මර්වින් සිල්වා නාවලද ගත්තෙ? – සිරිසේන රාජපක්ෂ

රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රබලයන් දෙදෙනකු වන මර්වින් සිල්වා හා සජින් වාස් ගුණවර්ධන යන දෙදෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවේ දක්නට ලැබීම යහපාලන අපේක්ෂා සහිත ජනතාවගේ ඇස්වල කටු ඇනෙන දර්ශනයක් බව නොකිව මනාය.

මර්වින් සිල්වා යනු රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අන්ත දූෂිත තැනැත්තකු බව කවුරුත් දනිති. ඔහු එකල ප්‍රකටව සිටියේ රාජ්‍ය සේවකයන් ගස් බැඳීම වැනි දුර්දාන්ත කටයුතු වලටය. මර්වින් සිල්වාගේ දරුවන් පවා එකල හැසිරුණේ බලයෙන් උමතු වූ ආකාරයෙන් බව කවුරුත් දනිති.

මර්වින් සිල්වා මහතා සම්බන්ධ වඩාත් ආන්දෝළනාත්මක සිදුවීම වුයේ ඔහු වරක් ජාතික රූපවාහිනියට කඩා පැන රඟදක්වන ලද කූප්‍රකට නාඩගමය. එසේ ජනමාධ්‍ය ආයතනයකට කඩා පැන නිර්ලජ්ජිත ලෙස හැසිරීමට ඔහු විසින් යොදාගනු ලැබුණේ මාතර මහානාම පාලම විවෘතකිරීමේ උත්සවය ඔහුට අවශ්‍ය ආකාරයට ජාතික රූපවාහිනිය මගින් විකාශය නොකිරීමය. එම රංගනයේදි ජාතික රූපවාහිනී නාලිකාවේ සේවක සේවිකාවන්ගේ විරෝධයට ලක්වු ඔහු සායම් නාගෙන පිටතට පැමිණි ආකාරය දැක්වෙන රූප රාමු තවමත් ජනතාවගේ සිතින් මැකීගොස් ඇතැයි සිතිය නොහැකිය.

රූපවාහිනිය තුළ මර්වින් සිල්වා මහතා දැක්වු රංගනය කෙළවර වන්නට තිබුණේ දරුණු ඛේදවාචයකිනි. එම තත්ත්වය යාන්තමින් වැළකී ගියේ එකල වෘත්තිය මාධ්‍යවේදින්ගේ සංගමයේ නායකයන් වු පෝද්දල ජයන්ත සනත් බාලසුරිය වැන්නන් වහා මැදිහත් වී කෝපයට පත්ව සිටි රූපවාහිනි සේවකයන් සන්සුන් කර මැඩපැවැත්වීම නිසාය.

එහෙත් එසේ මැදිහත්වීම සම්බන්ධයෙන් පෝද්දල ජයන්තට සහ සනත් බාලසූරිය ඇතුළු පිරිසට දරුණු ලෙස වන්දිගෙවන්නට සිදුවිය. හේතුව වුයේ රූපවාහිනියේ කෝපය ඇවිලවුයේ සනත් පෝද්දල විසින්ය යන වැරදි වැටහීමේ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමය. පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගෙන ගොස් පහරදී අතපය කඩා දැමීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධයක් ඇති බවට ඒ සමයේ අරංචි පැතිරිණ. එපමණක් නොව ජාතික රූපවාහිනියේ විරෝධතාව හේතුවෙන් හඳුනාගත් රූපවාහිනී සේවක සේවිකාවනට ද දැලිපිහිපාරට ලක්වීම වැනි පළිගැනීමේ මර්දනකාරී ක්‍රියාවන්ට ලක්වන්නට සිදුවිය. ඉහත මර්දනකාර ක්‍රියා සම්බන්ධයෙන් මර්වින් සිල්වා  මහතා තවමත් නිදොස් වී නොමැත්තේ ඒ පිළිබඳ පරීක්ෂණයක් එකල නොපැවැත්වුණු බැවිනි. පරීක්ෂණ පැවැත්වුවද නැතිද ඉහත සිද්ධි සම්බන්ධව තමා නිදොස්ය යන වචනයක්වත් එතෙක් මෙතෙක් මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කර නැත.

මර්වින් සිල්වා මහතා සමඟ ජාතික රූපවාහිනියට කඩා පනින් ලද පිරිස අතර කුඩු යන නාම විශේෂණ පදය සමග නම කියැවෙන තැනැත්තකුද සිටීම එකල මර්වින් සිල්වා මහතා කුඩු ජාවාරම සමඟත් පතාලය සමඟත් පවත්වන ලද සම්බන්ධතා හෙළිදරව් කරන සාක්ෂියක් විය. එපමණක් නොවේ කැලණිය ප්‍රදේශයේ කප්පම් ගැනීමේ කටයුතු සම්බන්ධයෙන්ද එකල ඔහුගේ විරුද්ධාවාදි පාක්ෂිකයන් විසින් කරුණු හෙළිකරන්නට යෙදුණි.

මර්වින් සිල්වා මහතාගේ දුෂ්චරිතය පිළිබඳ කතාව රාජපක්ෂ යුගයට පමණක් සීමා වන්නක් නොවන අතර එය බණ්ඩාරනායක වරුන් සමඟ ඔහු කටයුතු කළ සමයේ බණ්ඩාරනායක ගුණ සමරුවක වියදම් ගසාකෑම දක්වා ඇදීයන අතීතයකට සම්බන්ධය.

සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ අතීතය ද මර්වින් සිල්වා මහතාගේ අතීතයෙන් වෙනස් වන්නේ ඉතාම සුළුවෙනි. තමා සම්බන්ධයෙන් පවතින වංචා දූෂණ පහරදීම් සම්බන්ධ චෝදනා ආදිය රාජපක්ෂවරුන් විසින් තමා මත පටවන ලද ඒවා බව ඔහු කියන නමුත් රාජපක්ෂ පාලන සමයේ ඔහු ඒ සම්බන්ධව කවර හෝ විරෝධයක් හෙළිදරව්වක් කළ බවක් දැන ගන්නට නැත.

මැතිවරණයක් යනු පුද්ගලයන්ගේ දේශපාලන කන්‍යාභාවය පරීක්ෂා කරමින් කළ නොහැකි කටයුත්තක් බව ඇතමකු කියන්නට පුළුවන. කවරආකාරයකින් හෝ තම ඡන්ද ගොඩ ලොකුකර ගැනීම ජයග්‍රහණය කෙරෙහි බලපාන බැවිනි. ජනාධිපතිවරණයේදී එම තත්ත්වය විශේෂයෙන්ම අදාළය. මෙරට මැතිවරණ බොහෝවිට කුල පදනම හිතවත්කම ආදි හේතු මත ලැබෙන ඡන්ද මත රඳා පවතින බවත් එවැනි පදනම්වලට කතා කළ හැකි පිරිස් සම්බන්ධකර ගැනීමෙන් මැතිවරණයක ජය තහවුරු කරගත හැකි බවත්, ඔවුන් තර්ක කරනවා වන්නටද පුළුවන. එසේ වුවත් අනවශ්‍ය සහ අපකීර්තිමත් තැනැත්තන් සම්බන්ධ කර ගැනීම හේතුවෙන් යහපත් රාජ්‍ය පාලනයක් අපේක්ෂාවෙන් පසුවන තැනැත්තන්ගේ ඡන්ද දුරුමුඛ විය හැකි බවද වටහා ගැනීම වැදගත්ය.

දූෂිතයන් ලංකර ගැනීම හේතුවෙන් අසාර්ථකත්වයට පතුවු ආසන්නම නිදර්ශනය යහපාලන ආණ්ඩුවය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලං.නි.ප.ය හරහා ආණ්ඩුවට එක්වු පිරිස හේතුවෙන් සිදුවු‌යේ යහපාලන ආණ්ඩුවට අපේක්ෂිත ඉලක්කයට යාමට නොහැකි වීමය. 19 වැනි සංශෝධනයේ පක්ෂමාරුව තහනම් කිරීම වැනි යෝජනා ඉවත් වුයේද ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් වුයේද එකී හේතුව නිසාය. ඉහත කරුණු අනුව තහවුරු වන්නේ දුෂිතයන්ගේ පිල් මාරු කිරීම මගින් උත්සාහ කරන්නේ රටට ජනතාවට ඵලදායි සේවයක් කිරීමට නොව පත්වන ආණ්ඩුවෙන් තමන්ගේ කොටස වෙන්කර ගැනීමට බවය. එවැනි විෂබීජ මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ කර නොගන්නට ඉදිරියේදිවත් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස කල්පනාකාරි විය යුතු වන්නේ එවැනි තැනැත්තන් සම්බන්ධ කර ගැනීම මගින් සිදුවිය හැකි වාසියට වඩා අවාසිය බලවත් වන නිසාය.

සිරිසේන රාජපක්ෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *