’මංගල, කබීර්, මලික් හැදුවේ මගේ පිහිටෙන් ගොඩයන්න’’ – සජිත්

සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප ජ්‍යෙෂ්ඨයෙක් අතර ඊයේ (19) ප්‍රේමදාස මහතාගේ කොළඹ නිවසේද පැවති සකාච්ජාවේදී ප්‍රේමදාස මහතා කරුණු රැසක්  අනාවරණය කර තිබේ. විශේෂයෙන් ජනාධිපතිවරණය පරාජය වීමට බලපෑ කරුණු රැසක් පිළිබඳව දෙදෙනා සාකච්ජා කර ඇති බවයි වාර්තා වුණේ.

විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සඳහා ආරම්භක මැදිහත්කරුවන් ලෙස පෙනී සිටි මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන හිටපු අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා කතා කර ඇත්තේ කිසිදු ආකාරයක පැහැදීමකින් නොවේ.

ඔවුන් උත්සහ කර තිබුණේ තමාගේ පිහිටෙන් ගොඩයාම බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා එකී එජාප ජ්‍යෙෂ්ඨයා සමඟ පවසා තිබේ.

එමෙන්ම අජිත් පී පෙරේරා වැනි පසුපෙළ කිහිපදෙනෙක් සම්බන්ධයෙන් ද ප්‍රේමදාස මහතා කතා කර ඇත්තේ ප්‍රසාදයකින් නොවේ.

මැතිවරණ ප්‍රචාරක සමයේ බෞද්ධාගමට හානි දායක වන ලෙස ඇතැමුන් හැසිරුණ අතර ඒවා නිවැරදි කිරීමට හෝ අවස්ථාවක් නොලැබුණ අතර රැස්වීම වලදී සංඝයා වහන්සේලා ඇතුළු ආගමික නායකයන්ට අඩු සැලකිල්ලක් ලැබී තිබූ බවත් දෙදෙනා සාකාච්ජා කර ඇත.

එමෙන්ම මැතිවරණ ප්‍රචාරක වේදිකාවේ විනයක් නොතිබුණ අතර ඇඳුම් පැළඳුම්වල පවා අඩුපාඩු පැවති බවත් දෙදෙනා අවධානයට ලක්කර තිබේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට විනයක් නැත්නම් රටක් පාලනය කරන්නේ කෙසේද යන්න මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් දක්වා ඇති බව සඳහන්.

ඒ මොහොතේ දේශපාලනික වශයෙන් රැල්ල හදාගෙන තමන්ව ඊට යොදා ගනිමින් තමන් හරහා ඇතැම් ජ්‍යෙෂ්ඨයින් බලාපොරොත්තු වී තිබුණේ ඔවුන්ගේ දේශපාලන අනාගතය ස්ථාවර කර ගැනීම බවත් ඔවුන් තම තමන්ගේ දිස්ත්‍රික්ක, බල ප්‍රදේශ වල කටයුතු කළ ආකාරයෙන් එය පෙන්නුම් කළ බවත් ප්‍රේමදාස මහතා පවසා ඇති බවයි වාර්තා වුණේ.

මට අගමැති හෝ පක්ෂ නායකත්වය ගන්න අවශ්‍ය නැහැ 

මේ අතර තමන්ට එජාප නායකත්වය හෝ විපක්ෂ නායකත්වය හෝ අගමැතිවීමට හෝ අවශ්‍යතාවක් නොමැති අතර පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවට ප්‍රේමදාස මහතා යෝජනා කර ඇති බව සඳහන්.

තනතුරු සියල්ලම පාහේ සුදුස්සන් වෙත පමණක් ලබා දිය යුතු අතර මොනතරම් පස්සෙන් ආවත් සුදුස්සාට හැර නුසුදුස්සන්ට තනතුරු ලබා දිය යුතු නැති බවද එහිදී පවසා තිබේ.

පක්ෂයේ අභ්‍යන්තර අරගලවලට යළි සජිත්ගේ සහයක් නැහැ 

මේ අතර පක්ෂයේ අභ්‍යන්තර අරගලවලට තමන් කිසිදු ආකාරයක හෝ සහයක් නොදෙන බව ද ප්‍රේමදාස මහතා එකී ජ්‍යෙෂ්ඨයා සමඟ පවසා ඇති බවද වාර්තා විය.

ඒ  අනුව එම ජ්‍යෙෂ්ඨයාද තීරණය කර  ඇත්තේ අභ්‍යන්තර ගැටුම්වලදී තමන්ද මින් ඉදිරියට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන අතර එජාපය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි.

පක්ෂය තුළ සහයෝගය ගොඩනගමින්, අවංක බව ගොඩනගමින්, ජ්‍යෙෂ්ඨයින් සමඟ විනයක් සහිතව කටයුතු කිරීම ගොඩනගමින්, සුදුස්සාටම සුදුසු තැන ලබා දෙමින් පක්ෂය යළි ඔසවා තැබීමට ඉදිරි පියවර ගැනීමේ අරමුණින් දෙදෙනා ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සාකච්ජා කර ඇති අතර ඊට යම් එකඟතාවකට පැමිණ ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.

LANKA NEWS WEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *