හිටපු අගමැති දි.මු. ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

මෙරට විසූ කෘතහස්ථ දේශපාලනඥයකු වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා ඊයේ (19) අභාවප්‍රාප්ත විය. මිය යන විට 88 වැනි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සමාජිකයකු වන අතර එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ද වෙයි. දි.මු. ජයරත්න මියයන තෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ අයෙක් විය.

වෘත්තියෙන් ගුරුවරයකු වූ ඒ මහතා පසුව තැපැල් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී තැපැල් ස්ථානාධිපතිවරයකු වශයෙන් ද කටයුතු කෙළේය. ගම්පොළ, දොළුව ගම්කාර්ය සභාවේ සාමාජිකයකු ලෙසින් දේශපාලනයට පිවිසි දි.මු. ජයරත්න මහතා පසුව එහි සභාපතිවරයා ද විය. ඒ මහතා සමස්ත ලංකා ගම්කාරක සභා සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කැර ඇත.

1970 සමඟි පෙරමුණු යටතේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා එම ආණ්ඩුයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ක්‍රියාත්මක කරමින් ඉඩම් පවරා ගැනීමේ කාර්යයේ දී මහඟු සේවයක් ඉටු කැර ඇත.

එයින් අනතුරුව ඒ මහතා 1994 වසරේ දී පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවීමේ දී මහඟ කාර්යයක් ඉටුකළ අතර එහි මහලේකම්වරයා වශයෙන් ද කටයුතු කෙළේය. එයින් පසුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කෙළේය. එම රජයේ කෘෂිකර්ම, ඉඩම්, වන සංරක්ෂණ ඇමැතිධූරයට පත් දි.මු ජයරත්න මහතා පසුව පශු සම්පත් විෂය ද බාර ගත්තේය.

1999 වසරේ දී සහ 2000 වසරේ දී පිහිට වූ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා 2001 වසරේ දී කෘෂිකර්ම, ඉඩම්, ආහාර හා සමූපකාර ඇමැතිවරයා වශයෙන් පත්විය. 2004 වසරේ දී තැපැල් හා විදුලි සංදේශ ඇමැතිවරයා වූ අතර 2005 වසරේ දී විදුලි සංදේශ හා ග්‍රාමීය සංවර්ධන ඇමැතිවරයා ද විය. 2006 වසරේ දී විදුලි සංදේශ හා උඩරට සංවර්ධන ඇමැතිවරයා වශයෙන් පත් කෙළේය.

නැවතත් 2007 වසරේ දී වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් පත්කළ දි.මු. ජයරත්න මහතා 2010 – 2015 කාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අගමැතිවරයා වශයෙන් කටයුතු කෙළේ. අගමැතිධූරයට අමතරව බුද්ධ ශාසන ඇමැතිධූරය ද හෙබවීය. මිය යන විටත් දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කෙළේය.

ඒ මහතාගේ ගම් ප්‍රදේශය වූ ගම්පළෙ පිහිටි අම්බුළුවාව කන්ද ජෛව විවිධත්ව සංකීර්ණයක් බවට පත්කරමින් සංවර්ධනය කොට එහි චෛත්‍යයක් ද ගොඩනැඟුවේය. ඒ අනුව එය සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.

දරු දැරියන් තිදෙනෙකුගේ ආදරණීය පියකු වන දි.මු. ජයරත්න මහතා අනුලා යාපා මහත්මිය සමඟ විවාහ වී සිටියේය. ඒ මහතා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ පියාණන් ද වෙයි. දි.මු ජයරත්න මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *