පෑඩ් මෑන් කතාවෙන් ඇනගත්තාට පොහොට්ටු ෆේස්බුක් බලකායට ගෝඨාගෙන් දැඩි දෝෂාරෝපණයක් !

අහක යන පෑඩ් මෑන් කතාවක් ඇදගැනීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට අතිවිශාල ප්‍රචාරණ වාසියක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල මෙහෙයුම් කමිටුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාම දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ. 

අනෙකුත් අපේක්ෂකයින්ව විවේචනය කිරීම වෙනුවට තමන්ගේ ප්‍රතිපත්ති මූලික කරගනිමින් දේශපාලනය කරන බව පළමු පියවරේදීම තමන් ප්‍රකාශ කළ බව සිහිපත් කර ඇති ඒ මහතා පොහොට්ටු සමාජ මාධ්‍ය ජාල ප්‍රචාරණ කමිටුව එය සම්පූර්ණයෙන්ම නොසලකා කටයුතු කිරීම මේ සියල්ලටම හේතු වූ බවයි අවධාරණය කර ඇත්තේ. 

විශේෂයෙන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වූ විට එහි උණුසුම පැය 24ක්වත් සමාජ මාධ්‍ය ජාල තුළ රඳවා ගැනීමට අසමත් වූ පොහොට්ටු ෆේස්බුක් කමිටුව අහක යන කතාවකට මඩ ගැසීමට ගොස් නොසිතූ විරූ ප්‍රචාරණ වාසියක් ප්‍රතිවාදියාට අත්පත් කර දීම යනු අන්ත මුග්ධ තකතීරු ක්‍රියාවක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හැඳින්වූ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

එසේම ප්‍රචාරණ කටයුතු දෙවන අදියර ආරම්භ වූ මොහොතේම ෆේස්බුක් පිටු ඇඩ්මින්වරුන් ගෙන ආ ව්‍යාපෘති යෝජනා ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ව සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ ව්‍යාපාරය වෙතම තල්ලු කළේත් තමන්ගේම ප්‍රචාරණ කමිටුව බවත් මතක් කරදී ඇති ඒ මහතා සමස්තයක් ලෙසම ගත්කළ පොහොට්ටුවේ සියලු ප්‍රචාරණ ව්‍යාපාර අතරින් දුර්වලම ප්‍රචාරණ ව්‍යාපාරය ගෙනගියේ සමාජ මාධ්‍ය කමිටුව බවත් සාක්ෂි සහිතවම පෙන්වා දී තිබේ. 

පොහොට්ටු ෆේස්බුක් ප්‍රචාරණ මෙහෙයුම් කමිටුවේ ඉහළම නිලධාරීන්ව කැඳවා මෙසේ දැඩි දෝෂාරෝපණයකට ලක් කර ඇති ඒ මහතා ඔවුන් වැඩ කරන්නේ කාටදැයි යන්න ඔවුන් නැවතත් සිතා බැලිය යුතු බවත් පෙන්වා දී ඇත. 

පෑඩ් මෑන් කතාවෙන් මඩ ගැසීමට ගොස් එය වැරදුණු බව තේරුණු පළමු මොහොතේ හෝ එය අතැර දමා වෙනත් මාතෘකාවක් සමාජගත කළ හැකිව තිබියදී නැවත හැරවිය නොහැකි ඉසව්වක් දක්වාම එය ඔසවාගෙන යාමේ සම්පූර්ණ වගකීම එම නිලධාරීන් විසින් බාරගත යුතු බවත් ඒ මහතා දැඩි කෝපයෙන් සහ කණස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය. 

ඒ අනුව ඉදිරි දින 10 තුළ හෝ සිහි බුද්ධියෙන් කටයුතු කරන ලෙසත් අනුන්ව විවේචනය කරන්නට ගොස් ඇනගැනීම වෙනුවට දැන්වත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කිරීමට උපරිම උත්සාහයෙන් ක්‍රියා කරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා තරයේ අවවාද කර ඇති බවත් වාර්තා විය. 

LANKA NEWS WEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *