ගෝඨාභය දිනන්නේ කොහොමද? – සී.ජේ. අමරතුංග

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ආධාරකරුවන් සහතික කර කියන්නේ තම අපේක්ෂකයා දිනන බවයි. ඒ සඳහා ගණන් හදා පෙන්වීමට ද ඔවුහු නොපැකිලෙති. සමීක්ෂණ වාර්තා ගැන ද, ඔත්තුසේවා වාර්තා ගැන ද කියති. ඒ බොහොමයක් අතේ රෝල් බව තේරුම් ගැනීම අපහසු නැත. කෙසේ වෙතත් එම තර්ක විතර්ක තරමක් විමසා බැලීම ඇත්තටම සිදුවිය හැකි දේ තේරුම් ගැනීම සඳහා වැදගත්ය. 

තම ජයග්‍රහණය ගැන කියන්නට මුලින්ම පෙරට ආවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කට්ටියයි. ඔවුන් කීවේ එක්කෝටි පනස් ලක්ෂයකට වැඩි ඡන්ද දායක සංඛ්‍යාවෙන් ලක්ෂ එකසිය විස්සත්, ඒකසිය තිහත් අතර පිරිසක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි. එවිට දිනන අපේක්ෂකයාට ඡන්ද ලක්ෂ හැට පහක් අවශ්‍යය. ඔවුන් කීවේ තරඟය පටන් ගද්දීම ගෝඨාට හැටපන් ලක්ෂයක් ඡන්ද ඇති බවයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පණස් ලක්ෂයක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ පහළොවක් වශයෙනි. ඒ ගණන් හැදුවේ පසුගිය වසරේ පෙබරවාරි 10දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගොඩ අනුවය. 

මේ ගණන් හැදීම හරියන්නට කරුණු  ගණනාවක් සම්පූර්ණ වීම අවශ්‍යය. පළමුවැන්න නම් පළාත් පාලන මැතිවරණයේ ඒ ඒ පක්ෂවලට වැටුණු ඡන්ද එලෙසම තිබීමය. එනම් පොදුජන පෙරමුණේ ලක්ෂ හතලිස් නවය හෝ ශ්‍රී ලංනිප යේ ඡන්ද ලක්ෂ දාහතක් හෝ පහළොවය.

විශේෂයෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 දා සිට දෙසැම්බර් දක්වා සිදුවීම් වලින් පසුවත් ඉහත කී ඡන්ද පදනම එම පක්ෂවලට ඉතිරිව තිබුණාද යන්න සැක සහිතය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහත කී ඡන්ද පදනම සම්පූර්ණයෙන්ම පාහේ රැඳී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජන ප්‍රසාදය මතයි. එසේ වුවද ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණයෙන් පසුව එම කීර්තිය විශාල ලෙස වාෂ්ප වූ බව හොඳින්ම පැහැදිලි වු කාරණයකි. කුමාර වෙල්ගම මහතා කීවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා විසින් උත්සා පොළොවේ ගැසූ බවයි. එය යාථාර්ථයට කිට්ටු ප්‍රකාශයකි. ඉන් පසු කාලයේ පොදු ජන පෙරමුණ සැලසුම් කළ මහජන විරෝධතා රැස්වීම් ද සාර්ථක වුයේ නැත. දැන් යම් සෙනගක් ගෙන්වන්නට හැකි වී ඇත්තේ ජනාධිපතිවරණයටය. එසේ වුවද පක්ෂයේ ආධාරකරුවන් එසේ පැමිණිය ද කලින් තිබු ජන පදනම එලෙසම ඇතැයි සිතීම සැක සහිතය. 

දෙවැන්න ශ්‍රී ලං නි ප ය සතුව තිබුණු ලක්ෂ පහළොවකට ආසන්න ඡන්ද ප්‍රමාණයයි. ඔක්තෝබර් 26 සිදුවීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එම ඡන්ද පදනම රැඳී තිබෙනු ඇතැයි සිතීම පවා විහිළුවකි. 

අනෙක් අතට දැන් ශ්‍රී ලං. නි. ප. ඡන්ද පොදුජන පෙරමුණ වෙත ලැබීම පිළිබඳවද බරපතළ ගැටලුවකි. එක් අතකින් ගෝඨාට සහය දෙන්නට ගිය ශ්‍රී ලං. නි. ප.  මන්ත්‍රීවරුන්ට එම රැස්වීම් වලදී ලැබුණු හූ සංග්‍රහය මගින් කියැවුණු කතාවයි. එය නම් මෙම පක්ෂ දෙක ඉහළින් එකතු කරන්නට හැදුවාට පහළින් බෙදී එකිනෙකාට වෛරකරමින් සිටින බවයි. දෙවැනි සාධකය චන්ද්‍රිකා වෙල්ගම කණ්ඩායම විසින් මෙම ඡන්ද පදනමේ කොටසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත රැගෙන යාමයි. පක්ෂයේ මෙම ගැටුම තුළ තවත් පිරිසක් ඡන්ද පොළට නොයාමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය. 

චන්ද්‍රිකාගේ කැරැල්ල මගින් ඇත්ත වශයෙන්ම සිදුවී තිබෙන්නේ 2015 මැතිවරණයේ මහින්ද රාජපක්ෂට තිබූ ඡන්ද වලින් කොටසක් මහින්ද විරෝධී පිලට ඒකතුවීමයි. තම ජයග්‍රහණය සඳහා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා රාජපක්ෂ තුන් කට්ටුවට තවත් තවත් බලාපොරොත්තුවක් තිබිණි. එනම් උතුරේ ඡන්ද වර්ජනයක් ක්‍රියාත්මක කරවා ගැනීමයි. ගෝඨාභයට කිසිවිටෙකත් නොවැටෙව එම ඡන්ද සජිත්ට වැටීම ද නවතා ගැනීමයි. ඒ සඳහා නොයෙක් අන්චි ඇදීම් කළ ද මේ වනවිට ඒ සියල්ල ද අසාර්ථක වී ඇත. දෙමළ ජාතික සන්ධානය තම සම්පූර්ණ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කොට ඇත. ඩග්ලස් දේවානන්ද, වර්දරාජා පෙරුමාල්, කරුණා අම්මාන් හා පිල්ලෙයාන් මගින් දෙමළ ඡන්ද සුළු ප්‍රතිශතයක් ගෝඨාට හිමිවන බව පෙනෙන්නට ඇත. එසේ වුවද එය සියයට විස්සක් ඉක්මවා යන බවක් පෙනෙන්නට නැත. 

මුස්ලිම් ඡන්ද ගැන ද රාජපක්ෂවරු යම් බලාපොරොත්තුවක් තියා තිබිණි. විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට කට පියාගෙන ඉන්න කීවේ ඒකටය. බොදු බල සේනා, රාවනා බලය ආදිය සඟවා තබා ඇත්තේ ඔවුන්ගේ සැබෑ නායකයන් කවුදැයි රටට පෙන්නුම් කරමිනි. හිස්බුල්ලා වැන්නවුන්ගේ සහයද ලබා ගන්නේ මුස්ලිම් ඡන්ද ටිකත් කඩා ගන්නටය. 

කෙසේ වෙතත් එම උත්සාහය ද අසාර්ථක වී ඇති බව පසුගිය දා මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුස්ලිම්වරුන් පිරිමක් අමතා කළ කතාවක් අන්තර්ජාලයට එක් වීමෙන් හෙළිදරව් වීය. ඔහු කීවේ මුස්ලිම් ඡන්දවලින් ගෝඨාට ඇත්තේ සියයට දහයක් පහළොවක් වැනි ප්‍රමාණයක් බවයි. ඔහු මුස්ලිම්වරුන්ට තර්ජනය කළේ එය සියයට විසිපහක්වත් කරගෙන එන ලෙසයි. එසේ වුවද ඒ කියන ආකාරයට ඒවා කරන්නට හැකියාවක් ඇත්ද යන්න සැක සහිතය. වතුකරයේ ජනයා අතරින්ද ගෝඨාභයට ඇත්තේ තොන්ඩමන්ගෙන් පමණකි. කෙසේ වෙතත් දිගම්බරම් ඇතුළු බහුතරයේ සහය සජිත්ටය.

මේ තත්ත්වය යටතේගෝඨාභයගේ ජයග්‍රහණය සඳහා නම් බහුතර සිංහල ජනයා අතර අති බහුතර ඡන්දයක් ලබාගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ සිංහල ජන ප්‍රතිශතය සියයට හැත්තෑ හතරකි. ඒ සිංහල, කතෝලිකයන්, ක්‍රිස්තියානින් ද ඇතුළත්වය. සියයට විසි පහක් දෙමළ මුස්ලිම් වතුකර ජනතාවය.

දැන් සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ සුළුතර ජනයා අතරින් පැහැදිලි ඉහළ බහුතරයක් අතැතිවය. එපමණක් නොවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ පෙනී ගියේ සාමාන්‍ය එජාපය ප්‍රමුඛ පෙරමුණුවලට අවාසිදායක සිංහල බහුතර ප්‍රදේශවලද ගෝඨාභයට තරඟයක් දෙන්නට සජිත් ප්‍රේමදාස මහතා සමත් වු බවයි. සමහරු කීවේ කරට කර තරඟයක් බවයි. ගෝඨාට සිංහල ඡන්ද පදනමින් වුවද විශාල ලෙස ඉදිරියෙන් සිටින්නට ඉඩක් ලැබුණු බවක් පෙනෙන්නට නැත.

ගම්බද සිංහල ජන පදනමට බල පෑ හැකි තවත් කරුණක් ගැන ද කිව යුතුය. එය නම් අපේක්ෂකයා සතු පෞර්ෂයයි. 2015 ජනාධිපතිවරණයේ දී වැඩි මහජන ආකාර්ෂණයක් සහිත පෞරුෂයකින්  හෙබි අපේක්ෂකයා වුයේ මහින්ද රාජපක්ෂ මහතායි. මෛත්‍රිපාල සිරිසේන මහතාට එම පෞරුෂය නොතිබිණ. “අයියෝ සිරිසේන” කියා උපහාස කළේ ඒකටය.

මෙම මැතිවරණයේ ඇත්තේ ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි. ගෝඨාභය රාජපක්ෂ මහතා පෞරුෂයක් නැතිවා නොවේ. ඔහුට ඇත්තේ නගරයට ඔබින පෞරුෂයකි. අනෙක් අතට මාධ්‍යයට මුහුණ නොදීම නිසා එම පෞරුෂයේ බිඳවැටීමක් ද සිදු වී ඇත. 

කෙසේ වෙතත් මෙම මැතිවරණයේ ගමට ආකර්ශණීය නායකයා සජිත් ප්‍රේමදාස මහතාය. මහින්දගේ මුල් මැතිවරණයේ භාවිතා කළ “පණ ඇති මිනිසෙක්” යන්න මෙවර ගැලපෙන්නේ සජිත්ටය. එබැවින් එම සාධකයද ගමට බල නොපානු ඇතැයි සිතිය නොහැකිය. 

ගෝඨාභයගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආකර්ෂණීය එකක් බව ඇත්තය. මාධ්‍ය ආයතන කිහිපයක්ම මුළු ශක්තියම යොදවා ක්‍රියාත්මක වන්නේ ගෝඨාභය දිනවන්නටය. එසේ වුවද මාධ්‍ය ආයතනවලට වෙනස් කළ නොහැකි සාධක ගණනාවක් ඇත. මෙරට ජන සංයුතිය හා ඡන්ද සංයුතිය කිසිවෙකුට කෙටි කලෙකින් හෝ පහසුවෙන් වෙනස්  ‍කළ නොහැකිය. එමෙන්ම ඉතිහාසයේ ඒ ඒ ජන කණ්ඩායම්වල අත් දැකීම්ද පහසුවෙන් වෙනස් කළ නොහැකිය. ජනතාව තීන්දු ගන්නේ ඒ අනුවය. 

එමෙන්ම අපේක්ෂකයන්ට තම තමන්ගේ ඉතිහාසය තමන් හා අනුන් ගොඩනගාගෙන සිටින ප්‍රතිරූප ආදියද පහසුවෙන් වෙනස් කළ නොහැකිය. 

එබැවින් මැතිවරණයේ ප්‍රතිඵලයද තීරණය වනු ඇත්තේ එම සාධක අනුවය. එය වෙනස් වන්නට නම් කිසියම් වු හදිසි අහඹු හා දැනට අපට සිතාගත නොහැකි යමක් සිදුවිය යුතුය.

සී.ජේ. අමරතුංග 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *