වසර 52කට පසු ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් – ප්‍රමාණය බිලියන 91ක් – ප්‍රචාරණයට මහජන මුදල් වැය ‍කෙළේ නෑ

වසර පහක් පුරාවට ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, රජයේ වැටුප්, විශ්‍රාම වැටුප් , මහා මාර්ග සංවර්ධනය, ආගමික සිද්ධස්ථාන සංවර්ධනය, ව්‍යවසායක පහසුකම්, කෘෂිකර්මය, සමෘද්ධි, ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කර 2018 වසර වන විට ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීමට ද සමත් වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

එම ප්‍රමාණය රුපියල් බිලියන අනූ එකක් බවත් එය දළ දේශිය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස දශම හයක් බවත් පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති වුයේ අවුරුදු 52 දෙකකට පසුව බවත් සඳහන් කළේය.

මේ ජයග්‍රහණ ලබා ගත්තේ රට මුහුණ දුන් ස්වභාවික විපත්වලටද මුහුණ දෙමින් බවත් ආණ්ඩුව ක්‍රියාත්මක කළ සංවර්ධන සහ මහජන සුභ සාධන වැඩසටහන් සඳහා ප්‍රචාරය ලබා දීමට මහජන මුදල් වැය නොකළ බවත් අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී ඊයේ (30) පැවැති පසුගිය අවුරුදු පහ තුළදී රජයේ සංවර්ධන ප්‍රගතිය පිළිබඳ දැනුවත්කිරීමට පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේ ය.

2015 ජනවාරි 09 වැනිදා සිට අද දක්වා ලංකාවේ ඇතිකර තිබෙන සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳ වෙබ් අඩවිය අද ආරම්භ කරනවා.

අපි මේ රටේ නිදහස් සමාජයක් ඇතිකළා. එය වැඩිපුරම භුක්තිවිඳින්නේ මාධ්‍ය සියලුදෙනායි. එහිදී අපි මාධ්‍ය නිදහස ඇති කළා , ස්වාධීන අධිකරණයක් ,ස්වාධීන පොලීසියක් , නීතියේ ආධිපත්‍ය ‍ , තොරතුරු දැනගැනීම යන ආදී සියල්ල ලබාදී තිබෙනවා.

2015දී අපි බාරගත්තේ මේ රටේ ණය ගෙවන්න බැරි ආර්ථිකයක් .නමුත් අපි එය බාරගෙන ස්ථාවරභාවය ඇති කර ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලංකා ආණ්ඩුවට අද ඇති කරන්න 2018දී හැකිවුණා. 2019 දී පාස්කු ඉරිදා බෝම්බ නොතිබුණානම් මීටත් වඩා විශාල ප්‍රමාණයක අතිරික්තයක් ලබාගන්න පුළුවන් වෙනවා. එන අවුරුද්දේ නැවත එය ලබාගන්න අවස්ථාව ලැබෙනවා.

2015 පෙබරාවාරියේදී අපේ පළමු අයවැය ආරම්භ කර එයින් ඇතිවූ ප්‍රගතිය මෙහිදී මම කියන්න කැමතියි.

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 93 726ක් අපි ඇති කර තිබෙනවා. ප්‍රදානය කළ නිවාස ණය ප්‍රමාණ්‍ය 3 ලක්ෂ 86 000යි. ගම්මාන සංඛ්‍යාව 2553 යි. එයින් ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 64 278 යි. කොළඹ නාගරික අඩුආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිවූ නිවාස ප්‍රමාණය 3910 යි. අධ්‍යාපනය සැමටම සහතික කිරීම සඳහා ‘ළඟම පාසැල හොඳම පාසැල ‘ වැඩසටහන යටතේ ආවරණය කළ පාසැල් සංඛ්‍යාව 9063 ක් වෙනවා. සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ ප්‍රතිලාභීන් ප්‍රමාණය 75 850 යි. 2009- 2014 කාලයේදී ලබාදුන් NVQ සහතික පත්‍ර ප්‍රමාණය 1 ලක්ෂ 21 360 යි. 2015 සිට 2019 දක්වා කාලයේදී ඒ ප්‍රමාණය මෙන් දෙගුණයක් 2 46 073 ක් ලබාදී තිබෙනවා. සරසවි අධ්‍යාපනය සඳහා සිසුන් ප්‍රමාණය 2017 උසස් පෙළ විභාගයෙන් ළමුන් 31 415ක් බඳවාගෙන තිබෙනවා.

සුභසාධන හා විශ්‍රාම වැටුප් දීමනා ලබාදීම ගත්විට 2006 දී මිලියන 22 226ක් 2016 වනවිට රුපියල් මිලියන 46 100 ක් ගෙවනවා. වසර දහයකදී සියයට 107.4ක වර්ධනයක් අත් කර ගෙන තිබෙනවා. වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් සඳහා වෙන් කළ දීමනාව ලැබූ සංඛ්‍යාව 2014 දී 2 42 842 යි.අද වන විට එය 4 16 667 දක්වා වර්ධනය වී තිබෙනවා. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා වෙන් කළ දීමනාව ලැබූ සංඛ්‍යාව අද වනවිට 32 000 ක් වෙනවා. පෝෂණ මල්ල 2014 ට පෙර කාටවත් ලැබුණේ නැහැ. අද එය 2 74 511කට ලබාදෙනවා. නොමිලේ පූර්ව රෝහල් ගිලන් රථ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව හරහා 2019 වන විට රෝහල් ගත කිරීම් ප්‍රමාණය 2 74 545 යි. ලබාදුන් නව ගිලන් රථ ප්‍රමාණය 297 ක් ලබාදී තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ 48ක් ඇතුළුව 1000කට ආසන්න ඖෂධ රැසක මිල අඩු කළා. ස්ටෙන්ට් සඳහා 2014දී රුපියල් 3 50 000ක් වැය වුණා. අද එය රුපියල් 1 50 000ට ලබාගන්න පුළුවන්. රජයේ රෝහල් වලදී එය නොමිලේ ලබාදිමද සිදු කරනවා. නවතම පහසුකම් නිසා සැමදෙන සුවපත් හදිසි අනතුරු ඒකක 2015දී එකයි. අද 24 දක්වා වර්ධනය කර තිබෙනවා. මාතෘ හා ළදරු රෝහල් 2015 දී 03 යි. අද එය 12 දක්වාත් 2015 දී එක් පිළිකා රෝහලයි තිබුණේ. අද එය රෝහල් 06 දක්වා වර්ධනය කර තිබෙනවා. සියලුම රෝහල් සඳහා රුපියල් බිලියන 2.6 ක නවතම පහසුකම් රැසක් ලබාදී තිබෙනවා. නිරෝගී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මැලේරියා , බරවා , මාතෘ හා නව ජන්ම පිටගැස්ම , රුබෙල්ලා , මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන HIV රෝග තුරන් කර තිබෙනවා. වකුගඩු රෝග අවම කිරීම සඳහා රුධිර කාන්දු පෙරන මධ්‍යස්ථාන 66 ක් පිහිටුවීම , රුධිර කාන්දු පෙරන යන්ත්‍ර 500 ක් ලබා දී තිබෙනවා. මේ වසර අවසාන වන විට යන්ත්‍ර 1000 ක් දක්වා ලබාදීමට කටයුතු කරනවා. වකුගඩු බද්ධ කිරීම් 2015දී වසරකට සිදුවූයේ 40 යි.අද එය 400 දක්වා වර්ධනය වී තිබෙනවා.

බලශක්ති උත්පාදනය 2014දී ගිගාවොට් 12 421 යි. අද එය ගිගාවොට් 15 926 දක්වා වර්ධනය වී තිබෙනවා. ග්‍රාමීය මාර්ග වල දියුණු වූ දුර ප්‍රමාණය 2014දී කිලෝමීටර් 340 යි. අද වනවිට එය කිලෝමීටර් 2460 දක්වා දියුණු කර තිබෙනවා. 2015දී පරිහරණයට අපහසු වූ මංමාවත් ගණන සියයට 38 ක් තිබුණා. 2019දී එය සියයට 21 දක්වා අවම කිරීමට අපට හැකි වුණා. සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සඳහා නළ ජල පහසුකම් සැපයුම් ප්‍රමාණය 2014දී 18 30 132 යි. 2019 ඔක්තෝම්බර් මාසය වනවිට එය 24 21 218 දක්වා ලබාදී තිබෙනවා. ජල සම්පාදන යෝජනා ක්‍රම සංඛ්‍යාව 2014 දී තිබුණේ 323 යි. අද වනවිට එය 372 දක්වා වර්ධනය කර තිබෙනවා. උසස් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය සියයට 28 කින් වැඩි කළා. එදා උසස් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව බඳවා ගත්තේ 24 198 යි.අද එය 31 185 දක්වා වර්ධනය වී තිබෙනවා. නව පීඨ 23 ක් සහ නව දෙපාර්තමේන්තු 136 ක් ආරම්භ කර තිබෙනවා. ප්‍රාදේශීය පාලන කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය 2012 දී 1.9 යි. 2019දී සියයට 25 දක්වා වර්ධනය වී තිබෙනවා. ආගමික සිද්ධස්ථාන 9850 ක් අලුත්වැඩියා කළා. ඒ සඳහා රුපියල් මිලියන 4864 ක් වැය කර තිබෙනවා. ව්‍යවසායක පහසුකම් ලැබූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 40 240 ක් සඳහා රුපියල් මිලියන 70 000 ක් ලබාදී තිබෙනවා. කෘෂිකාර්මික නිෂ්පාදන නංවමින් යල කන්නයේ වී නිෂ්පාදනය කළ මෙට්‍රික් ටොන් ප්‍රමාණය 2014 දී 1 144 929 යි.අද එය 1 532 905 දක්වාත් 2014දී මහකන්නයේ නිෂ්පාදනය කළ වී ප්‍රමාණය වූයේ 2 235 851 සිට අද 3 072 581 දක්වා වර්ධනය කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය නංවමින් සංචාරක ඉපැයීම් 2014දී තිබුනේ ඩොලර් මිලියන 2431 යි. අද එය ඩොලර් මිලියන 4 380 දක්වාත් සංචාරකයින්ගේ පැමිණීම අද වනවිට 2 333 796 දක්වා වර්ධනය වී තිබෙනවා. සමෘද්ධි වැඩසටහන් වලින් ප්‍රතිලාභ ලැබූ ප්‍රමාණය 2015දී 1 453 078 යි. අද එය 1 808 517 දක්වා වර්ධනය කර තිබෙනවා. ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති 105 213 ක් සඳහා රුපියල් මිලියන 44 729ක් වැය කර තිබෙනවා.

ඊට අමතරය ග්‍රාමීය වැඩසටහන් සඳහා අපි තව ලක්ෂ 02ක් පමණ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ යටතේ පළාත් පාලන මැතිවරණ පනත , තොරතුරු දැනගැනීම පනත , ජාතික විගණන පනත , සක්‍රීය වගකීම් කළමනාකරණ පනත සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධව GSP + පහසුකම නැවත ලබාගැනීම, යුරෝපා සංගමයේ මතස්‍ය අපනයන තහනම ඉවත් කිරීම සිදු කළා. වෙළඳ කාර්මීක සංවර්ධනය වේගවත් කරමින් රටට ගලා ආ සෘජු විදේශ ආයෝජන 2011- 2014 කාලයේදී අමෙරිකන් ඩොලර් මිලියන 3586 යි. එය 2015 සිට 2019 දක්වා කාලයේදී ඩොලර් මිලියන 5 509 දක්වා වර්ධනය කර තිබෙනවා. සෑම වසරකම ඉහළ යන අපනයනය 2016දී අමෙරිකන් ඩොලර් මිලියන 3114 යි, 2017 දී අමෙරිකන් ඩොලර් මිලියන 3319 යි, 2018 දී අමෙරිකන් ඩොලර් මිලියන 3490 දක්වා වර්ධනය කිරීමට හැකි වුණා. වෙළෙඳ හා කාර්මික සංවර්ධනයෙන් ඉදිරියෙන් අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම් ප්‍රමාණය 06 යි. අපනයන ක්ෂේත්‍රය නිසා දළ දේශීය නිෂ්පාදනය 2015දී සියයට 13කින් වර්ධනය වුණා. 2018 වන විටදී එය සියයට 20 දක්වා වර්ධනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

විශාල සංවර්ධනයක් මේ අවුරුදු 05 ඇතුළත කර තිබෙනවා. එය රටට දැනුවත් කරන්න අවශ්‍ය යි. මීට පෙර නොවුන විදිහට සංවර්ධන ව්‍යාපෘති රැසක් කළා. මීට අමතරව වැටුප් වැඩි කිරීම් , දීමනා වැඩිකිරීම් සිදුකළා. මේ සංවර්ධනය පදනම් කරගනිමින් අනාගතයේ විශාල පිම්මක් ගන්න පුළුවන්. මේ සංවර්ධන වැඩපිළිවෙල ගැන මම ආඩම්බර වෙනවා. ඒවාගේම මෙම ව්‍යාපෘති වලට සම්බන්ධවූ සියලු දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

චන්දිමා කරුණාරත්න

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *