රනිල් දේශපාලනයෙන් සමුගනී!

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ලංකා නිවුස් වෙබ් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අනාවරණ කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු වාරාවසාන වන විට සිය 42 ක දේශපාලනයට සමු දෙන බවයි වික්‍රමසිංහ මහතා සඳහන්  කළේ.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයක් විසින් ඇති කරමින් තිබෙන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා ඔහු එම තීරණයට එළඹ තිබේ.

හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන පාර්ශවය විසින් මේ වන විට අවධාරණය කරමින් පවසන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි   වගකීම සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවයි ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔවුන් දිගින් දිගටම අවධාරණය කරන්නේ.

එය ඉටු නොවුණහොත් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් සාදාගන්නා බවටද ඇතැමුන් අදහස් දක්වමින් පසුවෙයි.

මෙවන් පසුබිමක තවදුරටත් තමන් දේශපාලනයේ නිරත නොවීමට තීරණය කළ බව වික්‍රමසිංහ මහතා පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමට හැකි නායකයෙක්ට පක්ෂය භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති අතර එවැනි නායකයෙක් හමු වුණත් නැතත් තමන්ගේ තීරණයේ වෙනසක් නොමැති බවද ඔහු කියාසිටියේය.

හැම පරාජයකටම හේතුව ඉක්මන් වීම

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව ඉක්මන් තීරණ බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දේශපාලනයේදී ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර එය තරුණ දේශපාලකයන්ට ඉතා වැදගත් කාරණයක් බවයි ඔහු අප වෙත අදහස් දක්වමින් පැවසුවේ.

තමන් අගමැති ධූරයට පත් වූයේද ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් බව හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව තරුණ දේශපාලකයන්ට තමන් දෙන උපදේශය වන්නේ දේශපාලනයේදී ඉතා ඉවසීමෙන් හා කල් යල් බලා කටයුතු කිරීම බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

LANKA NEWS WEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *