ජාතිවාදය විරුද්ධව සාමය වෙනුවෙන් දිවි දුන් විජයගේ චින්තනය ගෝඨාභය ළඟ නෑ – රූපා කුමාරතුංග

                                                                                 

මේ රටේ දේශපාලඥයන් උතුරට එකකුත් දකුණට තව එකකුත් කියද්දි ජාති භේදයට විරුද්ධව හඬක් නැගුවෙ මගෙ මල්ලි විජය කුමාරතුංග. එදා ජාතීන් අතර සමගිය ගැන කතා කරන්න දේශපාලඥයො බය වුණ කාලෙක විජය නිර්භයව තම අදහස් ප්‍රකාශ කෙරුවා. විජයගෙ සොහොයුරියක වන හිටපු පළාත් සභාමන්ත්‍රීනී රූපා කුමාරතුංග මහත්මිය එසේ ප්‍රකාශ කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂයේ උප නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වොක්ස්වෝල් වීදියේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද (30) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළ රූපා කුමාරතුංග මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළාය.

ජේ.ආර්. ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුම ගහන වෙලාවෙ, දේශපාකඥයො ගොඩක් දෙනෙක් එයට සහයෝගය නොදී මගඇරිය. නමුත් විජය සහෝදරයා දුර දක්නා නුවනින් ඊට සහයෝගය දුන්නා. ජේ.ආර්. ගෙන් තරම් විජයට කාගෙන්වත් හිරිහැර විඳින්න සිදුවුණේ නෑ. මහර අතුරුමැතිවරණයට තරඟ කරපු වෙලාවේ දිනල හිටපු විජයව පැරැද්දුවා. විජයට පාර්ලිමේන්තු එන්න ඉඩ තියන්න එපා කියල කිව්වා. හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කළ නිසා ව්‍යාජ නැක්සලයිට් චෝදනාවක් දාලා විජයව හිර කරල දස වද දුන්නා. ඒත් විජය වෛරය හිතේතියාගත්තෙ නෑ. ක්‍රෝධය පිරිමහන්න ගියේ නෑ. රටට අවශ්‍ය වෙලාවෙදි විජය අවශ්‍ය කටයුත්ත කෙරුවා.

එදා ජාතිවාදය කරපින්නාගෙන සිංහල ජනතාවගෙ ජාතිවාදී හැඟිම් අවුස්සලා තරුණයන් සිවිල් යුද්ධයකට තල්ලුකර රාජ්‍ය බලය  බලහත්කාරයෙන් පැහැර ගන්න පිරිසක් සූදානම් වෙනකොට විජය ජාතිවාදයට විරුද්ධව උතුරට ගිහිල්ලා ජාතික සමගියට අඩිතාලම දැම්මා. එදා උමා මහේෂ්වරන්ලා ඇතුළු කණ්ඩායම් කිහිපයක් ආයුද අතහැරලා, ඊලාම් අතඇරලා සාම මාවතට ආවා. ඒ කණ්ඩායම් ඊලාම් යුද්ධයට එකතු වුණා නම් යුද්ධය තවත් දරුණු වෙනවා. විජය කවදත් කතා කෙරුවෙ සාමය ගැන. ජාතීන් අතර සමගිය ගැන. අන්තිමට විජය සිය ජීවිතය පූජා කළෙත් රටේ භෞමික අඛණ්ඩතාවයත් ජාතීන් අතර සමගියත් වෙනුවෙන්.

විජය ඇතුළු ප්‍රගතිශීලීන් නිර්මාණය කළ මහජන පක්ෂ නායකයන්ගෙ ඝාතනයත් එක්ක කෑලී කෑලි වලට කැඩිලා ගියා. අපි ජාතික මහජන පක්ෂය යනුවෙන් දේශපාලන පක්ෂයක් නිර්මාණය කෙරුවා. ඒකෙ සුළු කණ්ඩායමක් ගෝඨාභයට සහයෝගය දෙනවා කියලා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුණා. එතන පක්ෂ සාමාජිකත්වයවත් නැති අය හිටියා. ජාතිවාදයට විරුද්ධව සාමය වෙනුවෙන් කතා කරපු විජය කොහොමද ජාතිවාදී ආගම්වාදී ගොඩට පාවාදෙන්නෙ. ඒක ප්‍රතික්ෂේප කරලයි අපි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දෙන බව ප්‍රකාශ කරන්න ආවේ.

විජය එක්ක එදා ඉඳලම දේශපාලන සටන් බිමේ හිටපු පිරිස අද සජිත්ට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. එයින් පිරිසක් අද මෙතනට ඇවිල්ලා ඉන්නව. සජිත් ජාතිවාදියෙක් නොවන නිසයි අපි ඒ සටනට සහයෝගය දෙන්න තීරණය කෙරුවෙ. මෙම අවස්ථාවට ජාතික මහජන පක්ෂයේ පාලක ලේකම් මනෝජ් රූපසිංහ, භාණ්ඩාගාරික ප්‍රදීප් පන්නෙගම, දේශපාලන සභිකයන් වන ලයනල් ගූනියන්ගොඩ, එස්.එස්. සෙන්දිල්, ප්‍රියන්ත විමලරත්න සහ මාලනී පීරිස් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

මෙම සටහනට විජය සොහොයුරිය මාධ්‍ය සාකච්ඡාවේ දී පළ කළ අදහස් මෙන්ම සම්මුඛව සාකච්ඡා කළ අදහස්ද ඇතුළත්ය.

බිනර දන්තුරේ බණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *