යකෝ තොපි ඕනෑවට වඩා නටන්න හදන්න එපා.එන්න තියෙන්නේ අපේ ආණ්ඩුවක් කියලා අපිට වෙඩි තිබ්බා – SBගේ වෙඩි තැබීමේ තුවාලකරුවන් සාක්ෂි දෙමින් කියයි

රාජපක්ෂවරුන්ගේ වෙඩි උන්ඩ වලින් කරගෙන යන දේශපාලනය නැවත වරක් මෙරටට පැමිණෙන බවට සාක්ෂි සපයමින් ඊයේ දිනයේදී එස්. බී දිසානායකගී ආරක්ෂකයින් සාමාන්‍ය වැසියන් පිරිසකට වෙඩි තැබීමක් සිදු කරන ලදී.ඒ අනුව වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී දිසානායකගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් අද (07) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය සදහන් කර සිටී.

ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනා සහ වැන් රථය, වෙඩි තැබීමට උපයෝගි කරගත් යැයි කියන පිස්තොල දෙක හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කර ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනා හඳුනාගැනිමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන බව ද ගිනිගත්හේන පොලිසිය සදහන් කර සිටී.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් කොත්තැල්ලෙන ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමවලට සහභාගි වී එස්. බී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඇතුළු ආරක්ෂක නිලධාරින් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා වාහනවලින් ඊයේ (06) රාත්‍රි 8.00 ට පමණ ගමන් කරමින් සිටියදී නාවලපිටියේ සිට පොල්පිටිය හරහා මිනුවන්දෙණිය දක්වා විවහා මංගල්‍යය උත්සවයකට සහභාගි වී නිවෙස් කරා යමින් සිටි තරුණයන් සිව්දෙනෙක් රැගත් වැන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩි ගැටී තිබේ.

අනතුරත් සමග ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් සහ තරුණයන් පිරිස අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමත් සමග එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී දිසානායක පැමිණ ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී දිසානායක සිද්ධිය සමතයකට පත්කර ඔහු ගමන් ගත් වැන් රථයට යළි ගොඩ වී පිටව යාමත් සමගම ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් “යකෝ තොපි ඕනෑවට වඩා නටන්න හදන්න එපා.එන්න තියෙන්නේ අපේ ආණ්ඩුවක්” යැයි කියමින් තමන්ට සහ තම මිතුරෙකුට පිස්තෝලයකින් වෙඩි තැබු බව වෙඩි වැදිමෙන් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රොහලේ නේවාසික ප්‍රතිකාර ලබන රවින්ද්‍ර රෂාන් කියා සිටියේය.ඔහු 22 හැවිරිදි ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

තමන්ගේ දකුණු අතට වෙඩි වැදුණු බවත්, තම මිතුරාගේ වම් පාදයට වෙඩි වැදුණු බවත් පසුව දෙදෙනාම කිතුල්ගල තැලිගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු තමන්ව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙතත් තම මිතුරා වන චරිත් මදුෂාන් කරවනැල්ල මුලික රෝහල වෙත මාරු කර යැවු බව රවින්ද්‍ර රෂාන් කියා සිටියේය.

වෙඩි වැදී ඇති චරිත් මදුෂාන් 23 හැවිරිදි ගිනිගත්හේන පොල්පිටියේ පදිංචි අයෙක්.

වෙඩි තැබීම සිදු කලේ යැයි කියන ආරක්ෂක අංශයේ නිලධාරින් තලාතුඔය පොලිසිය වෙත ගොස් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් වාහනය හරස් කර පහර දීමට උත්සහ කළ බව පවසමින් බොරු පැමිණිල්ලක්ද සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *