රන්ජන්ගෙන් ගෝඨාභයට ප්‍රශ්න පත්‍රයක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ විවාදයකට නාවත් ඔහු මෙරට ජනතාවට ප්‍රශ්න ගණනාවක් ගැන පැහැදිලි කළ යුතු බව රන්ජන් රාමනායක ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව සියලු ජනාධිපති ධුරාපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු බලන විවෘත සංවාදයකට හෝ විවාදයකට හෝ (PORUM) ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගි වන බවට හිටපු ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍යයට පැවසුවද ඒ මහතා (ගෝඨාභය රාජපක්ෂ මහතා) ඒ සඳහා ඉදිරිපත් වුයේ නැත. ජනාධිපති ධුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සෑම ප්‍රසිද්ධ වේදිකාවකදිම පාහේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පුන පුනා ඉල්ලා සිටින්නේ තමා සමග සංවාදශීලී හෝ විවාදශීලී සාකච්ඡාවකට සහභාගි වන ලෙසටයි.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයන් මේ සම්බන්ධව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයට පෙර එවැනි සංවාදයකට හෝ විවාදයකට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි නොවන බවකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා එවැනි සංවාදශීලී හෝ විවාදශීලී හෝ සාකච්ඡාවකට සහභාගී වුවත් නැතත් ඒ‍ මහතා එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී කෙරී ඇති සිදුවීම් කිහිපයක් පිළිබඳව මහජනතාව දැනුම්වත් වියයුතු බැවින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ඒ මහතාගේ පිළිතුරු කවරේදැයි දැනගැනීමට මහ ජනතාව වෙනුවෙන් එම කරුණු මවිසින් මෙසේ ඉදිරිපත් කරනු ලබන්නෙමි.

  1. ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරයේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 9.1ක රජයේ අරමුදල් භාවිතා කරන ලදුව එය අධිකරණයේ දී වරදක් බව පිළිගෙන එයින් කොටසක් ලෙස රුපියල් මිලියන 2.9ක් රජය වෙත ආපසු රජය වෙත ගෙවා ඇතත් ඉතිරි මුදල ගෙවන්නේ කවදාද?
  • ගාළුමුවදොර යුධහමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම ෂැංග්‍රී – ලා හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් සින්නක්කර පදනමින් ඩොලර් මිලියන50කට එම ආයතනයට පවරා දෙමින් රුපියල් බිලියන 05ක කොමිස් මුදලක් ලබාගෙන තංගල්ල බේ හෝටලය ලබාගත් බව කියන චෝදනාව ඔබ පිලිගන්නේද?
  • අධි ආරක්ෂක කලාපයක් තුළ දී අභිරහස් ලෙස මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වීම සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවය තමා දන්නා බව ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මියට ප්‍රසිද්ධියේ දන්වා සිටි ඔබ (ගෝඨාභය රාජපක්ෂ මහතා) එම වැරදිකරුවන්ගේ නම් ගම් අනාවරණය නොකරන්නේ මන්ද?
  • ප්‍රගීත් ඒක්නැලිගොඩ මහතා ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් අතුරුදන් වීම, හා උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් පෙරේරා ආදී මාධ්‍යවේදීන් පැහැරගෙන හිංසනයට ලක් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඔබ කිසිදු තොරතුරක් නොදන්නේද?
  • ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ දරුවන් සුදු වෑන් හා ආරක්ෂක නිලධාරීන් යොදා පැහැරගැනීම හා ඝාතනය කිරීම හෝ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් තොරතුරු හෙලිනොකරන්නේ මන්ද?
  • “අපි වෙනුවෙන් අපි” රණවිරු සුභසාධන අරමුදලේ අයවැය විධිමත් විගණනයකට ලක් නොවීම සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
  • රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍රවීම නිමිතිකොට පැනනැගුණු මහජන උද්ගෝෂණයේ දි ආරක්ෂ අංශ විසින් වෙඩි තබනු ලැබීමේ හේතුවෙන් තිදෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එවකට දඬුවම් නොදුන්නේ මන්ද?
  • තවුහිද් ජමාත් සංවිධානයට කොළඹ, ශ්‍රී සද්ධර්ම මාවතේ, අංක 241/1 හි පිහිටි ඉඩම ලබාදීම හා එම සංවිධානයේ සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දීමනා ලබාදීම සම්බන්ධයෙන් ගරු මහින්ද රාජපක්ෂ මහතා දෙරණ නාලිකාවෙන්ද, කෙහෙලිය රඹුක්වැල්ල මහතා හිරු නාලිකාවේ බලය සජීවී සංවාදයෙන්ද, විමල් වීරවංශ මහතා සහ ඔබ දෙරණ 3600 සජීවී සංවාදයේ දීද පිළිගත් අතර පාස්කු ප්‍රහාරයේ විශාල වගකීමක් ද ඔබටද පැවරෙන බව ඔබ පිලිගන්නේද?
  • දියත උයනේ මින්මැදුරු පවත්වාගෙන ගිය ගාමිණි පතිරණ මහතාගේ වියදමින් අඩි 40ක් දිග ටැංකියක මෝර මසුන් ඇති කිරීම අල්ලස් ලබාගැනීමක් ලෙස ඔබ නොසිතන්නේද?

තවද කොටි ත්‍රස්තයන් හා ශ්‍රී ලංකා හමුදාව අතර දරුණු යුද ගැටුම් පැවති කාලයේදී මානසික ආතතිය හේතුව ලෙස දක්වමින් රටහැර යාම සම්බන්ධයෙන් ද ඔබ (ගෝඨාභය රාජපක්ෂ මහතා) මහජනතාව වෙත කරුණු දැක්විය යුතුයැයි මම ප්‍රකාශ කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *