2010-2015 ජනපතිවරණවල දී පොදු දේපළ අවභාවිත කළේ මෙහෙමයි

වකට පැවැති ආණ්ඩුව පොදු සම්පත් අයථා ලෙස, අනීතික ලෙස තම මැතිවරණ ක්‍රියාවලියට උපයෝගී කරගත් බවට ලිඛිත සාක්ෂි මේ ලිපිය මගින් ඉදිරිපත් කරනවා.

‘රජයේ අවශ්‍යතාවන් සඳහා යොදා ගන්නා සහ රජය නඩත්තු කරන සහ අයිතිය පැවරී ඇති නිශ්චල හෝ චංචල ඕනෑම මාදිලියක දේපොළක් ‘පොදු දේපොළ’ ලෙස’ අර්ථ දැක්වෙන බව 2010 පොදු සම්පත් අයථා පරිහරණය පිළිබඳ සිය නිරීක්ෂණ හා විශ්ලේෂණ ඇතුළත් වාර්තාවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසනවා.

‘මහ රජ ඔබ මෙහි උරුමකරුවා නොව භාරකරුවා පමණකි’ මිහිදු මහ නාහිමියෝ දෙවන පෑතිස් රජුට මේ ඔවදුන දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා පමණක් නොව එතැන් සිට බොහෝ පාලකයන් ‘උරුමකරුවා නොව භාරකරුවා’ ලෙස ක්‍රියාකළ බවත් සඳහන් වේ.

මහා සාගරය පරාජය කරන දැවැන්ත වැව්, අහස සිඹින මහ දාගැබ් ඒ පිළිවෙතට නිහඬ සාක්ෂි සපයනවා.

රාජාණ්ඩු සමයෙන් පසු නූතන දේශපාලන ක්‍රමය ආරම්භ වූ යුගයේ දී රාජ්‍ය පාලනයට, දේශපාලනයට පිවිසි සියලුදෙනාම පාහේ තම දේපොළ පවා දේශපාලනය වෙනුවෙන් වියදම් කළ බව අපේ වැඩිහිටියෝ කියති. ආණ්ඩුවේ තඹ ශතකයක් පවා ඔවුන් අවභාවිත නොකළ බවයි අපේ වැඩිහිටියන් කියන්නේ.

ඒත් පසුකාලීනව මේ තත්ත්වය වෙනස් වුණා. ‘රාජ්‍ය නම් මමයි’ යනුවෙන් සිතන තැන ‘භාරකාර’ දේශපාලනඥයා පත් වුණා. එහි උපරිමය අපි පසුගිය 2010 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදීත් 2015 ජනාධිපතිවරණයේදීත් දැක්කා.

පොදු දේපොළක් යනු කුමක්ද ?

‘රජයේ අවශ්‍යතාවන් සඳහා යොදා ගන්නා සහ රජය නඩත්තු කරන සහ අයිතිය පැවරී ඇති නිශ්චල හෝ චංචල ඕනෑම මාදිලියක දේපොළක් ‘පොදු දේපොළ’ ලෙස’ අර්ථ දැක්වෙන බව 2010 පොදු සම්පත් අයථා පරිහරණය පිළිබඳ සිය නිරීක්ෂණ හා විශ්ලේෂණ ඇතුළත් වාර්තාවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසනවා.

මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ 17වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 104 අ (4) (අ) වගන්තිය මඟින් මැතිවරණ කොමිෂමට හෝ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට ජනාධිපතිවරණයක දී, මහ මැතිවරණයක දී, පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණයක දී සහ ජනමත විචාරණයක දී පොදු දේපොළ අයථා පරිහරණය වැළැක්වීමට බලය පවරා ඇති බවයි.

මැතිවරණ කොමිෂමට හෝ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට මෙවැනි බලතල රැසක් පවරා තිබුණත් 2010 සහ 2015 ජනාධිපතිවරණයේ දී (2005 වසරේ පැවැති පසුගිය ජනාධිපතිවරණයේ දී පවා අරලියගහ මන්දිරයේ පහසුකම් දේශපාලන වැඩසටහන් සඳහ අයුතු ලෙස යොදා ගන්නා ලද නමුත් එකී රැස්වීම් සහ සංග්‍රහ සඳහා සිදුකරන ලද වියදම් අයකර ගැනීමට කිසිදු විටෙක රජය කටයුතු කර නොමැත)

එවකට පැවැති ආණ්ඩුව පොදු සම්පත් අයථා ලෙස, අනීතික ලෙස තම මැතිවරණ ක්‍රියාවලියට උපයෝගී කරගත් බවට ලිඛිත සාක්ෂි මේ ලිපිය මගින් ඉදිරිපත් කරනවා.

අරලියගහ මන්දිරයේ ‘මහා දන්සල’

2005-15 දක්වා යුගයේ දී ජනපතිවරයාගේ ‘නිල නිවස’ ලෙස අරලියගහ මන්දිරය ද භාවිතා කළා. එහිදී පොදු දේපොළ සුරැකීමේ වැසටහන සිය වාර්තාව මගින් කියන්නේ 2010 ජනාධිපතිවරණයේ දී ‘අරලියගහ මන්දිරය සතු සම්පත්’ ජනාධිපතිවරණයට භාවිතා කළ බවයි.

‘ජනාධිපතිවරයාගේ නිල නිවස මහජනතාව සතු දේපොළක් වන අතර එය නඩත්තු වන්නේ රජයේ මුදලිනි. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව හා එම ධූරයේ වගකීම් සැලකිල්ලට ගනිමින් මහජන මුදලින් විවිධ පහසුකම් සහ සම්පත් රැසක හිමිකම ජනාධිපතිවරයාට ලබා දී තිබේ. කෙසේ නමුත් 2010 ජනාධිපතිවරණයේ දී එම සම්පත් ක්‍රමිකව අයථා පරිහරණයට ලක් කළ ආකාරයට පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන නිරීක්ෂණයට ලක් කෙරිණි. එසේ සිදු කළ අයථා පරිහරණ අතර ප්‍රධාන තැනක් ගත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අරලියගහ මන්දිරයේ භූමිය යොදා ගනිමින් දේශපාලන රැස්වීම් පැවැත්වීම හා එහිදී එම රැස්වීම්වලට සහභාගීවූවන්ට භෝජන හා අනෙකුත් සංග්‍රහ සිදු කිරීමය.

අරලියගහ මන්දිරයේත්, මහනුවර හා අනුරාධපුර ජනාධිපති මන්දිරවලදීත්, මැදමුලන පිහිටි ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසේදීත් එවන් සාද පැවැත් වූ අවස්ථා 35ක් පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන නිරීක්ෂණය කර තහවුරු කරගෙන ඇත. මෙම සංග්‍රහ සඳහා අරාධනා පත් නිකුත් කරනු ලැබුවේ කවුරුන් දැයි තහවුරු කරගත නොහැකි වූ නිසා ආරාධනා පත් යැවූ ක්‍රමවේදය හරහා අපයෝජනයක් සිදුවූයේ දැයි තහවුරු කර ගැනීම අපහසු විය. එම සාදවලදී ඊට සහභාගීවූවන්ට හිමි වූ ආහාර වේල ආරාධනා ලැබුවන්ගේ පුද්ගල ප්‍රතිරූපයට අනුව සාදයෙන් සාදයට වෙනස් විය. මෙම සාද සඳහා සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයෝ සහභාගී වූහ.

දිගින් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරලියගහ මන්දිරය යොදා ගැනීමත් සංග්‍රහ පැවැත්වීමත් පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ජනමාධ්‍ය ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු පවසා තිබුණේ නීතිමය තත්ත්වයක් එහිදී පැන නොනගින බවයි. තමන් මුණ ගැසීමට එන කවර පුද්ගලයෙකුට වුව ද සංග්‍රහ කිරීම මෙරට සංස්කෘතියේ පිළිවෙතක් බැවින් තමන් ඒ අනුව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි’.

ගෞරවාන්විත මැතිවරණ ක්‍රමයක් උදෙසා – 2010 මැතිවරණ පිළිබඳ සමාලෝචනය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා, පිටුව 15 -16)

මහජන මුදලින් නඩත්තු වන අරලියගහ මන්දිරය මේ ආකාරයෙන් දන්සලක් බවට පත්කර ගැනීම ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ජනපති ලේකම්වරයාට ‘නීතියට එකඟ’ ‘සංස්කෘතියට එකඟ’ දෙයක් වුණාට ඉතාම පැහැදිලිව ජනාධිපතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බවයි පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන කියන්නේ. මෙහිදී එම වාර්තාව පෙන්වා දෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපති මැතිවරණ පනතේ 80වන වගන්තියේ විධිවිධාන අනුව ඉහත සඳහන් ලෙස සංග්‍රහ පැවැත්වීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

මේ අනුව අපට පැහැදිලිව පෙනී යන්නේ ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා ‘දැන දැනම’ නීතිය කඩකරමින් රාජ්‍ය සම්පත් අවභාවිත කළ බවයි.

දන්සල් දුන්නේ කාටද ?

රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමට වරදක් වන්නා සේම දැන දැනම එකී අවස්ථාවන්ට සහභාගීවීම ද සැලකිය හැක්කේ වරදක් ලෙසයි. ඊටත් වඩා භයානක තත්ත්වය වන්නේ මේ අරලියගහ මන්දිරයේ ‘දොළොස්මහේ දන්සල’ සඳහා අරාධනා ලැබූ බහුතරය ‘රාජ්‍ය අංශයේ ’ හෝ රාජ්‍ය සුබසාධනවලට ඍජුව ලක්වන පිරිස් බවයි.

ඒ බව පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන මගින් දක්වා ඇති පහත අවස්ථා මගින් මනාව පැහැදිලි කරගත හැකියි.

‘පහතින් දැක්වෙන්නේ 2009 දෙසැම්බර් මස අරලියගහ මන්දිරයේ පැවැත් වූ දේශපාලන සංග්‍රහයන්ට සහභාගී වූ කණ්ඩායම්වලින් කිහිපයකි.

– දෙසැම්බර් 7 – ස්වර්ණභූමි ඔප්පුලාභීන්

– දෙසැම්බර් 8- සමථ මණ්ඩල නිලධාරීන්

– දෙසැම්බර් 10- සමෘද්ධිලාභී පවුල්වල

ළමයින් හා මවුපියන්

– දෙසැමබර් 10- අධ්‍යාපන අංශයේ නිලධාරීන්

– දෙසැම්බර් 11- කාන්තා නීතිඥ සංගමයේ

සාමාජිකාවන්

– දෙසැම්බර් 12 – නීතිඥයන්

– දෙසැම්බර් 13 – පොලිස් නිලධාරීන්

– දෙසැම්බර් 14 – කළමනාකරුවන්

– දෙසැම්බර් 15 – කිරි ගොවීන්

මේ සතියක කාලයකට අරලියගහ මන්දිරයේ මහා දන්සල වැඳපුදා ගැනීමට පැමිණි විවිධ කණ්ඩායම් වල තත්ත්වයයි. මෙහිදී බැලූ බැල්මට රාජ්‍ය නිලධාරීන් (අධ්‍යාපන අංශයේ නිලධාරීන්) සහ පොලිස් නිලධාරීන් කැඳවා දන්සල් පැත්වීම මැතිවරණ ක්‍රියාවලියට ඍජු බලපෑමක් කළ හැකි තත්ත්වයක් වන අතර ස්වර්ණභූමි ඔප්පුලාභීන්, සමෘද්ධි පවුල් සහ කිරි ගොවීන් රාජ්‍ය සුබසාධනය මගින් සිදුකරන ඍජු බලපෑමකි. අනෙක් අතින් ජනපතිවරයා දෙන මේ දන්සල මැතිවරණ නීතියට එකඟ නොවන, අනීතික දෙයක් බව දැන දැනම කාන්තා නීතිඥ සංගමයේ සාමාජිකාවන් සහ නීතිඥයන් ද සහභාගීවීම මගින් තත්ත්වයේ ස්වභාවය මනාව පැහැදිලිකර ගත හැකියි.

ශ්‍රී ලංගම බස් රථ සහ රජයේ වාහන

මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ‘උකුස්සන් සේ’ රාජ්‍ය ආයතන වෙත ඇස ගසා ගෙන සිටින අතර එහිදී සිදුවන සුළු හෝ ප්‍රමාදයක් වහාම මැතිවරණ කොමිෂමට වාර්තා කිරීම සහ ජනමාධ්‍ය මගින් පුළුල් ලෙස ප්‍රචාරය කිරීම සුලභ තත්ත්වක් වශයෙන් දැකිය හැකිය. අපේගේ ද පොදු අදහස වන්නේ කිසිම දේශපාලනඥයෙක් හෝ පුද්ගලයෙක් තම මැතිවරණ ක්‍රියාවලිය සඳහා කිසිදු අයුරකින් රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම සිදු නොකළ යුතු බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ පසුගිය 2010 ජනාධිපතිවරණයේ දී සහ එම වසරේම පැවැති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ සහ රජයේ අනෙකුත් වාහන ජනාධිපතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයට අවභාවිතා කළ ආකාරය යළි සිහිපත් කර ගැනීම කාලෝචිතය.

2010 ජනාධිපතිවරණ සමයේ දී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ 1000කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සඳහා ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් ප්‍රවාහනය කිරීමට වරින් වර යොදා ගන්නා ලදි. පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන මගින් හඳුනා ගන්නා ලද මෙම බස් රථ ශ්‍රී ලංකාව පුරා පිහිටුවා ඇති ඩිපෝ 98කින් ලබාගෙන තිබුණි. විමර්ශනයට අනුව මෙලෙස යොදා ගන්නා ලද බස් රථ පක්ෂ (එජනිස) ආධාරකරුවන් විවිධ රැස්වීම් සඳහා ප්‍රවාහනය කිරීමට යොදා ගෙන තිබුණි’. (පිටුව 17)

ශ්‍රීලංගමයට අයත් බස් රථ 1000ක් (ධාවන තත්ත්වයේ පවතින බස්රථ 5400න්) මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ලබා ගැනීම පිළිබඳ පොදු දේපොළ සුරැකීමේ වැඩසහන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු දී ඇත්තේ අරලියගහ මන්දිරයේ දන්සල ගැන ජනපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා දුන් ආකාරයේම පිළිතුරකි. මෙවැනි ක්‍රියා අයථා පරිහරණයක් නොවෙයි. ඕනෑම පුද්ගලයකුට මුදල් ගෙවා ලංගම බස්රථ ප්‍රවාහන කටයුතු සඳහා කුලියට ගැනීමට විධිවිධාන තිබෙනවා’

එහෙත් තම වාර්තාව මගින් පොදු දේපොළ සුරැකීමේ වැඩසහන අවධාරණය කරන්නේ ශ්‍රීලංගමයෙන් ලබාගත් මෙකී බස් රථ සඳහා ‘මුදල් ගෙවා ඇති බවට’ කිසිදු කුවිතාන්සියක් සොයා ගැනීමට තමන්ට නොහැකි වූ බවයි.

මෙහිදී ශ්‍රීලංගම බස්රථ ලබා ගැනීමේ පදනම පමණක් නොව ඒ මගින් සාමාන්‍ය ජනතාවට විඳීමට සිදු වූ අපහසුතා සහ එහි අනීතිකභාවය ගැන ද පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන කරුණු දක්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොදු දේපොළ සුරැකීමේ වැඩසටහනේ ස්ථාවර වන්නේ පොදු ප්‍රවාහන සේවාව වැනි අත්‍යවශ්‍ය සේවාවක් අදාළ ගෙවීම් සිදු කිරීමෙන් පසුව වුවද පුද්ගලික කටයුතු සඳහා යොදාගත නොහැකි බවයි. විශේෂයෙන් මැතිවරණ කාල සීමාවක දී මහජනතාවට ඉන් සිදුවන හිරිහැරය ඊට හේතුවයි. ව්‍යවස්ථාවේ 104 ආ (4) (ආ) වගන්තිය’ මඟින් ඒ සඳහා තහනම් නියෝග පනවා ඇති අතර මැතිවරණ කොමසාරිස්වරයා 2009 දෙසැම්බර් 12 වැනිදා නිකුත් කළ නියෝගයෙන් එය තව දුරටත් බලාත්මක විය. (පිටුව 18)

එවකට ආණ්ඩුව ජනාධිපතිවරණයේ දී අවභාවිත කරන ලද ශ්‍රීලංගම බස්රථ ඊට පසුව පැවැති මහ මැතිවරණයේ දී ද ඒ ආකාරයෙන්ම අවභාවිත කළ බව පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන සිය වාර්තාව මගින් පෙන්වා දෙනවා.

‘මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද බස්රථ විශාල සංඛ්‍යාවක් යොදාගත් ආකාරය පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන මගින් වාර්තා කරන ලදි. විශේෂයෙන්ම ආධාරකරුවන් ප්‍රවාහනය ඊට ඇතුළත් විය. කෙසේ නමුත් පොදු දේපොළ සුරැකීමේ වැඩසහන නිකුත් කළඅතුරු වාර්තා තුන ඔස්සේ එලෙස නීති විරෝධී අන්දමින් යොදාගනු ලැබූ බස්රථ 500කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු වාර්තා කර තිබුණි (පිටුව 19)

පොදු දේපොළ සුරැකීමේ වැඩසටහනට අනුව 2010 ජනාධිපතිවරණ හා මහ මැතිවරණ සමයේ අවභාවිත කර ඇත්තේ ශ්‍රීලංගම බස්රථ පමණක් නොව අමාත්‍ය සහ ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් යානා ද මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගෙන ඇත.

‘පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන මඟින් නිකුත් කළ අතුරු වාර්තාවෙන් අමාත්‍යාංශ හා සංස්ථාවලට අයත් වාහන නීති විරෝධී ලෙස ප්‍රචාරක කටයුතුවලට යොදා ගත් ආකාරය වාර්තා කර තිබුණි. අදාළ රජයේ වාහන හෙළිදරව්වීම වැළැක්වීම සඳහා අපේක්ෂකයන් වරින් වර ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් ධාවනයේ යෙදවීමට පියවර ගෙන තිබුණි. කෙසේ වුවද එම වාහන රජයට අයත් ඒවා බව තහවුරු කර ගැනීමට පොදු දේපොළ සුරැකීමේ වැඩසටහනට හැකි විය’ (පිටුව 19)

මෙහිදී එම වාර්තාව කියන්නේ මෙම සියලු අපයෝජනයන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණ සමයේ දී රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම පැවරුනු නිලධාරීන් වෙත පොදු දේපොළ අයථා ලෙස යොදා ගැනීමට ඉඩ නොතබන ලෙස දන්වමින් නිකුත් කළ අංක 4 දරණ චක්‍රලේඛය උල්ලංඝණය කිරීමක් බවයි.

රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය සේවකයන් අයථා ලෙස යොදා ගැනීම

රජයට අයත් භෞතික සම්පත් සේම රජයට අයත් මානව සම්පත ද (නිලධාරීන් සහ සේවකයන්) මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම නීතිය ඉදිරියේ වරදක් බව සඳහන් වේ. එහෙත් ප්‍රශ්නය වන්නේ 2010 ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී එවකට පැවැති රජය සිය දේශපාලන කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය සේවකයන් අයථා ලෙස යොදා ගැනීමය.

‘දේශපාලන පක්ෂ ක්‍රියාකාරකම්වල නියැලුනු බවට අමාත්‍යාංශවල සහ සංස්ථාවන්හි බොහෝ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තා වී ඇත. ආයතන සංග්‍රහයට අනුව යුද හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරීන්, සුපරීක්ෂක නිලධාරීන් සහ තවත් අංශ ගණනාවක නිලධාරීන්ට මැතිවරණයක දී ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාකාරකම නියැළීම තහනම් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 17 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ක්‍රියාකරමින් මැතිවරණ කොමසාරිස්වරයා ද මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබිය දී රජයේ නිලධාරීන් / සේවකයන් දේශපාලන පක්ෂ ක්‍රියාකාරකම්වල යොදවා ගැනීමට තහනම් කර ඇත. (පිටුව 67)

මෙහිදී පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන සිය වාර්තාව මගින් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලද පැහැදිලි උල්ලංඝනය කිරීම් කිහිපයක් දක්වා ඇත.

අ. ශ්‍රී ලංකා වරාය අධිකාරියට සම්බන්ධ ආරක්ෂක නිලධාරීන් 71 දෙනකු දකුණු පළාතේ මැතිවරණ වැඩ කටයුතු සඳහා 2009 නොවැම්බර් මාසයේ දී නිදහස් කරන ලදි.

ආ. විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව විරෝධතා රැලියකට සහභාගී වීම සඳහා ගුවන් තොටුපොළ මධ්‍යම හා සුළු සේවකයන්ට 2009/12/23 දින රාජකාරි නිවාඩු යන ලෙසට ගුවන් තොටුපෙළ හා ගුවන් සේවා සමාගමේ සභාපති වාචිකව නියෝග කර ඇත.

ඇ. බොහෝ තානාපති නිලධාරීන් (ශ්‍රී ලංකා විදේශ සේවයට පරිබාහිරව) රජය පත්කරන ලද්දන්ය. කෙසේ වෙතත් ඔවුන් සිය ධුරය දරන කාලයේ ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදනයන් අනුව ක්‍රියා කිරීමට බැඳී සිටියි) එකී තනතුරු දරමින් ම දේශපාලන ක්‍රියාකාරකම් සඳහා මෙරටට නැවත පැමිණ තිබේ. එවැනි අවස්ථාවකට එක් නිදර්ශනයක් ලෙස ඉතාලියේ කොන්සල්වරයාගේ දෙවැනි ලේකම්වරයා දැක්විය හැකිය. ඔහු මේ වන විට ලංකාවට පැමිණ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයාගේ දේශපාලන ව්‍යාපාරය තුළ ක්‍රියාකාරීව සිටියි.

ඉ. වර්තමාන රජයේ ප්‍රධාන නිලධාරියකු වන ආරක්ෂක ලේකම්වරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාගේ දේශපාලන ව්‍යාපාරය තුළ ද ක්‍රියාකාරී අයුරින් නියැලී සිටියි. නිදසුනක් ලෙස 2009 /12/19 වන දින කඩුගන්නාව ඌරාපොළ දී පැවැති රැලියක් ඔහු විසින් අමතන ලද අතර, එහි සිටි අනෙකුත් කථිකයන් වූයේ දේශපාලනඥයන්ය. (පිටුව 67-68)

“මාධ්‍ය මගින් පුළුල් ලෙස වාර්තා කර ඇති පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දේශපාලන ප්‍රචාරක රැස්වීම්වලට සහභාගී වී ඇත. 2010 ජනාධිපතිවරණ ඡන්දයේ දී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ප්‍රතිචාර දැක්වීම වශයෙන් රජයේ වියදමින් සංවිධාන කළ ‘විජයග්‍රහණයේ කතාව අද සහ හෙට’ නමැති දේශපාලන වැඩසටහනට ඔහු තම සහභාගීත්වය ලබාදී තිබේ. (පිටුව 81)

මහජන බැංකුවේ සභාපති ඔබ්ලිව්. කරුණාජීව මහතා ඇතුළු මහජන බැංකුවේ ඉහළ නිලධාරීන් පසුගිය ජනවාරි 6 වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රචාරක පත්‍රිකා බෙදා හැරීමේ නිරත වී තිබේ. මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් පිළිබඳ ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්වරයා මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත. (එම)

ඉහතින් සඳහන් වූයේ අද ‘විනයම’ ගැන කියමින් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ යෙදෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු එවකට පැවැති ආණ්ඩුව 2010 ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ‘පොදු දේපොළ අවභාවිත කළ ආකාරය ගැන සංෂිප්තයක් පමණි.

ඉතිං, විනය ගරුක රටක් හැදීමට යළි යළි ප්‍රතිඥා දෙන මොවුන් ගැන ‘හෘද සාක්ෂියට එකඟව’ තීරණයක් ගත යුතුයි නේද ?

ඉන්ද්‍රජිත් හේවාවිතාරණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *