සජිත්ගේ ජය තහවුරු කරන්න පොහොට්ටු ප්‍රා. සභා 8ක මන්ත්‍රීවරු එක්වෙති

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පතා ප්‍රාදේශීය සභා අටක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මහිල් බණ්ඩාර මහතාද සජිත් ප්‍රේමදාස මහතාගේ සහයට එක්වූහ.

අරණායක, හිඟුරක්ගොඩ, ලංකාපුර, ඇළහැර, නාගොඩ, නියාගම, නෙළුව සහ තවලම යන ප්‍රාදේශීය සභා අටේ නියෝජිතයෝ පෙරේදා පැවති ජන රැලිවලදී ‍සජිත් ප්‍රේමදාස මහතාගේ සහයට එක්වූහ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන ජන රැලියක් අරණායක දිප්පිටිය නගරයේදී පැවැත්විණි. එහිදි අරණායක ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීනි ඉරේෂා අමරසිංහ මහත්මියද සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළේය.

අරණායක ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු වන එන්.වී. රත්නායක, චන්ද්‍රිකා ජයරත්න, අයි.එච්. කරුණාරත්න යන මහත්ම මහත්මීන් සජිත් ප්‍රේමදාස මහතාගේ සහයට එක්වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති සුසන්ත ගුණරත්න මහතා ඇතුළු එම පක්ෂයේ ලංකාපුර හා ඇලහැර ප්‍රාදේශීය සභාවල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනකු ඇතුළු තවත් සාමාජික සාමාජිකාවන් 100ක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම සඳහා නොවැම්බර් 04 වැනිදා සවස මැදිරිගිරිය දියසෙන්පුර පොදු ක්‍රීඩාංගණයේ හා බකමූණ මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවලදී බුලත්හුරුළු දී එක්සත් ජාතික පක්ෂයට එක්විය.

ලංකාපුර ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරු දෙදෙනෙකු හා ඇළහැර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙදෙ‍නකු ඇතුළු පිරිසක් මෙසේ එක්වූහ. මින්නේරිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක චන්ද්‍රසිරි සූරියආරච්චි, මැදිරිගිරිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක සිඩ්නි ජයරත්න යන මහත්වරු මෙය සංවිධානය කැර තිබුණි.

හිනිඳුම මැතිවරණ කොට්ඨාසයේ මාපලගම කරුණාතිලක ක්‍රීඩාංගණයේදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලියේදී නාගොඩ, නියාගම, නෙළුව සහ තවලම ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් සමඟ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එක්ව සිටි අයුරුයි මේ.

අරණායක ප්‍රදීප් කුමාර ධර්මරත්න, පොලොන්නරුව සමූහ, හිනිඳුම සමූහ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *