කොරහත් බිඳගෙනම යන මෛත්‍රීපාල සිරිසේන – අනුර සූරියබණ්ඩාර


හමුදා මූලස්ථාන නව ගොඩනැගිල්ල විවෘත කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියා තිබුණේ පැරණි හමුදා මූලස්ථානය විකිණීම හේතුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට මසකට කෝටි 40 ක කුලී වියදමක් දරන්නට සිදු වූ බවයි හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ශැන්ග්‍රිල්ලා හෝටලය ඉදි කිරීම සඳහා චීනයට විකුණා දමනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ය.

නෙළුම් කුළුණ විවෘත කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ නෙළුම් දේ පසුගිය ආණ්ඩුව රුපියල් කෝටි දෙසීයක් පිල්ලි ගසා ඇති බවයි නෙළුම් කුළුණේ වියදම වෙනුවෙන් මෙරට ජනතාව වසරකට රුපියල් කෝටි 240ක් ගෙවිය යුතුව තිබේ. එම ණය සඳහා ද වගකිව යුතු වන්නේ රාජපක්ෂවරුන් මය.

පුදුම සහගත කරුණක් වන්නේ ඉහත දෝෂාරෝපණ රාජපක්ෂවරුන්ට එල්ල කරන අතරවාරයේම මෛත්‍රීපාල මහතා දේශපාලන වශයෙන් රාජපක්ෂවරුන්ට ම සහයෝගය පළ කරමින් සිටීමය. ජනාධිපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය ලබාදීමට ද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහය ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී මන්ත්‍රීවරුන් ඉදිරිපත්වී සිටිති. ඒ පොහොට්ටුව හිතවාදීන්ගේ හු කීම් වලටත් විරෝධතාවලටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොහොට්ටුවේ වේදිකාවලට නගින තැනැත්තන්ට ලක් වීමට පවා සිදුව තිබියදීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කිරීම මගින් මෙරට ජනතාව බලා බලාපොරොත්තු වූයේ රාජපක්ෂවරුන් යටතේ සිදු කරනු ලැබූ වංචා-දූෂණ දූෂණ මිනිස් ඝාතන අතුරුදහන් කිරීම් ආදිය නතර කිරීමටය. එසේම නව පාලනයක් යටතේ රාජපක්ෂ පවුල ඇතුළුව පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචා ඝාතන අතුරුදන් කිරීම් චෝදනා ලැබූවන්ට දඬුවම් ලැබෙනු ඇතැයිද ජනතාව බලාපොරොත්තු වූහ

රාජපක්ෂවරුන්ට සහාය ලබාදීම සාධාරණීකරණය කිරීමට මෛත්‍රීපාල මහතා උපයෝගී කරගත් කරුණ වූයේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ප්‍රශ්නයයි . බැදුම්කර කොමිසම මගින් වගකිවයුත්තන් ලෙසින් හඳුනාගත් පිරිසට මේ වන විට නඩු පැවරීමට කටයුතු කර තිබේ.

එහෙත් මෛත්‍රිපාල මහතා වත්මන් ආණ්ඩුවට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධව සහ පසුගිය ආණ්ඩුවේ දූෂණ චෝදනා සම්බන්ධව අනුගමනය කරනු ලැබුවේද දෙබිඩි පිළිවෙතකි. එනම් වත්මන් ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව නඩු පැවරීමට මෛත්‍රීපාල මහතා පියවර ගත් නමුත් පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධව පරික්ෂා කිරීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව තවමත් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හමස් පෙට්ටියේය

පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ සඳහා නඩු පැවරීමට මෛත්‍රීපාල මහතා උනන්දු නොවුවා පමණක් නොවේ, චෝදනාවලට ජනතාවගේ ඡන්දයෙන් ද පරාජය වී සිටි මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා කඩකරමින් අගමැති ධූරය ලබා දීමටත් මෛත්‍රීපාල මහතා කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිධූරයෙන් යුතු එම ආණ්ඩුවට මෛත්‍රීපාල මහතා විසින් පත්කරනු ලැබූ ඇමතිවරුන්ද පසුගිය ආණ්ඩුව යටතේ දූෂණ චෝදනාවලට ලක් වූවෝ වූහ

එකි වැරදි සියල්ලෙහි ප්‍රතිඵලය වශයෙන් මෛත්‍රීපාල මහතා මේ වනවිට දේශපාලන වශයෙන් අනාථ වූ තත්තවයකට පත්ව සිටි යැයි කීම නිවැරදිය.1977 ඇරඹි විධායක ජනාධිපති ධුරයේ ඉතිහාසය තුළ ජනාධිපති ධුරය සඳහා දෙවරක් තරග කරන්නට නොහැකි වූ එකම තැනැත්තා මෛත්‍රීපාල සිරිසේන මහතාය.

රණසිංහ ප්‍රේමදාස මහතාට දෙවතාවක් තරග කළ නොහැකි වූයේ ඒ මහතා ඝාතනයට ලක්වීම හේතුවෙනි.මෛත්‍රිපාල මහතාට දෙවතාවක් තරග කරන්නටට නොහැකි වී ඇත්තේ ඒ මහතා විසින් තමන්ම ස්වයං දේශපාලන ඝාතනයකට ලක් කර ගෙන සිටින බැවිනි. මෛත්‍රිපාල මහතාට දෙවන වතාවට ජනාධිපති ධුරයට තරග කරන්නට නොහැකි වී ඇතිවා පමණක් නොව ඒ මහතාගේ ක්‍රියාපටිපාටිය හේතුවෙන් මේ වන විට ඔහුගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ගේ අපේක්ෂකයෙකු ජනාධිපති ධුරය සඳහා තරග කරන්නට ඉදිරිපත් කරන්නට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

අතිශය කණගාටු තත්ත්වය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති මව මරා උපන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට සිදුවී තිබීමයි. ‍ මෙය වනාහි නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් මෛත්‍රීපාල මහතා අතිශය ලැජ්ජාවට පත්විය යුතු කරුණකි. දශක හතකට ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දැවැන්තම ජන බලයක් සහ ජන ප්‍රසාදයක් සහිත පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර පහකටත් වඩා අඩුවෙන් ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වල්ගයේ එල්ලීමට සිදුවීම අනුව පෙනී යන්නේ පක්ෂ නායකයකු වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කොතරම් අසාර්ථක දුර්වල තැනැත්තෙකු ද යන්නය. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය පවා අහිමි කරනු ලැබ දරුණු අර්බුදකාරී තත්ත්වය පැවැති යුගයේ පවා තමන්ගේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ නොහැකි තරමට ශ්‍රීලනිපය දුර්වල වූයේ නැත

අවසානයේ මෛත්‍රීපාල මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත්ව යාමට සිදුවී ඇත්තේ නටපු තොවිලයකුත් නැති බෙරේ පලුවකුත් නැති තත්ත්වයට පත්වීමෙන් පසුවය. ඉදිකිරීම් අවසන් නොකල ව්‍යාපෘති පවා කඩිමුඩියේ විවෘත කරමින් තමන්ගේ නම සහිත පුවරු එක දෙකක්වත් තබා විශ්‍රාම ගන්නට උත්සාහ කරන්නට මෛත්‍රී මහතාට සිදුව ඇත්තේ ඔහුගේ වැරදි නිසාය දැන් ඔහුට ඉතිරිව ඇත්තේ සිරකරුවන් නිදහස් කිරීම වැනි පින් අතේ වැඩක් කිරීමේ ශක්තිය පමණි..එහෙත් අනාගතයේ පත්වන ජනධිපතිවරයෙකුට වැඩ නොකළ යුත්තේ කෙසේද යන්න පාඩම් රැසක් මෛත්‍රීපාල මහතා ගෙන් ලබාගත් හැකිය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *