සජිත්ගේ මාධ්‍ය පිළිවෙත කුමක් ද? කෙසේ ද? – දුමින්ද සම්පත්

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ජනමාධ්‍ය නිදහස පවත්වාගැනීම අතිශය වැදගත්ය. මේ අනුව බලන කල ජනමාධ්‍ය මඟින් රටතුළ ඇතිකළ හැකි බලපෑම සුළුපටු නොවේ. කෙසේ වුවද ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවල හැසිරීම සම්බන්ධයෙන් අපට ඇත්තේ ඉතාම කටුක හා අමිහිරි මතකයන්ය.

ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් මෙරට ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය සටන් කරනුයේ බොහෝ කලක සිටය. රාජපක්ෂ අධිපතිවාදය බිඳහෙළමින් 2014 දී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමට බල පෑ ප්‍රමුඛතම සාධකය වූයේද ඒ වනවිට ආණ්ඩුව විසින් ජනමාධ්‍ය වෙත මුදාහැර තිබූ අතිශය දරුණු මර්දනකාරී වැඩපිළිවෙලය. ජනමාධ්‍යවේදීන් ඝාතනයවීම, අතුරුදන්වීම, පහරකෑමට ලක්වීම, ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම, ජනමාධ්‍යවේදීන් බියට පත්කිරීම වැනි දරුණු ගණයේ අපරාධ කෙරෙහි ජනතා අප්‍රසාදය රාජපක්ෂ ආණ්ඩුවට 2014 දී එල්ලවෙමින් තිබුණි. එදා ජනාධිපති සටනේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ ද අගතියට පත් වූ ජනමාධ්‍ය සමාජයට යුක්තිය ඉටුකිරීමය.

රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය බොහෝමයක් රාජපක්ෂ හිතෛශී ලෙස හැසිරීම එකල දක්නට ලැබුණි. එසේ නොවූ ජනමාධ්‍යවේදීන් මරණයට පත්වීම බරපතළ පහරදීම්වලට ලක්වීම මෙන්ම අතුරුදන් කිරීමද සිදුවිය. එපමණකින් නොනැවතුණු ඔවුහු තමන්ට අවනත නොවුණු මාධ්‍ය ආයතන ගිනිබත් කළහ.

රට තුළ පැවති යුදමය තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්ද යුද්ධයෙන් පසුවද ජනමාධ්‍ය වෙත භීෂණය මුදාහැරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරනුයේ ආණ්ඩුවේ දූෂණ වංචා හෙළිදරවු වීම වසාගැනීම සඳහාය.

ජනතාවගේ බදු මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීමට ජනතාවට ඇති අයිතිය වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් පෙනීසිටීම එදා ආණ්ඩුව සැලකුවේ වරදක් ලෙස ය.

මහජන සේවා මාධ්‍ය භාවිතා වක මූලික පරමාර්ථය විය යුත්තේ මහ ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමය. ඒ වෙනුවෙන් පෑන හා කැමරාව හැසිරවීම රාජපක්ෂ යුගයේදී බලවත් වරදක් බවට පත්ව තිබුණි.

මෙකී කාරණා සැලකිල්ලට ගනිමින් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හී ජනමාධ්‍ය සම්බන්ධයෙන් වෙන්කොට ඇති පරිච්ඡේද පිළිබඳව විමසිලිමත්වීම වැදගත්ය. තමන්ට බලය ඇතිවිටදී මාධ්‍ය මර්දනයට වැඩි බලයක් යෙදවූ අපේක්ෂකයන් කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබීමට යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් අපේක්ෂා කරන කෙනෙකුට හැකියාවක් ඇතැයි සිතිය නොහැකිය.

මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම සම්බන්ධයෙන් කතා කිරීමේදී කොළඹ ප්‍රකාශනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනඟා ගැනීම සඳහා දැනට ඇති ලියවිලි අතරින් පුළුල්ම හා මාධ්‍ය සමාජයේද එකඟත්වයක් ඇති ලියවිල්ල වනුයේද කොළඹ ප්‍රකාශනයයි. 1998 අප්‍රේල් මස පළමුවරට එළි දැක්වුණු කොළඹ ප්‍රකාශනය 2018 සැප්තැම්බර් මස යාවත්කාලීන කරනු ලැබිණ.

ශක්තිමත් හා ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගීමේදී ජනමාධ්‍ය භූමිකාව ඉතා වැදගත් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබීම ජනමාධ්‍ය සමාජයේ අවධානයට ලක්විය යුත්තකි. එහිදී ඔහු පවසනුයේ මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය අනුව යමින් ප්‍රකාශනයේ නිදහස සීමා කරන යල් පැනගිය නීති අහෝසි කිරීමට තමන් කටයුතු කරන බවය. ඔහු විසින් කොළඹ ප්‍රකාශනය වෙත ලබා දී ඇති සහතිකය මින් පෙර කිසිදු ජනාධිපති අපේක්ෂකයකු හෝ ජනාධිපතිවරයකු විසින් ලබාදී නැත.

මාධ්‍යවේදීන් දණ්ඩනයට ලක්කිරීම වැනි නීති ඉවත්කොට ස්වයං නියාමන ක්‍රියාවලිය හරහා පුවත්පත් පැමිණිලි කොමිසම බලාත්මක තලයකට ගෙනඒම සඳහා මාධ්‍ය සමාජය සටන් කරනුයේ බොහෝ කලක සිටය. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා එවැන්නකට ඉඩකඩ ඇති බවක් පෙනෙන්නට තිබීම මාධ්‍ය මර්දනයක අමිහිරි අත්දැකීම් ඇති මාධ්‍ය සමාජයට අස්වැසිල්ලක් වනු ඇත. කාළඹ ප්‍රකාශනය හරහා පුවත්පත් වෙනුවෙන් පමණක් ස්වයං නියාමන යාන්ත්‍රණය සැකසී තිබුණද, විද්‍යුත් මාධ්‍ය ස්වයංනියාමන යාන්ත්‍රණයට එක්කර ගැනීමේ කථිකාවතක්ද මේ වනවිට මාධ්‍ය සමාජය තුළ ඇතිවෙමින් තිබේ. පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍ය සඳහාද වන ස්වයං නියාමන ක්‍රියාවලිය බලාත්මක කරගැනීම සඳහා මාධ්‍ය ආයතන හිමිකරුවන්ද, මාධ්‍ය ප්‍රධානීන්ද, මාධ්‍ය සංගම්ද මීට වඩා පුළුල් කථිකාවතකට යායුතුය. විශේෂයෙන් ආචාර ධාර්මික මාධ්‍ය භාවිතාවක් සඳහා ජනමාධ්‍යවේදීන් කටයුතු කළ යුතුය.

වර්තමාන මාධ්‍ය භාවිතාව පිළිබඳව සමාජය තුළ ඇත්තේ පැහැදීමක් නොවේ. මාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේම උල්ලංඝනය වෙද්දී ඊට එරෙහිව පියවර ගන්නට බලාත්මක යාන්ත්‍රණයක් සකසා ගන්නට තවමත් නොහැකිවී ඇති තත්ත්වයක කොළඹ ප්‍රකාශනය කෙරෙහි සජිත් ප්‍රේමදාස මහතා විශ්වාසය තැබීම මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉතා වැදගත් ප්‍රවේශයකි. රාජ්‍ය මාධ්‍ය පාලනය වෙනුවෙන් යම් ආකාරයකින් නීති රීති සැකසී තිබුණද ස්වයං නියාමනයවත් පිළිනොගන්නා පෞද්ගලික මාධ්‍ය නියාමනයට වැඩ පිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් මාධ්‍ය සමාජය හමුවේ බරපතළ අනතුරක් පවතී. මාධ්‍ය මර්දනයට හුරුපුරුදු පාලකයන් රටේ බලයට පත්වුවහොත් මාධ්‍ය සමාජය තුළ පවතින මෙවැනි අඩුපාඩු ප්‍රයෝජනයට ගනිමින් ඔවුනට රිසිසේ මාධ්‍ය හැසිරවීමට අවශ්‍ය නීති අණපනත් ගෙනඒමට ඉඩ තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ඇති කැපවීම තවදුරටත් පෙන්නුම් කරමින් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත්කොට කටයුතු කරන්නට එකඟතාව පළ කිරීමද මැදහත්ය. මාධ්‍ය කොමිසමක් පත්කිරීම ගැන මාධ්‍ය සංගම්වල අවධානය යොමුව තිබූ ප්‍රධාන කරුණකි.

ජනමාධ්‍ය සතු බලය සමාජ යහපත සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් භාවිතා කළ යුතු වුවද මේ මොහොත වනවිට එකී බලය භාවිත වන්නේ මාධ්‍ය ආයතන හිමි ප්‍රාග්ධන හිමියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් බව පැහැදිලිය. ඒ අතර රාජ්‍ය මාධ්‍ය රජයේ අභිලාස වෙනුවෙන් භාවිතා වන බවටද දොස් නගති. කෙසේ වුවද සමාජ ආර්ථික මෙන්ම දේශපාලන අර්බුද රැසකටද මේ තත්ත්වය හේතු වී තිබේ. ජනමාධ්‍ය විසින් කළ යුතු වන්නේ ජනතාවගේ විඥානය පුළුල් කිරීමය. විකෘති කිරීමකින් තොරව ජනතාවට තොරතුරු දැනගැනීමට අවශ්‍ය පරිසරය ජනමාධ්‍ය‍වේදීන් විසින් සකස් කළ යුතුය.

මහජන දේපලක් වන විකාශන තරංග සංඛ්‍යාත පොදු අභිලාසයන් වෙනුවෙන් භාවිත කරනු වෙනුවට ඒ හරහා ජනමතය විකෘතිකරණ මාධ්‍ය මුදලාලිලාගේ මතය සමාජගතකරණ තත්ත්වයකට මාධ්‍ය ආයතන පිවිස සිටීම බරපතළ තත්ත්වයකි. රාජ්‍ය දේපලක් වන විකාශන තරංග සංඛ්‍යාත අවභාවිතය දිගින් දිගටම සිදුවුවද ඒවා පාලනයට හෝ ඊට ‍එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකසා නොතිබීම බලවත් වරදකි. මෙකී වරද ප්‍රජාතන්ත්‍රවාදීව නිවැරදි කිරීම වෙනුවෙන් කැපවන බවට සජිත් ප්‍රේමදාස මහතා දිගු ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පවසා තිබීම කෙරෙහිද අවධානය යොමුවිය යුතුය.

පාර්ලිමේන්තු පනතකට දැනටමත් ඇතුළත් කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව කොළඹ ප්‍රකාශනයේද සඳහන්ව ඇත. මෙම පනත තවදුරටත් ශක්තිමත් කරමින් රාජ්‍ය ආයතන විසින් ප්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කිරීම සහ තොරතුරු දැනගැනීමේ හිමිකම යටතේ කරනු ලබන තොරතුරු ඉල්ලීම්වලට පිළිතුරු සැපයීම කඩිනම් කිරීමේ වැඩසටහනක් දියත් කිරීම වෙනුවෙන් කැපවීම සජිත් ප්‍රේමදාස මහතාගේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්වාදී ඇත. ඉන් ගම්‍ය වන්නේ රාජ්‍ය කටයුතු විනිවිදභාවයෙන් සිදුකිරීමට ඔහුගේ කැපවීමය.

මාධ්‍යවේදින් නිරන්තරයෙන් මුහුණ දෙන දුෂ්කර සහ අනතුරුදායක සේවා තත්ත්වයන් කෙරෙහිද සජිත් ප්‍රේමදාසගේ අවධානය යොමුව ඇත. ඒ වෙනුවෙන් වෘත්තීය ජනමාධ්‍යකරුවන්ට රුපියල් මිලියන 10 ක ජීවිත රක්ෂණයක් සැපයීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සපථකර තිබීම ජනමාධ්‍යකරුවන්ගේ පැසසුමට හේතුවනු ඇත.

කොළඹ කේන්ද්‍රීය ජනමාධ්‍ය ආයතන වෙත සිය රාජකාරිය සඳහා බොහෝ ජනමාධ්‍යවේදීන් පැමිණිනුයේ දුරබැහැර සිටය. කොළඹ කේන්ද්‍රීය මාධ්‍යවේදී නිවාස වැඩ පිළිවෙළක් වෙනුවෙන් පැවති රජයන් වෙත ජනමාධ්‍ය සංගම් විසින් වරින්වර ඉල්ලීම් කළද ඊට සාර්ථක විසඳුම් නොලැබුණි. සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ජනමාධ්‍යවේදීන්ට නිවාස දහසක් ඉදිකර පොලී රහිතව ලබාදීමට කර ඇති යෝජනාව කාලීන වැදගත්කමක් සහිත ය.

ජනමාධ්‍යවේදීන්ට පහසුකම් ඇතිකිරීම සහ මාධ්‍ය නිදහස ඇති කිරීම වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ජනතාව හමුවේ තබා ඇති කරුණු දෙස බැලීමේදී මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සහ මාධ්‍ය සමාජය සම්බන්ධයෙන් ඔහුගේ කියැවීම පුළුල් එකක් බව පැහැදිලිය.

දුමින්ද සම්පත්

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *