|

නව ආරක සුරංගනා කතාවක් – නිශාන්ත කමලදාස

අපේ වීරයා තමාට සපයා ගත හැකි සියලු ආරක්ෂක විධිවිධාන මැද්දේ සුරක්ෂිතව සිටිය ද, පරිවාර රථ හා සේනා සහිතව ගමන් බිමන් ගියේ වුව ද, තම ආරක්ෂාව වෙනුවෙන් පාරවල් වසා දමන්නේ වුව ද, අවශ්‍ය වුවහොත් අප වෙනුවෙන් විදුලි පුටුවට වුව යෑමට තරම් කැප වීමක් ඇති කෙනකු බව අපි හොඳින් ම දනිමු. එසේ, ජාතිය, ආගම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කිරීමට හැමට ම බැරි ය. ඒ අතින් අප වෙසෙන්නේ ම සුරංගනා ලෝකයක ය.

මිනිසුන් සුරංගනා කතාවලට කැමති ය. යථාර්ථයට වඩා ඒවා මනබන්ධනීය ය. යථා ලොවේ කළ නොහැකි අපූරු වැඩ සුරංගනා කතාවලින් සිදු කෙරේ. එය අපේ ආස්වාදය පිණිස සිදු වේ. මුල මැද මොනවා වුණත්, අවසානයේ අපේ වීරයා ජය ගනී.

කළ හැකි වැඩ පවා කල් ගන්නේ නැතිව වේගයෙන් කෙරෙන බැවින්, එය ද සිත සනසන සුළු ය. යථා ලෝකයේ දී මහන්සි වී කරන වැඩ, සුරංගනා කතාවල හාස්කම්වලින් සිදු කෙරේ. ඒ නිසා ම, මහන්සි වුණු කම්මැළි සිතකට සුරංගනා කතා ගෙන එන්නේ නොමඳ අස්වැසිල්ලකි.

වඩාත් ම වැදගත් දේ නම්, වෙනත් කවරකුට හෝ කරන්නට කිසිවක් ඉතිරි නොකර, වීරයා ම සියල්ල කිරීම ය.

සුරංගනා කතාවල එන අපේ වීරයන් තුළ අපේ ලෝකයේ අප දකින චරිතවල මෙන් අඩුපාඩු නැත. ඒවා තනි සුදු චරිත ය. ගුණයෙන් පමණක් නොව, බලයෙන් ද, නැණයෙන් ද ඒවා උතුම් ය. සර්ව සම්පූර්ණ ය.

සුරංගනා කතා අසන, ඒවා නිසා කුල්මත් වන මිනිසුන්ට ඒ කතා සැබෑ ලෝකයේ ද විඳින්නට වුවමනා ය. ජනපතිවරණ දේශපාලන වේදිකාවල අප දැන් අසමින් සිටින්නේ ඒ සුරංගනා කතා ය. සොයමින් ඉන්නේ එවැනි සුරංගනා කතා දක්ෂ ලෙස කියන්නට හැකි අය ය.

මුල දී කියවෙන්නේ තිබෙන දෙයෙහි අජූව ය. දෙවනුව කියන්නේ නිර්මාණය කරන්නට යන දෙයෙහි සුන්දරත්වය ය. ආනුභාවය ය.

මේ කතාවල අපට කරන්නට කිසි දෙයක් නැත. සියල්ල ඔවුන් කර දෙන්නෝ ය. කිසිවක් නැතැයි කීවාට ඒක හරියට ම හරි නැත. අපට කරන්නට දෙයක් තිබේ. ඒ අපේ ඡන්දය හරියට දැමීම ය. ඉතිරි ටික ඇත්තේ ඔවුන්ගේ බාරයේ ය.

වීර කතා

බලයට පත් වූ පසු බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සියල්ල අපේ වීරයා විසින් නැති භංග කරනවා ඇත. ඒ දේවාලයේ කපු මහත්තයා අපේ භූත දෝෂ, භූමි දෝෂ, ග්‍රහ දෝෂ වැනි අඨෝරාශියක් දෝෂ නැති භංගස්ථාන කරන දමන අයුරින් ය. කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අප විසින් මේ අවස්ථාවේ නොඇසිය යුතු ය. කපුමහත්තයාගෙන් පමණක් නොව, අප ඒ සියල්ලෙන් නිදහස් කරවන්නට මේ වෙලාවේ පහළ වී ඇති දේශපාලනඥයාගෙන් ද එය නො ඇසිය යුතු ය. ඒවා ඔවුන් බලා ගනු ඇත. බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පරාජය කරන ශබ්දය කොතරම් බලවත් ද යත්, එවන් අවස්ථාවක වේදිකාව දෙදරා යන ආකාරය කෙතරම් දරුණු ද යත්, අධිරාජ්‍යවාදියකු එය අසා සිටියොත් එවෙලේම වෙව්ලා මිය යනු ඇත. එසේ තිබිය දී ඒ ගැන තවත් සහතික කුමකට ද? කරන්නට තිබෙන්නේ බලය දී බලන එක ය. සුරංගනා කතා කියවද්දී ද අප කළ යුත්තේ වීරයා ගැන විශ්වාසය තබා ඉදිරියට කියවාගෙන යෑම ය.

ඔවුන්, දෙමළ හා මුස්ලිම් අන්තවාදයෙන් රට බේරා ගනු ඇත. ඒ සුරංගනා කතාවේ එන වීරයා, මකරුන් පරදන විලසින් ය. අවශ්‍ය වුවහොත් තනිවම සටන් වැදීමෙන් ය. ඒ සඳහා අපට කරන්නට තිබෙන්නේ මිනිසුන් කීප දෙනකු කුළු ගන්වා, ඔවුන් විරුවන්ට අන්දා, අපේ මහා වීරයාගේ සහයට යැවීම ය. ඊට පසු කරන්නට තිබෙන්නේ සුරංගනා කතාවේ ඉතිරිය කියවන්නට ය. අන්තවාදය පැරදවීම සඳහා, අනවශ්‍ය ලෙස මහන්සි වී, ඒවා ඇති කරන මූලයන් හොයා, ඒවාට විසැඳුම් දීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ යුද්ධ කිරීම ය. යුද බිමේ මැරී වැටෙන්නට මිනිසුන් පොලඹවා ගැනීම ඒ තරම් ම අමාරු නැත. දුප්පත්කමෙන් පීඩා විඳින මිනිසුන් ඉන්නා තාක්, එය අමාරු වන්නේ නැත (ඒ නිසා අපට සහ අපේ පුතාලාට යුද්ධයට යෑමට සිදු නොවීම අපූරු සහනයක් නිසා, දිගටම සුරංගනා කතාව කියවමින් ඉන්නට අපට හැකියාව ලැබේ).

භූමියක් අරා සිටින හමුදාවක් යුද්ධයෙන් පැරදිය හැකි නමුත්, වරින් වර ත්‍රස්ත ක්‍රියා සිදු කර හැංගෙන සංවිධානයක් යුද්ධයකින් පැරදවිය නොහැකි ය. ඒ සඳහා ඒ සංවිධානයේ මතවාදය පැරදවිය යුතු ය. ඔවුන් තමන් නියෝජනය කරන්නේ යැයි කියන ජනතාවගෙන් වෙන් කළ යුතු ය. එල්ටීටීය පරාජය කළ හැකි වූයේ ඔවුන් භූමිය අල්ලාගෙන, රටක් ප්‍රකාශයට පත් කළ නිසා ය. දිගින් දිගට ත්‍රස්ත ක්‍රියා සිදු කරමින් හැංගි මුත්තන් කෙළියේ නම්, එසේ කළ නොහැකි ය. එවැනි කාරණා මිනිසුන්ට අදාළ නැත. සුරංගනා කතාවලදී එහෙම අමාරු වැඩ නැත. ඕනෑ අමාරු වැඩක් වීරයාට ටොයිස් ය. ඔහුගේ වැඩ ක්ෂණික ය.

ස්වෛරී සිහිනය

කළ යුත්තේ අසීමිත බලයක් ඔහුට දීම ය. නීතිය පයිසයකට ගණන් නොගෙන වැඩ කළ හැකි ලෙස ඔහුගේ දෑත් ශක්තිමත් කිරීම ය. නීතිය නැවීමට හැකියාව දීම ය. සිස්ටම් කැඩීමට හා ඇඹරීමට ශක්තිය දීම ය. සම්මතය වෙනස් නොකොට, එහෙත් සම්මතයෙන් බැහැරව වැඩ කිරීම, සාධාරණීකරණය කිරීම ය. මිනිසුන් අතුරුදහන් කළ ද, මීක් නැතිව හිඳින ලෙස ජනතාව නිහඬ කිරීම ය. ඒ හරහා වීරයාට තමාට රිසි සේ ත්‍රස්තයන් මර්දනය කළ හැකි වාතාවරණයක් සෑදීම ය.

අපේ වීරයා ණය බරින් මිරිකී ඇති රට සංවර්ධනය කරනු ඇත. ඒ මැජික් දණ්ඩක් වැනීමෙන් ය. සුරංගනා කතාවේ වගේ ම ය. කරන්නේ කෙසේදැයි අනවශ්‍ය ප්‍රශ්න මතුකර, වීරයා අමාරුවේ දා කිංඩි දමන්නේ එන්ජීඕ කාරයෝ ය. උන්ව නම් තියෙන්නේ සුරංගනා කතාවල මෙන් අතුරුදහන් කර දමන්නට ය. සුරංගනා කතා භාෂාවෙන් කිවහොත්, චුත කර දමන්නට ය.

අපේ වීරයා රට සංවර්ධනය කරන්නේ එක කැලෑවක්වත් කපා නොදමා ය. කිසිදු මිනිසකුගෙන් බදු නොගසා ය. කිසිම මිනිහෙකුට මහන්සි වෙන්නට ඉඩක් නොතබා ය. ඔහු කෙරේ විශ්වාසය තබන්න. ඔහු අපට ආශිර්වාදය ද, සෞභාග්‍යය ද ගෙනෙනු ඇත. බන්දේසියක තබා පුදනු ඇත. අපට කරන්නට තිබෙන්නේ වැළඳීමට සූදානම් වීම පමණ ය. එකක් නම් සහසුද්දෙන්ම කිව හැකි ය. ඔබට දුකෙන් සිටීමට නම් ඔහු කිසි විටෙක ඉඩ දෙන එකක් නැත.

අපේ වීරයා ගොඩනගන්නට යන්නේ කාටවත් අත පාන්නට අවශ්‍ය නැති, කාටවත් යටත් නැති, ස්වාධීන ස්වෙරී රාජ්‍යයකි. අප කන බතට අවශ්‍ය වී නිෂ්පාදනය කරන්නේ පිටරටින් ගෙනෙන ඉන්ධන යොදා, පිටරටවලින් ගෙනෙන ට්‍රැක්ටර්වලින් කුඹුරු සකස් කර, පිටරට බීජ භාවිත කර පැළ හදා, පිටරටින් ගෙනෙන පොහොර යොදා ඒවා ලොකු මහත් කර, පිටරට මැහිතෙල් ඉස ඒවා ආරක්ෂා කිරීමෙනි. ඉන් පසු ඒවා කොටා සහල් ලෙස සකසා ගන්නේ ද පිටරටින් ගෙනෙන යන්ත්‍රානුසාරයෙන් ය. ඊට පසු ඒවා බෙදාහරින්නේ ද පිටරටින් ගෙනෙන ඉන්ධනවලින් දුවන, පිටරටින් ගෙනෙන ලොරිවලින් ය. එහෙව් අපේ රට ස්වෛරී කරන්නේ කෙසේ ද? ස්වාධීන කරන්නේ කෙසේදැයි ඔහු කියන්නේ නැත. එහෙම රටවල් මේ ලෝක තලයේ කිසියම් තැනක හෝ මේ වන විට නැත. එසේ තියෙනවා යැයි කියන එක ම රට වන උතුරු කොරියාව ද “හුස්ම ගන්නේ” චීනයට පින්සිදු වන්නට ය. එය අපට අදාළ නැත. අපේ රට එහෙම රටක් කරනවා නම් කෙතරම් නම් අපූරු ද? එය කරන්නේ කොහොමදැයි දැන ගන්නටත් ඕනෑ ද? සුරංගනා කතාවල කරන්නේ කොහොම ද? යන ප්‍රශ්නයන්ට උත්තර දෙන්නේ නැත. බොහෝ දේ සිදුවන්නේ හාස්කම්වල ආධාරයෙන් ය.

අපගේ අයිතීන් සඳහා සටන් කිරීමට මින් ඉදිරියට අපට සිදු නොවනු ඇත. අප ඉල්ලන්නේ කුමක් ද? එය දීමට ඔහු ලෑස්ති ය. අපට තියෙන්නේ ඉල්ලන එක විතර ය. ත්‍රී වීලර් මල්ලිලාට පාරේ විනයත්, බස් රියැදුරන්ට දඩ නැතිව පාරේ යෑමටත්අවශ්‍ය නම් කරන්නට තිබෙන්නේ ඔහුගෙන් ඉල්ලීම ය. වෛද්‍ය සංගමයට කියන්නට තිබෙන්නේ තමන්ට අවශ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා කවරෙක්දැයි කියා ය. එය ඉටුවෙනු ඇත. සුරංගනා කතා මීට වඩා ලස්සන යැයි කෙනකු කියන්නේ නම්, ඔහුට අමු කැවිලා විය යුතු ය.

අපේ ජාතිය සිංහල ය. ආගම බෞද්ධ ය. සෙසු උන් සිටිය යුත්තේ මේ දෙකට පහළිනි. අපේ අනුකම්පාව යටතේ එකත්පස්ව ය. අප දෙන දෙයක් කාලා, දෙන දෙයක් ඇඳලා, අප කියන විදිහට ය. අපේ වීරයා ඔවුන් එසේ හැසිරෙන බවට වග බලා ගනීවි. ආඥා පනවාවි. එසේ ඉන්නට බැරි අයට, ත්‍රස්තවාදී ලේබලය අලවා, පාඩම් උගන්වනු ඇත. අපේ වීරයා කෙරෙහි බියෙන්, උන් මුළු ගැන්වී සිටිනු ඇත. නිදහසේ, අපට අවශ්‍ය විදිහට පාරේ බැස යා හැකි ය. පෙරහර කළ හැකි ය. කොඩි සේසත් ලෙල දිය හැකි ය. උන්ට අබ සරණ පතමින් පෙළපාළි යා හැකි ය.

නීතියෙන් කරන්නට බැරි ඒවා අපේ වීරයා මැරයන් ලවා , මැර බල සේනා යොදා කරවනු ඇත. අපට තිබෙන්නේ ඒවා දැක සතුටු වෙමින් ඉන්නට ය. ඒවා ගැන උරණ වන මිනිසුන්ට ලේබල් අලවා, උන් අයින් කරන එක ය. අස් කරන එක ය. තොලොංචි කර දමන එක ය.

ඒවා අමතක කරන්නට යහපත් පිළියම් ද තිබේ. ඒ, පන්සල් වන්දනා කිරීම ය. දානමය පින්කම් පැවැත්වීම ය. ධර්ම දේශනා සංවිධානය කිරීම ය. චෛත්‍යය තැනීම ය. ඒවාට හුණු පිරියම් කිරීම ය. ධාතූන් වහන්සේලා වැඩම වීම ය. බුදුන්ගේ ගුණ වැයීම ය. බුද්ධ ධර්මයේ අපරාජිත බව ගැන කීම ය. හාමුදුරුවන්ට යාන වාහන ලබා දීම වැනි පුණ්‍ය කර්ම, ආණ්ඩුවේ මුදලින් ම කරමින්, තරමක් ලොකුවට සංග්‍රහ කිරීම ය. හාමුදුරුවන් ලවා පව් සමා කර ගැනීම ය. සහතික ලබා ගැනීම ය.

පොඩි පොඩි අඩුපාඩුකම් තිබෙන්නට පුළුවන. හොරකම් වෙන්නට පුළුවන. අපෙන් පෞද්ගලිකව හොරකම් නොකරන තාක්, ඒ ගැන හිතේ කහටක් ඇති කර ගන්නට ඕනෑ නැත. මහා භාණ්ඩාරයෙන් ගත්තාට අපට කමක් නැත. ඒ දේපළ අපේ නොවේ ය. ඒවා පොදු දේපළ ය.

පඬුරු පාක්කුඩම් නැතිව දෙවියන් වහන්සේ වත් වැඩ නොකරන ලෝකයක, අපේ වීරයා පොඩි පොඩි දේ හොරා ගත්තා ය. ඒවායින් නෑදෑ හිතමිතුරන්ට සැලකුවා ය කියා නෝක්කාඩු කිව යුතු නැත. අපේ සුරංගනා කතාව, එවැනි මඩවලින් අවලස්සන කිරීමට එන එවුන්ට කියන්න වෙන්නේ කුණුහරුප ය.

කඩේ යාමේ ඉඩ

අපේ වීරයා තමාට සපයා ගත හැකි සියලු ආරක්ෂක විධිවිධාන මැද්දේ සුරක්ෂිතව සිටිය ද, පරිවාර රථ හා සේනා සහිතව ගමන් බිමන් ගියේ වුව ද, තම ආරක්ෂාව වෙනුවෙන් පාරවල් වසා දමන්නේ වුව ද, අවශ්‍ය වුවහොත් අප වෙනුවෙන් විදුලි පුටුවට වුව යෑමට තරම් කැප වීමක් ඇති කෙනකු බව අපි හොඳින් ම දනිමු. එසේ, ජාතිය, ආගම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කිරීමට හැමට ම බැරි ය. ඒ අතින් අප වෙසෙන්නේ ම සුරංගනා ලෝකයක ය.

අප නොලබන සැප, අපේ වීරයාට ලැබීම ගැන අපේ පසුතැවිල්ලක්, කම්පාවක්, නැත. සුරංගනා කතාවල පවා කුමාරිය ලැබෙන්නේ වීරයාට ය. ඒ වීරයාගේ කැප කිරීමට ලැබෙන දිව්‍ය වරප්‍රසාදයන් ය. ත්‍යාගයන් ය. ඒ නිසා ම රටේ මුදලින් ගෙවල් ඉදි කළාට, සුර සැප වින්දාට, පරපුරට ම යාන වාහන, දැසි දස්සන් ලබා දෙමින්, රට රටවලට ණය වුණාට ප්‍රශ්නයක් නැත. ඔහු ලැබිය යුත්තෙකි. ලැබිය යුත්තාට ලැබිය යුතු ම ය.

අප ලබන ලොකුම වරප්‍රසාදය, අපේ වීරයා වෙනුවෙන් කඩේ යෑමේ ඉඩකඩ ලබා ගැනීම ය. සුරංගනා කතාවකටත් වඩා, මේ අප ජීවත්වන ලෝකය ප්‍රසාද ජනක වෙන්නේ ඒ නිසා ය. සුරංගනා කතාව කියාගෙන යන විට අපේ වීරයා වෙනුවෙන් අපට කරන්නට තිබෙන්නේ, අනේ එයාට එහෙම මුකුත් වෙන්න එපා කියා හදවතින් පැතීම විතර ය. දැන් අපට අපේ වීරයා වෙනුවෙන් යමක් කළ හැකි ය. වීරයාගේ ඇඟේ මඩ ගාන්නට උත්සාහ කරන අයට දෙහි කැපිය හැකි ය. කුණු හරුපෙන් සංග්‍රහ කළ හැකි ය. තර්ජනය කළ හැකි ය. බලයට ආ පසු නිසි සංග්‍රහ කරන බවට අනතුරු ඇඟවිය හැකි ය. මූණු පොතේ නම් අන්ෆ්රෙන්ඩ් ද කළ හැකි ය. ඒ අපේ මට්ටමෙන් අපට කළ හැකි දේ ය.

කතාවේ අවසානය

වීරයාගේ ඇද කුද පෙන්නන විට, ඊට හිලව්වට දුෂ්ඨයාගේ ඇද කුද ද පෙන්විය හැකි ය. දුෂ්ඨයා වෙනුවෙන් පෙනී සිටින ගෝලබාලයින්ගෙන් ගේම ඉල්ලිය හැකි ය. එහෙම බැලුවහම වීරයා හා හරි හරියට දුෂ්ඨයා සමඟ සටන් කිරීමේ ඉඩක්, කුඩා කල අප සුරංගනා ලෝකයට පිවිසි විට නොලද ඉඩක්, මේ අලුත් සුරංගනා ලෝකයේ තිබේ. ඒ නිසා මේ ලෝකය වඩා ආතල් ය.

සුරංගනා කතා බොහෝමයක් අවසන් වන්නේ, ‘ඉනික්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහ’ කියා ය. මේ කතාවත් එහෙම වුණොත් හොඳ ය.

එහෙත් මේ සුරංගනා කතාව බොහෝ විට අවසන් වීමට ඉඩ ඇත්තේ, අන්තිමේ දී බොහෝ දෙනාගේ බලාපොරොත්තු සුන් වූවාය කියා ය. ඒ වුණාට සුරංගනා කතා කියවන අය, ඒවාට කැමැති අය, ඒ කතාව විශ්වාස කරන එකක් නැත. කිසිදු සුරංගනා කතාවක් එවැනි බලාපොරොත්තු බිඳ වැටීමකින් මෙතෙක් අවසන් වී නැති නිසා ය.

ඇත්ත තිත්ත ය. ඒ තිත්ත ඇත්ත එළියට ගෙනෙන එකා, එය ඇත්ත වුව ද තිත්ත නිසා ම ගුටි කෑමට නියමිත ය. ඒ නිසා මේ ලිපිය මෙසේ අවසන් කිරීමට කැමැත්තෙමි. මැතිවරණයෙන් පසු, බලාපොරොත්තු බිඳ වැටීමට ඉඩක් නැති, ඔබ කුඩා කල කියවූ සුරංගනා කතා කියවීමට පුරුදු වන්න. එවිට පොත කියවා අවසානයේ අඩු වශයෙන් ඔබට සැනසුම් සුසුමක්වත් හෙලීමට පුළුවන. මේ කතාවෙන් යම් සිත් තැවුලක් වූයේ නම්, එය දරා ගැනීමට ඔබට ඉන් පහසුවක් ලැබෙනු ඇත.

ඇත්ත තිත්ත වුව ද, එයට පිටුපා වැඩක් නැත. අද නැතත්, හෙට එයින් ඔබ විස්සෝපයට පත් වන්නට නියමිත නිසා ය.

ඇත්ත කුමක් ද? අද ඔබ දකින සුරංගනා කතාව ආහ්ලාද ජනක වුව ද, එහි අවසානය කුඩා කල කියවූ සුරංගනා කතා තරම් යහපත් නොවීමේ ඉහළ ඉඩක් තිබෙන බව ය. දැන ගියොත් කතරගම ය. නොදැන ගියොත් අතර මග ය. සුරංගනා කතා සම්බන්ධයෙන් ද එය අදාළ ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *