පක්ෂය තුළ ජනප්‍රියම කෙනා ජනාධිපතිවරණයට දැම්මා. ප්‍රතිඵලය කණගාටුදායකයි. – නවීන්

එක්සත් ජාතික පක්ෂය තුළ ජනප්‍රියම නායකයා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුය යන මතයක් පැවති හෙයින් එසේ ඉදිරිපත් කළ නමුත් ලැබුණු ප්‍රතිඵලය කණගාටුදායක බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි. 

තම අපේක්ෂකයාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඉතාම අඩු එකක් බව පැවසූ ඒ මහතා අවම වශයෙන් කරට කර සටනක් දීමට හෝ නොහැකි වූ බවයි පෙන්වා දුන්නේ. 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම වෙනුවට පක්ෂයක් ලෙස ස්වයං විවේචනාත්මකව මේ දෙස බැලිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය. 

“අපි එක්සත් ජාතික පක්ෂයෙන් අපේ ජනප්‍රියම නායකයා ඉදිරිපත් කරන්න හිතුවා, ඉදිරිපත් කළා. නමුත් කණගාටුදායක ප්‍රතිඵලයක් අපට ආවෙ. අඩු ඡන්ද සංඛ්‍යාවක්. ඒ කියන්නෙ කරට කරවත් නෑ ඒ සටන. 

ඉතිං අපි ඒ ගැන විශාල වශයෙන් දුක් වෙනවා. ඇයි එහෙම වුණේ කියන එක අපි හොයන්න අවශ්‍යයි. මෙතන තියන්නෙ එක් එක්කෙනාට ඇඟිල්ල දික් කිරීමක් නෙවෙයි, අපි සමස්තයක් හැටියට, පක්ෂයක් හැටියට මේ පරාජය බාරගන්න ඕනෙ. 

අපි පක්ෂයක් වශයෙන් ස්වයං විවේචනයක් කරන්න ඕනෙ. ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට සමුදෙමින් ඊයේ (21) පැවති රැස්වීමකදීය. 

RN

LANKA NEWS WEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *