යුද්දෙ දිණුවට පස්සෙත් රාජපක්ෂවරු මේ රටේ භීෂණය ඇති කළා – අගමැති රනිල් වික්‍රමසිංහ

යුද්දෙ දිණුවට පස්සෙත් රාජපක්ෂවරු මේ රටේ භීෂණය ඇති කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය . නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සදහා පෙරේදා ගාල්ලේ පැවති අවසන් රැලියට එක්වෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය .

පසුගිය ආණ්ඩුව කාලේ මිනිස්සු අතුරුදන් වෙනවා. සුදු වෑන් එනවා. මිනිස්සු ගෙනියනව. මාධ්‍යවේදීන්ට ගහනව. මාධ්‍යවේදීන් මරනවා. යාපනයේ ඉඳන් දකුණ දක්වා, මාධ්‍යවේදීන් මැරුවා. ලසන්ත වික්‍රමතුංග මැරුවා. එක්නැලිගොඩ අතුරුදන් වුණා. කීත් නොයාර්ට ගැහුවා. බයෙන් බයෙන් තමයි ජනතාව ජීවත්වුණේ. කතාකරන්න බයයි. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බයයි. පෙළපාලි යන්න බයයි. වතුර ඉල්ලුවොත් වෙඩි තියනව. පඩි වැඩිකරන්න කිව්වොත් වෙඩි තියනව. තෙල් මිල අඩුකරන්න කිව්වොත් වෙඩි තියනව. එළියෙ ඉන්න තියා හිරේ ඉන්නවත් බෑ. හිරේ හිටියත් වෙඩි තියනව. අන්න ඒ නිසා හරි අමාරුවෙන් බයෙන් තමයි ජනතාව ජීවත් වුණේ. අග්‍රවිනිශ්චයකාර තුමිය ඉවත් කළා. අධිකරණයේ නිදහස නැති කෙරුවා. පොලිසිය දේශපාලනය කළා. යුද්දෙ දිණුවට පස්සෙ අවුරුදු පහකට වඩා කාලයක් ගෝඨාභය රාජපක්ෂත්, මහින්ද රාජපක්ෂත් මේ රටේ භීෂණය ඇති කළා කියලා අපි අමතක කරන්න හොඳ නෑ. ඒවා ඇති කෙරුවෙ මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි. අපි බයෙන් ජීවත් වුණේ. ඒ යුගයට ආපහු යනවද? ඒ යුගයට ආපහු යන්න ඕනැද? අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ 13 වැනිදා ගාල්ලේ පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පිණිස අභ්‍යන්තර හා ස්වදේශිය කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද ජන රැලියක් අමතමිනි. තවදුරටත් කතා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

2015 ජනවාරි 8 වෙනිදායින් පස්සෙ අපි අලුත් යුගයක් ඇති කළා. අපි බය නැති කළා. සුදු වෑන් නැති කළා. දැන්  කතා කළොත් ගෙදරට සුදු වෑන් එකක් එනවා ඒ රෝගීන් ඉස්පිරිතාලෙට ගෙනියන්න. අන්න එහෙම අපි අවුරුදු පහක් පාළනය කළා. පෙළපාලි තුන්දායක් තිබුණා. උපවාස තිබුණා. එක්කෙනෙක්වත් වෙඩිකාලා මරුණෙ නෑ. එක්කෙනෙක්වත් උපවාසයෙන් මරුණෙ නෑ. ඒක වාර්තාවක්. හැමදාම පෙළපාලි දෙකක් තිබුණා. එකක් නෙමේ දෙකක්. ඇවිල්ලා අරලියගහ මන්දිරේ වටකර ගන්නවා. ඊට පස්සෙ ජනාධිපති කාර්යාලය වටකරගන්නවා. ලිප්ටන් වටරවුම වටකර ගන්නවා. ජනවාරි 8 වෙනිදා ඉඳලා අද වෙනකල් එක්කෙනෙක්ටවත් පෙළපාලි යනගමන් වෙඩි වැදිලා මැරණෙ නෑ කියලා කියන්න අපි කැමතියි.

අධිකරණයේ අග්‍රවිනිශ්චයකාරතුමිය ඇදගෙන ගියා, දැන් ඒවා කෙරෙන්නෙ නෑ. ඒ වෙනුවට අද අග්‍රවිනිශ්චයකාරවරු හතර දෙනෙක් ස්වාධීනව පත්වෙලා තියෙනව. මේ පත්කරන්නෙ ජනාධිපතිවරයා නෙමෙයි. අපේ අනුමැතිය අරගෙන කොමිසමිකින් තමයි ඒ අග්‍රවිනිශ්චයකාරවරු පත්කළේ. අද ස්වාධීන කොමිෂන් සභා තියෙනව. අද දේශපාලනයට යට වෙන්න අවශ්‍ය නෑ. පොලිසියෙ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනව. අද රජයේ සේවකයන් ස්වාධීනව ක්‍රියාකරනව. තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වෙනව නම්, මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. නැති නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් පැමිණිල්ලක් දාන්න පුළුවන්. තොරතුරු දැනගැනීමේ පනත තියෙනව. දැන් මාධ්‍යවේදීන්ට නිදහස තියෙනව. මාධ්‍යවේදීන් අපිට බනිනව. එහෙම බනින්න නිදහස තියෙනව. පාර්ලිමේන්තුවෙ සිදුවෙන ඒවා සියල්ලම මාධ්‍යයෙන් වාර්තා කරනව. අපි ඒ යුගය ඇතිකළා. අපි නිදහසේ ජීවත් වෙන්න පුලුවන් යුගයක් ඇති කෙරුවා. ඉතින් මම අහන්නෙ කාටද රට බාරදෙන්න ඕනැ. භය යුගය ඇති කරපු ගෝඨාභය රාජපක්ෂටද,  නිදහස් යුතය ඇතිකරපු සජිත් ප්‍රේමදාසටද කියලා මම අයන්න කැමතියි.

16 වෙනැතිදට ඔබේ අතෙයි තීරණය තියෙන්නෙ. ගෝඨාභය රාජපක්ෂට පුළුවන්ද ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න. මෙයා පරණ ක්‍රමයට යන්නෑ කියල කිව්වද? සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරනව කියල කිව්වද? මාධ්‍යවේදීන් ඝාතනය කරන්නෙ නෑ කියල කිව්වද? සුදු වෑන් එවන්නෙ නෑ කියල කිව්වද? එයාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක තැනක විතරක් තියෙනවා, නම වෙනි පිටුවේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. කොහොමද අපි විශ්වාස කරන්නෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරයි කියලා?

දැන් කියාගෙන එනව ජාතික ආරක්ෂාව ගැන. පාස්කු ඉරිදා බෝම්බෙ පිපුරුණ ගමන් ආරක්ෂක අංශ ප්‍රධානින් හම්බ වෙලා. අවශ්‍ය හැම දෙනාම හම්බවෙලා ආරක්ෂාව තර කරන්න කියල කිව්වා. මාස තුනක් යන්න ඉස්සර වෙලා ඒකට සම්බන්ධ සියලු දෙනාම අල්ලලා පොලිස් අත්අඩංගුවෙ ඉන්නව. ඒ අය එක්ක සම්බන්ධයක් තියෙන හැමෝම තේ කෝප්පයක් බිව්ව කෙනාගෙන් පවා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරගෙන යනව. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඔක්කොම අත්අඩංගුවට ගත්තා. ඒවා කරන්න සුදු වෑන් අවශ්‍ය වුණේ නෑ. අනාගතයේ මේ තත්වය ඇති නොවෙන්නත් අපි කටයුතු කර අවසන්. අපි තවදුරටත් හොයනවා. මේවට කවුද වගකියන්න ඕනැ කියලා හොයන්න අවශ්‍යයි. මේ ගැන හොයලා බලන්න කොමිටියකට බාර දුන්නා. ඒ කොමිටිවලට රූපවාහිනී කැඳවන්න  අවසර දීලා තියෙනව. ඒවායෙ කෙරෙන්නෙ මොනවද කියලා ජනතාවට බලා ගන්න පුළුවන්. මේ අයි.එස්. අයි.එස්. සංවිධානෙ නැති කරන්න නම්, අපි එකක් කියනව. ඒක ජාත්‍යන්තර සංවිධානයක්. ඒක තනියම ඉඳලා සුදු වෑන් එකක් එවලා නැති කරන්න බෑ. අපි ලෝකෙ එක්ක එකතු වෙලා කරන්න ඕනැ. අපි ඉන්දියාව එක්ක එකතුවෙනවා, චීන එක්ක එකතු වෙනවා, ඇමරිකාව එක්ක එකතු වෙනවා අපි හැමෝම එක්ක එකතු වෙලා මේක නැතිකරනවා.

මේ ජනහමුව අමතා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ගාල්ල මැතිවරණ කොට්ඨාශයේ බලයලත් නියෝජිත වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, සරත් ෆොන්සේකා, රාවුෆ් හකීම් යන අමාත්‍යවරු ද ඉමිටියාස් බාකිර් මාකර් ඇතුළු කථිකයන් රැසක් ද කතා කළහ. මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් පැවැති වැඩිම ජනතාවක් සහභාගි වූ දේශපාලන හමුව බවට ද ජනතාව පවසනු ඇසිණි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *