‘ඇක්සා – 1’ ගිවිසුම අත්සන් කළේ ගෝඨාභය රාජපක්ෂ හා ඇමෙරිකානු තනාපති රොබට් ඕ බ්ලේක් – බිමල් රත්නායක

ගෝඨාභය රාජපක්ෂ මහතා ද අත්සන් කළ ගිවිසුමක් තමයි ‘ඇක්සා-1’ පළමුවෙනි ගිවිසුම. ගිවිසුම අත්සන් කළ එක්කෙනෙක් ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් අනෙක් කෙනා එවකට ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා එසේ ප්‍රකාශ කළේ අද (5) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමු‌ණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි තවදුරටත් කතා කළ බිමල් රත්නායක මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම ගැන දැන් රටේ ලොකු සාකච්ඡාවක් හැදිලා තිබෙනවා. ආණ්ඩුව මේ ගිවිසුමේ හොඳ ගැන කථාකරන අතර, රාජපක්ෂ පක්ෂ කණ්ඩායම ඊට විරුද්ධ මතයකුත් ගොඩනඟාගෙන යනවා.
එ.ජා.ප.යත්, රාජපක්ෂ කණ්ඩායමත් ගත්තම මේ දෙකම පැහැදිලිවම සමාන කණ්ඩායම් දෙකක්. මේ දෙකේ ප්‍රතිපත්ති, පුද්ගලයන්ගේ භාවිතාව මේවායේ ඇමරිකානු ගැති බවට හෝ චීන ඉන්දියා ගැති බවට ඇති තරම් උදාහරණ මේ රටේ ජනතාව දන්නවා. මේවා සමහර ජනමාධ්‍ය යොදාගෙන වසන් කරන්න හැදුවත් මේ කණ්ඩායම් දෙකම බලයට එන්න කලින් එක එක විදේශීය බලවතුන්ගේ සරණ යන්නේ කොහොමද? ඔවුන්ගේ උදව් ගන්නේ කොහොමද? ඔවුන්ගේ උදව්වෙන් තමන්ට ආණ්ඩු හදාගන්නේ කොහොමද? ආණ්ඩු හදා ගත්තට පස්සේ ඒ ඒ රටවල සැලසුම්වලට අනුව කටයුතු කරන්නේ කොහොමද? කියන එක ගැන මේ කණ්ඩායම් දෙකෙන්ම උදාහරණ සපයලා තිබෙනවා.
විදේශ බලවතුන්ගේ සාක්කුවට වැටිලා ඉන්න අපේ රටේ මේ කල්ලි දෙකෙන් කට්ටියක් ඉහත ගිවිසුම ආරක්ෂා කරන්නටත්, අනෙක් කට්ටිය ඊට එරෙහිව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න වගේ කටයුතු කරමින් ඉන්නවා. මේ නිසා අපි මේ ගැන රටට කරුණු පැහැදිලි කරදිය යුතු යැයි අදහස් කළා. 2000න් පස්සේ ලංකාව විශාල වශයෙන් විවිධ ගිවිසුම්වලට ගිහිල්ලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපි විවිධ රටවල් සමග, ආයතන සමග, අත්සන් කරන හැම ගිවිසුමකටම ඉවක් බවක් නැතිව විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් එම ගිවිසුම්වලට රට යා යුත්තේ පළමුව හොඳ අධ්‍යයනයකින්. අනෙක ලංකාවට වාසි ලැබේද, නැද්ද, සොයා බලලා. ඊළඟට රටේ ජනතාවට එම ගිවිසුම්වල අඩංගුව හෙළිකළ යුතුයි. ඊළඟට ඒ ගිවිසුම් ගැන රාජ්‍ය ආයතන සමගත්, ජනතාව සමගත් ක්‍රමවත් සාකච්ඡාවක් කළ යුතුයි. ඊට පස්සෙ තමයි ගිවිසුම් ගැන තීරණ ගත යුත්තේ කියලයි අපි විශ්වාස කරන්නේ.
ලංකාව මෑත භාගයේ පාවා දුන්න ප්‍රධානම ගිවිසුම බවට පත්වුණේ 1995 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අත්සන් කරන ලද, එවකට ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාද අත උස්සපු, ඔහු ජනාධිපති වුණාට පසුත් අහෝසි නොකරපු, ඉතාම නරක අන්දමින් ලංකාවේ ස්වෛරීභාවයටත් ආරක්ෂාවටත් හානිදායක සෝෆා ගිවිසුම. 1995 මැයි 16 තමයි ඒක අත්සන් කළේ. මේ ගිවිසුම අනුව ඇමෙරිකානු හමුදාවේ සොල්දාදුවන්ට පාස්පෝට් නැතිව ලංකාවට ඒමටත්, ඔවුන් ගමන් කරන වාහන පරීක්ෂා නොකිරීමටත්, ඔවුන්ට නිදහසේ අප රට තුළ කටයුතු කිරීමටත් අවශ්‍ය සියලු බලතල මේ ගිවිසුමෙන් ලබාදුන්නා. මේ ගිවිසුම තවමත් බලාත්මකයි. අපි අහනවා එ.ජා.ප.ය මේ ගිවිසුමට විරුද්ධ නම් ඒක අහෝසි නොකළේ මන්ද කියලා. විශේෂයෙන් රාජපක්ෂ මහතා අවුරුදු 10ක් රට පාලනය කළා. ඔය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවුරුදු 10ම ආරක්ෂා කළේ මේ ගිවිසුමයි. ඇයි ඒ ගොල්ලෝ බලය තිබෙන කාලයේ ඒක අහෝසි නොකළේ. මේක කෙලින්ම යුද ගිවිසුමක්.
මෙම ගිවිසුම අලුත් කිරීම සඳහා තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ කියන්නේ 2018 සැප්තැම්බර්  24 වැනිදා ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මේ ගිවිසුම අලුත් කිරීම සඳහා ආණ්ඩුවෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. එයින් ඔවුන් ඉල්ලා සිටිනවා ඇමරිකානු හමුදා භටයන්ට පමණක් නොවෙයි, ඔවුන්ට විවිධ සේවා සපයන පුද්ගලයන්ට, කොන්ත්‍රාත්කරුවන්ටත්  ලංකාවට නිදැල්ලේ එන්න යන්න හා ඔවුන්ව කිසිදු පරීක්ෂාවකට ලක් නොකිරීමටත්. ඒ වගේම ඇමරිකන් හමුදා භටයෙකුට මෙරට කෙනෙකුගෙන් අපරාධයක් සිද්ධ වුණොත් ඊට අදාළ නඩු කටයතු ඇමරිකානු නීතිය අනුව කළ යුතුයි කියලා. පරිච්ඡේද 15ක යෝජනාවලියක් මෙහිදී ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ගිවිසුම මේ එ.ජා.ප. ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එහෙම කරලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ ගිවිසුම ප්‍රතික්ෂේප කරලා නැහැ. මහින්ද රාජපක්ෂ මහතාත් ප්‍රතික්ෂේප කරලා නැහැ.
ගෝඨාභය රාජපක්ෂ මහතාද අත්සන් කළ ගිවිසුමක් තමයි ‘ඇක්සා-1’ පළමුවෙනි ගිවිසුම. ගිවිසුම අත්සන් කළ එක්කෙනෙක් ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් අනෙක් කෙනා එවකට ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ. 2007 මාර්තු 05 අත්සන් කළේ. මෙහි විශේෂත්වය තමයි ඇමෙරිකානු හමුදාවට යුද ආධාර සපයන මෙවන් ගිවිසුමක් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට අත්සන් කරන්නේ ලංකාවේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවෙලා ඉන්නකොට තමයි, මෙය අත්සන් කළේ. ඇමෙරිකන් පුරවැසියෙකු වූ ගෝඨාභය මෙම ගිවිසුම කැබිනට් මණ්ඩලයටත් නොදන්වා ඊට හොරෙන් තමයි මේක අත්සන් කළේ. මේ ගිවිසුමට ඔය රාජපක්ෂලා කොතනද විරුද්ධව කථා කරලා තිබෙන්නේ.
අපි දැන් රාජපක්ෂ දෙබෑයන්ට කියනවා පුළුවන්නම් මේ ගිවිසුම වැරදියි, ඒ අයගේ ආණ්ඩුවක් යටතේ  මේක ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා කියන්න. ඒ වගේම කැබිනට් මණ්ඩලයට හොරෙන් අත්සන් කළේ ඇයි කියලත් කියන්න. ගෝඨාභය අත්සන් කරපු ගිවිසුම පිටු 20යි තිබෙන්නේ, කියලා ඔහුගේ අතවැසියෙක් මේ ළඟදි වේදිකාවෙදි කිව්වා. නමුත් ජ.වි.පෙ. පාර්ලිමේන්තු කණ්ඩායමේ අපි මාස ගණනක් දිගින් දිගටම පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය කළා ගිවිසුමේ පිටපතක් දෙන්න කියලා. නමුත් ඒ වෙනුවට රාජපක්ෂලා කළේ රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමාගේ අත්සන සහිතව ඉන් කොටසක් පමණක් ලබාදීම. ඒ මාස 4කටත් පස්සේ.
ඊළඟට අවුරුදු 10ට පස්සේ ‘ඇක්සා-2’ ගිවිසුම ගැහැව්වා, 2017 අගෝස්තු 04 වැනිදා මෛත්‍රී-රනිල් දෙදෙනාගේම අනුමැතිය ඇතුව. ඇමෙරිකානු තානාපති සහ එවකට සිටි රාජ්‍ය ලේකම් තමයි මේකට අත්සන් කළේ. එතකොට එහිදී රාජපක්ෂලා මොකද කළේ. ගෝඨාභය රාජපක්ෂ ගැසූ ගිවිසුමේ සියලු කරුණු මේ ගිවිසුමෙත් තිබෙනවා. එකම දේ ගිවිසුමට කාලසීමාවක් නොමැතිවීම. අනන්තය දක්වා දිගයි. මේකට රාජපක්ෂලා කිසිදු විරෝධතාවක් දක්වලා නැහැ.
2019 ලංකා ආණ්ඩුව, චීනයත් සමග ආරක්ෂක ගිවිසුම් 2ක් අත්සන් කරනවා, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. මේකට අනුව චීනය තමයි ලංකාව යුදමය සන්නිවේදන කටයුතුවලට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්නේ. එ.ජා.ප. ආණ්ඩුවේ මේ පාවාදීම් සහිත ගිවිසුම් ගැන ගෝඨාභය හෝ මහින්ද රාජපක්ෂ කියන්නේ මොනවාද? ඊළඟට මේ ආණ්ඩුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ඉන්දියාවට සහ ජපානයට බදුදීමට කැබිනට් පත්‍රිකාවක් දමා ගිවිසුමක් ඉදිරිපත් කරනවා. මේකට විරුද්ධව රාජපක්ෂලා මොනවාද කිවවේ කළේ? රාජපක්ෂලාගේ හා රනිල්ලාගේ, සජිත්ලාගේ සැබෑ භාවිතය තමයි මේ ගිවිසුම් 5 පදනම් කරගන අපි ඉදිරිපත් කළේ.
‘මිලේනියම් චැලේන්ජ්’ ගිවිසුම ගැන මාධ්‍ය සාකච්ඡාවක් තියලා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා පැහැදිලි විස්තරයක් කළා. ඇමෙරිකාව සහ ආණ්ඩුව කියන්නේ මේ ගිවිසුම රටට ආධාරයක් කියලා. නමුත් අපට තිබෙන ප්‍රශ්නය තමයි මේ ගිවිසුම රටේ සාකච්ඡාවට ලක්වෙලා තිබෙනවාද? නැහැ. පාර්ලිමේන්තුව දන්නෙත් නැහැ. අනෙක, මේක අත්සන් කරන්න යන්නේ ඡන්දෙට සති දෙකකටත් අඩු කාලයක් තිබෙද්දී. මේක බරපතළ කරුණක්. යන යකා කොරහත් බිඳගෙන යන්නයි මේ හදන්නේ. මේ ගැන සත්‍ය කරුණු ජනතාව දැනගත යුතුයි. ආධාරයක් වුණත්, ණයක් වුණත් විනිවිදභාවයෙන් ජනතාව දැනුවත් කරලා යම් ගිවිසුමකට යා යුතුයි.
මේ කලාපය තුළ ඉන්න ඇමෙරිකාවට වඩාම විශ්වසනීය දේශපාලනඥයා තමයි රනිල්. මුදල් ඇමති මංගලත් පසුගිය වකවානුවේ සිට දැඩි ඇමරිකානු ගැති බවක් පෙන්නුම් කරනවා. ඔහු විදේශ ඇමතිවෙලා සිටින වෙලාවේ කියුබානු ආණ්ඩුවට තහංචි දැමීමට පක්ෂව කටයුතු කළ කෙනෙක්. ඔහු විදේශ ඇමතිව සිටින කාලයේ සිට මේ දක්වා පලස්තීන ප්‍රශ්නයේදී දැඩි ඇමෙරිකානු ගැති බවක් පෙන්වා තිබෙනවා. ඉතින් මේ අය මැදිහත්වෙලා ගහන ගිවිසුම් ගැන අමුතුවෙන් කිවයුතු නැහැ.
දැන් ජනාධිපතිවරණයට සතියක් තිබියෙදී බිල්ලෙක් මවාගෙන යනවා, ගෝඨාභය දින්නොත් මහ විනාශයක් වෙයි කියලා. මිනිස්සු මෙයාලව පරාජය කළේ 2015දීයි. මිනිස්සු පරාජය කළා, රනිල්ලා මෛත්‍රී සජිත්ලා ඔවුන්ව ආරක්ෂා කළා. මේ ගිවිසුම ගැනත් මේ කණ්ඩායම් දෙකම ගිවිසුම ගැන කියන්නෙ ඩබල් ගේම් කථාම තමයි. අපි බිල්ලො මවන පක්ෂයක් නෙමෙයි. අපි සත්‍ය කරුණු මත පිහිටා කටයුතු කරන ව්‍යාපාරයක්. ජාතික ජන බලවේගය කියන්නේ සබුද්ධික දේශපාලන ව්‍යාපාරයක්. ඒක අපි පැහැදිලිව රටට කියන්න ඕනෑ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *