කර ගනු ලබන්නේ සීමිත පිරිසක් බව ප්‍රකාශිතය. පවුලේ අය හෝ මැති ඇමතිවරු ඊට එක් කරගෙන නැත. අමාත්‍යාංශ ලේකම්වරු පමණි. අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම ද තවත් එවැනිම යහපත් පියවරකි. විශේෂයෙන්ම පසුගිය සමයේ මෙරට නම් දරා තිබුනේ මෙගා කැබිනට් හෙවත් දැවැන්ත කැබිනට් මණ්ඩල පත් කරන රටක් වශයෙනි. ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තුවේ ඇමැති නියෝජ්‍ය ඇමැති තනතුරක් නොමැති අයෙක් සොයා ගැනීමට අපහසු තත්ත්වයක් පවා තිබුණි. ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති පමණක් නොව කාර්යභාරයක් නොමැති ඇමතිවරුන්ට පවා මෙරට පාර්ලිමේන්තුව සඳහා වෙනම අමාත්‍යවරයකු පත් කළ අවස්ථා තිබුණි

මෙසේ ඇමති තනතුරු ප්‍රදානය කිරීම මඟින් අපේක්ෂා කළේ රාජ්‍ය සේවය කඩිනම් කිරීම නොවේය. ඇමතිකම අල්ලසක් මෙන් භාවිත කර ආණ්ඩුවේ බලය ආරක්ෂා කරගැනීමයි. ණයබරින් යැපෙන රටක් වශයෙන් එවැනි ඇමති මණ්ඩල වලින් රටට සිදු වූ විනාශය මෙතෙක් කිසිවෙකු ගණන් බලා නැත. ගැටලුව ඇත්තේ මේ තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යෑමයි. ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වූ වහාම යම් යම් ජනප්‍රියවාදී යහපත් තීන්දු තීරණ ගනු ලබන නමුත් ටික කලක් ගත වන විට ජනතාවටත් පාලක පක්ෂයටත් ඒවා අමතකව යන බව මෙරට ජනතාව මෙතෙක් දැක ඇති සත්‍යයි. නිදසුනක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වූ මුල් සමයේ විදෙස් සංචාරවලට සහභාගි කරගත් පිරිස සීමා කරනු ලැබූ නමුත් ඒ මහතාගේ ධුර කාලය අවසන් වන විට ඒ තත්ත්වය මගහැරී තිබුනි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව මුල් කාලයේ ගන්නා ලද ඇතැම් යහපත් තීරණ ද ඔහුගේ ධූර කාලය අවසන් විටය විට ක්‍රියාත්මක වූයේ නැත

එවැනි තත්ත්වයක් ඇතිවීමට බලපානු ලබන්නේ අදාළ නායකයාටත් වඩා බලය මුල්කර මුල් කරගෙන ඔහු වටා ගොනු වන පුද්ගලයන්ගේ වරදින බව ද පැහැදිලි සත්‍යයකි. එවැනි තැනැත්තන් තම ආත්ම වාසිය වෙනුවෙන් පාලකයන්ට ලණු දීම හේතුවෙන් නායකයෝ විනාශ වෙති. අදාළ පුද්ගලයා ඊළඟ නායකයාත් නැවතත විනාශ කරති. ඒ හා සම්බන්ධ ප්‍රකාශයක් උදය ගම්මන්පිල මහතා කර තිබුනි. දුෂ්කරතා වටහාගෙන අමාත්‍යධූරයක් භාර නොගන්නා බව කියන ඒ මහතා පවසන්නේ දින 100 ආණ්ඩුවෙන් ඇමතිකම බලාපොරොත්තු වන හිටපු කැබිනට් ඇමතිවරුන් 38 දෙනකු සිටින බවයි. ඊට අමතරව හිටපු ඇමැතිවරු නොවන දිස්ත්‍රික් නායකවරු ද ඇමති ධූර අපේක්ෂාවෙන් පසු වන බව ඒ මහතා කියයි. ඒ අනුව පෙනී යන කරුණ වන්නේ අඩු ඇමති මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් පවත්වා ගැනීමටත් අපේක්ෂා කරන්නන්ගේ අපේක්ෂා ඉටු කිරීමටත් අතර ගැටුම්කට අනාගතයේ ජනාධිපතිවරයාට මුහුණදීමට සිදුවනු ඇති බවයි. ඉහත ප්‍රතිවිරෝධතා අතර වෙනස සමනය කරගත නොහැකි වුවහොත්, වත්මන් ජනාධිපතිවරයා මුල පුරා ඇති බොහෝ දේ අතර මඟ නතර වීම නැවතිය නොහැකි වනු ඇත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *