අරුණ සහ මව්බිම පුවත්පත්වල බොරු ප්‍රවෘත්ති ගැන සුමන්තිරන්ගෙන් පැමිණිල්ලක්

අරුණ පුවත්පත සහ මව්බිම, සිලෝන් ටුඩේ යන පුවත්පත් විකෘති පුවත් නිර්මාණය කරන බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් මැතිවරණ කොමිසම වෙත සහ පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

සුමන්තිරන් මහතා පවසන්නේ තමාගේ ප්‍රකාශයක් විකෘති කර අරුණ, මව්බිම සහ සිලෝන් ටුඩේ යන පුවත්පත් වැරදි පුවත් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

නොවැම්බර් 12 වැනිදා නිකුත් කළ අරුණ පුවත්පතේ සහ නොවැම්බර් 13 වැනිදා නිකුත් කළ මව්බිම, සිලෝන් ටුඩේ යන පුවත්පත්වල මෙම වැරදි පුවත් සඳහන් වන බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ. දකුණේ සිංහල ජනතාව පරාජය කිරීම සඳහා මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන්නැයි තමා උතුරේ දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටි බවක් ඉහත පුවත්පත්වල සඳහන් වන බව පෙන්වා දෙන සුමන්තිරන් මහතා පවසන්නේ තමා එවැනි ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවයි.

මෙම වැරදි පුවත් පළකිරීම ඉතා බරපතල වරදක් මෙන්ම දකුණේ සිංහල ජනතාව අතර නොසන්සුන් බවක් ඇති කිරීමට හේතුවිය හැකි බවත් පෙන්වා දෙන සුමන්තිරන් මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අදාල පුවත්පත් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *