ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය – අනුර සූරියබණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය දා එළිදක්වන්නට යෙදුණි. එය නම් කර ඇත්තේ ‘රට හදන සෞභග්‍යයේ දැක්ම’ වශයෙනි.

රජපක්ෂවරුන්ගේ  ප්‍රචාරණ කටයුතු සිත්ගන්නාසුළු වචන වලින් සැරසීම ඔවුන්ටම ආවේණික ලක්ෂණයකි. මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වන ‘මහින්ද චින්තනය’, ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’, ‘ආසියාවේ පංච බල කේන්ද්‍රය’, ‘ආසියාවේ ආශ්චර්ය’ ආදී වචන ඒ සඳහා නිදසුන් වශයෙන්  දක්වන්නට පුළුවන. එහෙත් ඔවුන් විසින් රට පාලනය කරනු ලැබු වසර දහයකට ආසන්න කාලය තුළ එම ඉලක්ක කිසිවක් සපුරාලනු ලැබුවේ නැත. ඔවුන්ගේ පාලන කාලය අවසන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමෙන් නොව ආසියාවේ ලොකුම ණය කන්දක් සහිත රට බවට මෙරට පත් කිරීමෙන් පසුවය. ඔවුන්ගේ සංවර්ධනය කෙළවර වුයේ රටටත් ජනතාවටත් මහා බරක් වන ක්‍රිඩාංගන, නැවු නැති වරාය, සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලා ආදියෙන් යුතුවය.

ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ද ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම්වලට සමපාත කරමින් කියවා ගැනීම වැදගත් වන්නේ ඒ නිසාය. මේ ඒ සඳහා උත්සාහයක් වන අතර ඉඩකඩ අනුව සිතා මෙහිදී සාකච්ඡාවට ලක් කෙරෙන්නේ එහි සඳහන් කරුණු කිහිපයක් පමණි.

එම ප්‍රතිප්ති ප්‍රකාශනයේ අඩංගු එක් කරුණක් වන්නේ අල්ලස් කොමිසම ශක්තිමත් කරන බවයි. 17 වන සංශෝධනය මගින් තහවුරු කරනු ලැබූ කොමිෂන් සභා ක්‍රමය මගින් තහවුරු කරනු ලැබු කොමිෂන් සභා ක්‍රමය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නැත්තට නැති කර දැමුවේ රාජපක්ෂවරුන්විසින් බව ගෝඨාභය මහින්ද ඇතුළු පිරිස විසින් අමතක කරන්නට උත්සාහ දරනු ලැබේ. එහෙත් ඇත්ත තත්ත්වය වන්නේ අල්ලස් කොමිසම ඇතුළු කොමිෂන් සභා නැවත ශක්තිමත් කරනු ලැබුණේ වත්මන් ආණ්ඩුව විසිනි. අධිකරණ සේවා කොමිසම සම්බන්ධයෙන් රාජපක්ෂවරු අනුගමනය කළ පිළිවෙත ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ‘උත්තරීතර’ කෘතිය කියැවිමෙන් පමණක් අවබෝධ කර ගත හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ගේත් ඔවුන්ගේ අනුගාමිකයන්ගේත් මේ මොහොතේ බලවත් උත්සාහය වන්නේ අල්ලස් කොමිසම ශක්තිමත් කිරීම නොව හැකිතාක් අල්ලස් කොමිසම මගහැර සිටීමය. ඒ අනුව ජනතාව තේරුම්ගත යුත්තේ ඔවුන්ගේ පාලනයක් යටතේ අල්ලස් කොමිසම නැත්තටම නැතිකොට අල්ලස ශක්තිමත් කරනු ඇති බවය.

අවනීතිකව හැසිරෙන මහජන නියෝජිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් ද ගෝඨාභය මහතාගේ මැතිවරණ ප්‍රකාශයට ඇතුළත්ය. අවනීතිකව හැසිරෙන මහජන නියෝජිතයන් රාජපක්ෂ ආණ්ඩුව තුළ තරමට වෙනත් ආණ්ඩුවක නොසිටි බවට සාධක ඇති තරම් තිබේ. පාර්ලිමේන්තුවේ සිටි භික්ෂූන්ගේ රහස් පෙදෙස් මිරිකනු ලැබුවේ රාජපක්ෂ ආණ්ඩුව යටතේය. දින 52 දුෂිත ආණ්ඩු සමයේ කතානායකවරයාට පුටුවලින් බයිබලයෙන් දමා ගැසු ජොන්ස්ටන් ආදීන් වේදිකාවේ තබාගෙනම අවනීතිකව හැසිරෙන මහජන නියෝජිතයන්ට දඬුවම් දෙන්නට කතා කරන විට සභාවේ සිනා ඇති නොවුණේ එහි සිටියේ පොහොට්ටු හිතවතුන් පමණක් නිසාය.   

මූල්‍ය අපරාධ විනිශ්චය අධිකරණයක් පිහිටු වන බවටද පොරොන්දුවක් ගෝඨාභය මහතාගේ මැතිවරණ ප්‍රකාශයට ඇතුළත්ය. ඒ මහතා එසේ පොරොන්දු වන විට අපට මතක් වන්නේ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ මුදලින් ඉදිකරන ලද මාපිය අනුස්මරණ සොහොනය. ‘අහස අපට’ කියා ඇරඹු මිහින් ලංකා සේවය මගින් කෙරුණු රටේ ජාතික ධනය නාස්තිය ඊළඟට සිහිපත් වේ. සුනඛයන් ගෙන්වීමට ගුවන්යානා යොදාගත් එසේම මස්සිනාවරුන්ට පඩිකන්නට ඉඩ සැල සළසා තිබුණු ශ්‍රී ලංකන් එයාර් ද ඒ සමගම සිහිපත්වේ. එපමණක් නොවේ ‘කරදියවර මංගල්ල’ ආදිය වෙනුවෙන් හම්බන්තොට වරායේ සිදු කළ මුදල් නාස්තිය ඇතුළු තවත් බොහෝ දේ ගෝඨාභය මහතාගේ මුල්‍ය අපරාධ විනිශ්චය අධිකරණය යටතේ විභාගයට ගන්නවාද යන්නත් ගෝඨාභය මහතා විසින් පැහැදිලි කළ යුතුව තිබේ.

ඉහත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් බොහෝ කරණු ජනතාව ගොනාට අන්දා ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා ලියන ලද ඒවා බව අමුතුවෙන් කිය යුතු නැත. ජාතික ඉඩම් කොමිසම ගැන ගෝඪා කියනවිට මල්වානේ ඉඩම මතක් වන්නේ ඒ නිසාය. අමාත්‍යංශ ලේකම්වරු වශයෙන් නිර්මාණශීලි පුද්ගලයන් පත් කරන බව ගෝඨා කියන්නේ ඔවුන් විසින් පත් කළ ඇතැම් විදේශ දූත මණ්ඩල නිලධාරින් අවි ගනු දෙනු චෝදනාවලට ලක්ව රටට ඒමටවත් නොහැකිව සිටින අවස්ථාවකය. එසේම සිල්රෙදි ලිත් රත්රන් ලබාදීම වැනි චෝදනාවලට ලක්ව ඔවුන්ගේ පාලන සමයේ සිටි නිලධාරින් උසාවිවලත් සිර ගෙවල්වලත් කාලය ගත කරන වටපිටාවකය.

ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වගන්ති අතරින් නිසැකවම ක්‍රියාත්මක වන වගන්ති දෙකක් හඳුනා ගත හැකිය. එකක් ආරක්ෂක බුද්ධි යාන්ත්‍රණය ශක්තිමත් කිරීමය. ඒ යටතේ තවත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, තාජුදින් ආදීන් ගැන අසන්නට ලැබීමද නොවැලැක්විය හැකි වනු ඇත.

ඊළඟ කරුණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ගැනය. ගෝඨාභය ඇතුළු පිරිස මේ වන විට පසුවන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වෛරයෙන් යුතුවය. ඒ අනුව ඔහු යම්හෙයකින් බලයට පත්වුවහොත් 19 වන සංශෝධනය මුළුමනින්ම කණපිට හරවනු ඇති බවට සැකයක් නැත. එම ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවතත් ස්වාධින කොමිෂන් සභා ව්‍යවස්ථා සභාව  අහොස්කර දමනු නිසැකය. එපමණක් නොව දිවි ඇති තෙක් රාජපක්ෂ පරපුර රජකරවන්නට හැකි ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කරනු ඇත. ඊට අවසර දීමට ජනතාව සූදානම්ද?

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *