පළාත් සභාවලට වෙන් කළ මුදල් ඌන උපයෝජනය වීම

මේ වසර සඳහා උතුරු පළාත් සභාවට වෙන් කළ මුදලින් සතයක්වත් එම පළාත් සභාවේ පාලනය හොබවන දෙමළ ජාතික සන්ධානය මගින් පාවිච්චියට ගෙන නැති බව, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද පසුගිය දා අයවැය විවාදයට සහභාගී වෙමින් කියා සිටියේය. යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඔහු, මේ පළාත් සභාවට 2013 සහ 2014 වර්ෂ සඳහා වෙන් කළ මුදල්ද පාවිච්චියට ගෙන නැති බවත් තවදුරටත් පෙන්වා දුනි. මේ ප්‍රකාශය ගැන ප්‍රශ්න නොකළ දෙමළ එක්සත් සන්ධානය, ඉහත කී පරිදි මුදල් පරිහරණය නොකිරීම ගැන හේතු දැක්වීමක් කෙළේද නැත.

බස්නාහිර පළාත් සභාවේද එවැනි තත්වයක් පවතින බව පසුගිය සිකුරාදා එම සභාවේ අයවැය සැසි වාරයේදී බොහෝ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. එහිදී කරුණු දැක්වූ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙන්ම වෙනත් පක්ෂවලද මන්ත්‍රීවරු, මධ්‍යම ආණ්ඩුවෙන් බස්නාහිර පළාත් සභාවට වෙන් කොට තිබූ මුදලින්, පසුගිය ඔක්තෝබර් 15 වැනි දා වන විට පාවිච්චියට ගෙන තිබුණේ සියයට 40 කටත් අඩු ප්‍රමාණයක් බවත්, වසරේ ඉතිරි දින 45 ක කාලය තුළ ඉතිරි මුදල් පාවිච්චියට ගත හැක්කේ කෙසේද යන්න විශාල ප්‍රශ්නයක් වන බවත් පෙන්වා දුන්හ. මෙය තවත් බොහෝ පළාත් සභාවලට මෙන්ම, පළාත් පාලන ආයතනවලටත් පොදු තත්වයක් බව එහිදී කියැවුණි.

තමන්ට වෙන් කොට ඇති මුදල් පවා මේ මහජන ආයතන මගින් පරිහරණය නොකරන්නේ, මේ කියන පළාත්වල ජීවත් වන ජනතාවගේ ප්‍රශ්න සියල්ල විසඳී ඇති නිසා යැයි සිහි බුද්ධිය ඇති කිසිවෙකු නොකියනු ඇත. පහසුකම් නැති නිසා වැසී යාමට නියමිත බොහෝ පාසල් මේ පළාත්වල තිබේ. තවත් පාසල්වලට පානීය ජලය සහ විදුලිය නැත. බස්නාහිර පළාත් සභාව යටතට ගැනෙන සෑම අමාත්‍යාංශයකම පාහේ පිරැවිය යුතු පුරප්පාඩුත් නොඅඩුව තිබේ. තවද වැහි කාලයට ගමනාගමනය අවහිර වන මං මාවත් ග්‍රාමීය ප්‍රදේශවල අනන්තවත් තිබේ. මෙවැනි කරුණු සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ, තිබෙන මුදල් පවා පුස් කන්නට ඉඩ හැර බලා සිටින, මහජන මුදලින් අගේට නඩත්තු වන දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ කෙරුවාවේ තරමයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් කියන පරිදි මේ තත්වය ඇති වී තිබෙන්නේ, අදාළ පළාත් සභාවල පරිපාලනයන් සතුව නිසි සැලසුම් නැති වීමත්, නිලධාරීවාදයේ පවතින නුවුවමනා රෙගුලාසි ආදියත් නිසා ය. මෙතෙක් කල් කළා සේ පළාත් සභාවලට අරමුදල් සැපයීම මධ්‍යම ආණ්ඩුව හරහා සෘජුව කෙරෙනවා වෙනුවට, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය හරහා එම මුදල් සැපයීමට මුදල් ඇමතිවරයා සිය අයවැය තුළින් මෙවර ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව පළාත් සභා නවයේම මහ ඇමතිවරුන් සිය විරෝධය දැක්වූයේ එවැනි පසුබිමක් යටතේ ය. අමාත්‍යාංශයක් හරහා අරමුදල් සැපයීමේදී එය බාධාකාරී අභ්‍යාසයක් වෙතැයි යන්න ඔවුන්ගේ තර්කයයි. එහෙත් මේ දක්වා ඔවුන්ට වෙන් කොට තිබූ මුදල් පවා ඔවුන් විසින් නිසියාකාරයෙන් උපයෝජනය කොට නැති බව අපි දනිමු. කෙසේ වෙතත්, ඔවුන්ගේ චෝදනාව පිළිගෙන ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එය නිවැරදි කරන බවට පොරොන්දු වී තිබේ.

ප්‍රාදේශීය මට්ටමෙන් මෙන්ම ජාතික මට්ටමෙන්ද තමන් සතු අරමුදල් ප්‍රමාණවත් පරිද්දෙන් පාවිච්චියට නොගැනීම හෙවත් ඌන උපයෝජනය වීම පිළිබඳ ප්‍රශ්නය ලංකාවට අළුත් ප්‍රශ්නයක් නොවේ. දශක ගණනාවක් තිස්සේ ඒ ගැන නොයෙක් විට සාකච්ඡා වී තිබේ. 40,000 කට අධික ජීවිත ප්‍රමාණයක් බිළි ගත් සුනාමියෙන් පසු, රට පුරා වෙරළබඩ පෙදෙස් යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් දුන් ආධාර පොරොන්දු ප්‍රකාරව අප කටයුතු කොට නොතිබීම ඊට මනා නිදසුනකි. හිටපු විගණකාධිපති එස්. සී. මායාදුන්නේ මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකින් පෙන්වා දෙන පරිදි, සුනාමි අවස්ථාවේදී අපට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 1168.80 කින් අප පාවිච්චියට ගෙන ඇත්තේ ඩොලර් මිලියන 158.34 ක් පමණි. එනම්, මුළු ආධාර ප්‍රමාණයෙන් සියයට 13.5 ක් පමණි. මාරක මුහුදු රකුසාට බිළි වූ මිනිස් ජීවිත සහ දේපොළ විනාශය කෙරෙහි සංවේදී වූ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබුණු ප්‍රතිඥාවන් ඔස්සේ ගොස් මුහුදු තීරය දිගේ නූතන මහ නගර සහ සුළු නගර ජාලයක්ම ඉදි කර ගැනීමට අපට හැකියාව තිබුණි.

අපේ බලධාරීහූ ඒ අවස්ථාව පැහැර හැරියහ. සුවිශේෂී පුනරුත්ථාපන ව්‍යාපෘති සකසා ගැනීමට ඔවුන්ට නොහැකි වීම ඊට එක් හේතුවකි. අලුතෙන් ගොඩනැගිලි ඉදි කිරීම මුහුදෙන් මීටර් 300 කට මෙපිටින් නොවිය යුතු බවට, බලධාරීන් සහ වෙනත් විවිධ කණ්ඩායම් අතර කල් ඇදුණු කඹ ඇදිල්ලත් ඊට හේතු විය. මෙසේ අප අතරේ එකඟතාවක් ඇති වීමට කල් ගත වෙද්දී, ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය සහ අනුකම්පාව, එවැනිම වූ තවත් ව්‍යසනයක් වෙතට විතැන් විය. ඒ, පාකිස්ථානයේ සිදු වූ මාරක භූමි කම්පාවයි. අවසානයේදී, මීටර් 300 සීමාව ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කෙළේය. එහෙත් ඒ වන විට පෙරහැර ගොස් හමාර ය.

කලින්ද පෙන්වා දුන් පරිදි, අතේ ඇති සම්පත් පවා උපයෝජනය කරගත නොහැකිව අප ලතවන්නේ, අදාළ සැලසුම්කරණයන් සපයා ගැනීම කෙරෙහි අප තත්පර නොවීමත්, නිලධාරී ක්‍රමය තුළ පවතින අනවශ්‍ය රෙගුලාසිත් නිසා ය. එසේ හෙයින් ජාතික මට්ටමේ මෙන්ම පළාත් මට්ටමේද දේශපාලනික නායකත්වය විසින් මේ ප්‍රශ්නය ගැන වහා ක්‍රියාත්මක විය යුතුව තිබේ.
2015 දෙසැම්බර් 22 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ
පළාත් සභාවලට වෙන් කළ මුදල් ඌන උපයෝජනය වීම
නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *