අයිඑස් ත්‍රස්තවාදය මඬින්න ජගත් සහාය ඕනෑ කී කතාව විවේචනය කළ අය නායකයාගේ ඝාතනය ගැන නිහඬයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය දුරුකරලීම සඳහා ජාත්‍යන්තරය සමඟ කටයුතු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ අවස්ථාවේ එය විවේචනය කළ රාජපක්ෂලා හා ඔවුන්ගේ කඳවුරේ උදවිය මේ වන තෙක් අයි.එස්.අයි.එස්. නායකයාගේ ඝාතනය පිළිබඳ වචනයක්  ප්‍රකාශ කර නැති බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂාව සහ දේශ‍ප්‍රේමය පිළිබඳව පම්පෝරි ගසමින් දේශපාලන වාසි ලබාගැනීම හැර රට පිළිබඳ හෝ රටේ ආරක්ෂාව පිළිබදව ඔවුන්ට සැබෑ ආදරයක් නොමැති බව පෙන්වා දුන්නේය.

පසුගිය 29 වැනි දින වත්තල මාබෝලේ සහ ඊයේ (30) දින තොටළඟ පැවති ජනාධිපතිවරණ රැලි අමතමින් වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කොට රට රැක ගැනීමට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත්‍ ප්‍රේමදාස මහතා බලයට පත් කළ යුතු බවය. 

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන් පාස්කු ප්‍රහාරය සිදු කළ අවස්ථාවේ එවැනි ප්‍රහාර හුදෙකලාව මැඬ පැවැත්විය නොහැකි බවත් ගෝලීය ත්‍රස්තවාදය මැඬලීම උදෙසා ජාත්‍යන්තරය සමඟ එක්ව කටයුතු කළ යුතු බවත් අප පෙන්වා දුන්නා. ඒ අනුව මම අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන්ට පුද්ගලිකවම කතා කොට සහය ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේ රාජපක්ෂ කඳවුර කළේ අප ජාත්‍යන්තරයට රට පාවා දෙන බව කියමින් සමච්චල් කිරීමයි. ගෝලීය ත්‍රස්තවාදය යන වචනය පවා ඔවුන් පාච්චල් කළා.

අමෙරිකාව සහ තවත් මුස්ලිම් රටවල් තුනක් එක්ව කළ මෙහෙයුමකින් අයි.එස්.අයි.එස්. නායක අල් බග්ඩාඩි ඝාතනය කර තියෙනවා. මේ ක්‍රියාව ගෝලීය ත්‍රස්ත සංවිධානයක කොඳු නාරටිය බිඳ දැමීමක්. මම මේ මෙහෙයුම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ට ප්‍රශංසාව පළ කළා.

එලෙස ප්‍රශංසාව පළ කළේ අප පමණක් නොවෙයි. සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනයත් ඔවුන්ගේ ස්තූතිය පළ කර තිබෙනවා.

අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට අනුබල දුන් බවට සැක කෙරෙන අයි.එස්.අයි.එස්. සංවිධානයේ ත්‍රස්ත නායකයාගේ ඝාතනය ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම යම් අස්වැසිල්ලක් වනු ඇති බව ද සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය (ACJU) ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව සහ දේශප්‍රේමය පිළිබඳව පම්පෝරි ගහන රාජපක්ෂලා මේ ගැන වචනයක්වත් කතා කර නැහැ. අදහස් දැක්වීමක් සිදු කර නැහැ. ජාත්‍යන්තර ත්‍රස්ත නායකයෙක් ඝාතනය කිරීම පිළිබඳ ගොලුවත රකින්නේ ඇයි දැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා.

අල් බග්ඩාඩිගේ ඝාතනය සමඟ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මුළුමනින්ම නැති වන බව මම ප්‍රකාශ කරන්නේ නෑ. නමුත් ජාත්‍යන්තරය සමඟ එක්ව හා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ගෝලීය ත්‍රස්ත උවදුරු අවම කර ගැනීමටත් ත්‍රස්ත ක්‍රියාකාරකම් වලින් ආරක්ෂා වීමටත් අපට අවස්ථාව උදාවනවා’ යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *