|

රනිල් – සජිත් ගැටුම සමග එජාපයේ අනාගතය

නිමවූ ජනපතිවරණයට අදාළව පොහොට්ටු අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ නිතරගයෙන් මෙන් පත්ව සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කොට ඉදිරියට යද්දීත් එ.ජා.පෙ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ කව්රුන්ද යන්න පිළිබදව යම් සීතල මත අරගල මෙන්ම අභ්‍යන්තර කඹ ඇදිලිද නොතිබුණා නොවේ.

පක්ෂ නායක රනිල් එක් අතකින්ද, ඊට විකල්ප ලෙස කථානායක කරූ මෙන්ම නියෝජ්‍ය නායක සජිත්ගේ නම් ද ඉදිරියට පැමිණෙමින් තිබින. සකච්ඡාවෙන් – සම්මුතියෙන් ප්‍රශ්නය විසදා ගැනීමට වඩා ජනතාව අතරට ගොස් අපේක්ෂකත්වය ලබා ගැනීම සජිත් කඳවුරේ උපාය මාර්ගය බවට ඔවුන් පත් කර ගත්තේය.

ඒ අනුව බදුල්ලෙන් ඇරඹි රැස්වීම් මාලාව මාතර, කරුණෑගල ඇතුළු රටේ ස්ථාන රැසකදී දැවැන්ත ජනතා ආරක්ෂණයක් සහිත රැස්වීම් බවට පත් විය.

එ.ජා.ප නයකයා ප්‍රමුඛ එ.ජා.පෙ නායකයින්ට ද, එකී ජනතා පීඩනය හමුවේ පසුපසට යාමේ හැකියාව නොතිබිනි. සජිත් ප්‍රේමදාස සියළු පාර්ශවවල එකගත්වයෙන් එ.ජා.පෙ අපේක්ෂකයා බවට පත්වූයේ එසේය.

“මම උතුරු නැගනෙහිර සහ කදුකරයේ සුළු ජාතික ඡන්ද අරන් දෙන්නම්… කළහැකි සියළු අනෙකුත් දේත් කරන්නම්… ඔබ ඔබේ වගකීම් සම්පූර්ණ කරගන්න.“ එ.ජා.ප නායකයා සජිත්ට කීවේ එසේය.

“ඔබතුමාගේ ඒ ආශිර්වාදය මට ඉතා වටිනවා. දකුණේ සිංහල ප්‍රදේශවල මැතිවරණ මෙහෙයුම මම කැප වෙලා කරන්නම්.“ සජිත් ප්‍රේමදාස ඊට ප්‍රතිචාර දැක්වීය.

ඒ අනුව එ.ජා.ප නායකයා උතුරු නැගෙනහිර හා කදුකරයේ ද තෝරාගත් දකුණේ නාගරික හා අර්ධ නාගරික මෙන්ම ගම්බද ප්‍රදේශ රැසක මැතිවරණ මෙහෙයුම් සදහා එක්විය. අපේක්ෂක සජිත් මැතිවරණ ව්‍යාපාරය දැවැන්ත මෙහෙයුමක් බවට පත් කරමින් රටපුරා සියළු ආසනවල එක් ප්‍රධාන රැස්වීම බැගින් රැළි 160 කට ආසන්න සංඛ්‍යාවක් සංවිධානය කළා පමණක් නොව දැවැන්ත ජන සහභාගීත්වයකින් යුතුව ඒවා නිම කරන්නට ද සමත් විය.

අවසානයේ ජනමත විමසුම්, ජනතාවගේ ප්‍රතිචාර හා දෙස් විදෙස් ජොතිෂ්‍ය අනාවැකි තුළ සජිත් සටන ජයගනු ඇති බවට මත පළ විය. එසේම ප්‍රතිවාදි අපේක්ෂකයාට දැවැන්ත දූෂණ, මිනී මැරුම්, ජනතා මුදල් අවභාවිතය ඇතුළු සාම්ප්‍රදායික හා එසේ නොවන විවිධ විෂම චෝදනා එ.ජා.පෙ පාර්ශවයෙන් මෙන්ම මුහුණු පොත ඇතුළු සමාජ ජාලවලින් එල්ල වන්නට පටන් ගත් විට සටන වඩාත් තීව්‍ර විය. ඒ අතරින් පොහොට්ටු අපේක්ෂකයාගේ ලාංකීය පුරවැසිකම පිළිබදව ද, ඇමරිකන් පුරවැසිභාවය අත් නොහැරිමේ චෝදනාව පිළිබද විවිධ උද්ඝෝෂණ හා උපවාස ද ඇති විය. නමුත් අවසානයේ පසුගිය සෙනසුරාදා පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදි එ.ජා.පෙ අපේක්ෂකයා අභිබවමින් ඡන්ද ලක්ෂ 14 කට ආසන්න ප්‍රමාණයකින් පොහොට්ටු අපේක්ෂකයා පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

එ.ජා.ප අභ්‍යන්තරය කැළඹුනේ ඉන් අනතුරුවය. අගමැති රනිල් අනුරාධපුර රුවන්වැලි සෑ මළුවට ගියේ නව ජනපති ගෝටාභයගේ දිව්රුම්දීමේ උත්සවයට අගමැතිවරයා ලෙස ලැබු නිල ආරාධනයක් මධ්‍යයේය. එහෙත් ඔහු මෙන්ම එම උත්සවයට සහභාගී වු අතලොස්සක් මැති ඇමතිවරු ආරාධනා සහිතව එහි ගියද ජනතාවගෙන් පළවුයේ දැවැන්ත විරෝධයක් සමග නොසන්සුන් කමකි. අගමැති රනිල්ට හැරුණුකොට සෙසු කිසිදු එ.ජා.ප ඇමතිවරයෙකුට අසුනක් පවා නොලැබුණු තත්ත්වයක් දක්නට ලැබින.

නව ජනපතිවරයාගේ දිව්රුම්දීමෙන් අනතුරුව අගමැති රනිල් නිල වශයෙන් එදින සවස්වරුවේ ජනපති හමුවූවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. දෙදෙනා අතර පමණක් පැවැති එම කෙටි හමුවේදි අගමැති ධුරය සහ ආණ්ඩු බලය ගැටුමකින් තොරව හුවමාරු කර ගැනීමට අදාළ එකගතාවලට පැමිණින. වහාම මහා මැතිවරණයකට යාමේ අවශ්‍යතාවය නව ජනාධිපතිවරයා වෙතින් පළවුව ද ඒ සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වන විශේෂ යෝජනාවක් ගැනද අදහස් පළ වුනි. එ.ජා.ප යට ඒ සදහා සහාය දීමේ කඩිනම් හැකියාවක් නොමැති බව ද එහිදි අගමැති රනිල් පෙන්වා දුන්නේය. එමෙන්ම ඒ වන විට ශ්‍රීලනිප ය ද හදිසි මහමැතිවරණයක් කැදවන පාර්ලිමේන්තු යෝජනාව සදහා සහයෝගය ලබාදීමට ඇති තම අකමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබින.

“අගමැතිකමින් මම ඉවත් වෙන්නම්. ආණ්ඩුව ඇතුළු කැබිනට් එකත් බාර දෙන්නම් ව්‍යවස්ථානුකූලව ඊළග මහමැතිවරණය තෙක් ඔබ කැමති විදියට ව්‍යවස්ථාදායකය පාලනය කරන්න. අගමැති රනිල් ගේ අවසාන ස්ථාවරය වූවේ එයය.

සජිත් ප්‍රේමදාස ජනපතිවරණයෙන් දින දෙකකට පසු ගෝල්ෆේස් හෝටලයේදි එ.ජා.ප මන්ත්‍රීවරුන්ගේ සුහද හමුවක් පැවැත් වීය. ඊට මන්ත්‍රීවරු 50 කට අධික පිරිසක් එක් වූ අතර එ.ජා.ප නායකත්වය සජිත් ට බාරදිය යුතුයැයි බහුතරයක් මන්ත්‍රීවරුන් සිය ස්ථාවරය එහිදි එළිදැක්වීය.

සජිත් අනතුරුව ටුවිටර් පණිවුඩයකින් කියා තිබුණේ ශ්‍රීලංකාවේ වැනසී යන දිවි පරපුර රැකගැනීම වෙනුවෙන් තම ඉතිරි කාලය වැය කරන බවයි. එහෙත් ඔහු වටා සිටින කණ්ඩායම්වල අදහස වන්නේ දිවියන් රකින්නට පෙර තමන් පෝෂණය වූ එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බවය. ඒ අනුව එ.ජ.ප නායකත්වය ලබාගැනීමත් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව විපක්ෂ නායකධූරයට පත්වීමත් සජිත් ගේ දේශපාලන උපාය මාර්ගය විය යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වේ.

පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරු 11.00 ට සිරිකොතේ දි එ.ජා.ප මන්ත්‍රීවරු හා ආසන සංවිධායකයන් මෙන්ම පාක්ෂිකයන් හමුවිම සදහා සජිත් කැමතිකරවා ගැනීමට සෙසු පිරිස් සමත්විය. ඒ සදහා විශාල බස් ප්‍රමාණයක් රැගෙන ඒමට යෝජනා වී තිබිනැයි ඇතැම් ආරංචි මාර්ග සදහන් කරයි.

“සිරිකොත අල්ලගන්නයි ඔය හදන්නේ. ඒකට ඉඩ දෙන්න එපා එ.ජා.ප නායකයාට තවත් පාර්ශව වෙතින් පීඩනය එල්ල වන්නට විය. සිරිකොත මෙහෙයුම නතරවූ තැන තවත් විකල්ප ස්ථාන දෙකක් ඒ සදහා සැලසුම් කොට තිබින. අවසානයේ සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය වූ වොක්ෂෝල් වෙත පිරිස් කැදවා ගැනීමට තීන්දු විය.

“මම මේ පක්ෂය අතීතයේදි වගේම අනාගතයේදීත් රකිනවා. සජිත් සහ ඔහුගේ කණ්ඩායම වගේම එ.ජා.ප යේ සියළු පක්ෂ සහ කණ්ඩායම් එකතු කරගෙන ජනපතිවරණයේදි ලැබූ පසුබෑම ගැන සියල්ල එකතු කර ගෙන ගැඹුරු විග්‍රහයකට යනවා. එම විග්‍රහය මත පදනම් වෙලා අනගාතයේදි මේ පක්ෂය තරුණ නායකත්වයකට උරුම කරදීමේ වැඩපිලිවෙල ගෙනියනවා. ඒක මේ අසීරු අවස්ථාවේ කළබල වෙලා කඩදාසි ලිපේ දාලා කරන්න ගියොත් පක්ෂය තවත් අනාත වේවි. අපේක්ෂකත්වය අරගත්තා ඒත් ජනපති සටනේදි අපෙන් අවශ්‍ය සහාය ගත්තා මදි කියලාත් මට හිතුන තැන තියෙනවා. රනිල්ගේ ස්ථාවරය එය විය.

පොහොට්ටුවට ආණ්ඩු ගන්න පුළුවන්. ඒත් සුළු ජාතින් නැතුව, ජාත්‍යන්තරය නැතුව ජනමාධ්‍යවලින් විතරක් ආණ්ඩු කරන්න අමාරුයි ජනතාව දැන් ඉතා එඩිතරයි. ඒ වගේම බුද්ධිමත්. බිලියන 11 ක බැදුම්කර වංචාවකට දැවැන්ත චෝදනා කළ කණ්ඩායමේ ජනපතිවරයා, පත් වූ විගස තම ලේකම්වරයා ලෙස රුපියල් බිලියන 300 ක වැට් බදු වංචාවට චූදිතයෙක් වූ හා රජයේ තනතුරු ලැබිය නොහැකි බවට උසාවියෙන් නියෝග ලැබූවකු පත් කිරීම ගැන ජනතාව පැය 24 ක දී මුහුණු පොතේ හා සමාජ මාධ්‍යයේ දැවැන්ත ලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එසේම පවුලෙන් පිට කෙනෙකුට තාවකාලිකව අගමැතිධූරය ලබා දෙන බවට මුලදී ප්‍රචාරය කොට පසුව එය පවුල වෙතම සවිකර ගැනීමට ගත් තීන්දුව ගැනත්, තව තව සිද්ධීන් රාශියක් ගැනත් ජනතාව වේගයෙන් අවදිවෙමින් ඉන්නේ. ඒ නිසා ජනපතිවරණ ජයග්‍රහණය  සහ රට, රටේ ආර්ථිකය, ණයබර , විරැකියාව, ලබාදුන් පොරොන්දු ඉටු කිරීම වැනි දේ වේදිකාවල කතා කරන ඒවා තරම් සුන්දරව ඉටුකළ හැකි දේවල් නොවන බව දේශපාලන අත්දැකිම් අඩු නව ජනාධිපතිවරයාට මහමෙරක් වෙනවා නොඅනුමාන බවයි බොහෝ විශේෂඥයන්ගේ මතය වෙන්නේ. රනිල් සිය ස්ථාවරය පැහැදිලි කළේ බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොළඹ පස්වන පටුමගේ සිය නිවසට පැමිණි පිරිසක් ඉදිරියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *