අප්‍රේල් 21 පාස්කු ආශීර්වාදයක් කරගත්ත කෙනා ජනාධිපති තරගයට ඉල්ලනවා; තුවක්කුව බැඳපු කෙනා දඩයම උස්සාගෙන යනකොට හොයාගන්න පුළුවන් – අනුර දිසානායක

පාස්කු ඉරිදා ප්‍රහාරය සමහර නායකයෝ තම බලය සඳහා ආශීර්වාදයක් කරගන්න උත්සාහ ගන්නවා. ගම්වල තිබෙනවා බඳින තුවක්කු. ඒක බඳින්නේ හොරෙන්. බැන්ද කෙනා කවුද කියලා හොයාගන්න බැහැ. හැබැයි දඩයම උස්සාගෙන යනකොට ඔහු කව්ද කියලා දැනගන්න පුළුවන්. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ඊට පස්සේ උස්සාගෙන ගියේ කවුද? කුරුණෑගලදී, මහනුවරදී, බිංගිරියේදී, මිනුවන්ගොඩදී අපි ඒක දැක්කා. ඒක ආශීර්වාදයක් කරගත්ත කෙනා ජනාධිපති තරගයට ඉල්ලනවා කිව්වා. තුවක්කුව බැඳපු කෙනා හොයා ගන්න පුළුවන්.  දඩයම උස්සාගෙන යනකොට කියලා අපි කියන්නේ ඒකයි. ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා එසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැලියක් ඊයේ (27) තිහාරියේ දී පැවති අවස්ථාවේ දීය. තවදුරටත් කතා කළ අනුර දිසානායක මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

  
දැන් කල්පනා කරනවා මේ අණ්ඩුවත් දීපු පොරොන්දු ඉටුකළේ නැහැ. ඒ නිසා මේකත් බිඳවට්ටන්න ඕන කියලා. දැන් රනිල්ගේ ආණ්ඩුව වට්ටලා නැවතත් 2015 ගෙදර යවපු ආණ්ඩුව ගේන්න ඕනද? එහෙනම් ඒක 2015 පරද්දන්නේ නැතුව ඉන්න තිබ්බනේ. මේ ආණ්ඩුව බිඳවට්ටලා නැවත ගේන්න ඕන පැරණි පාලනය නොවෙයි. අපි ඔබලා හමුවට ආවේ නොවැම්බර් 16 වැනිදා පරණ පාලනයත් අලුත් පාලනයත් දෙකම පරාජය කරලා නවතම පාලනයක් ගොඩනඟමු කියන ආරාධනාව කිරීමටයි.
අපේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟන්න ඕන. අපේ තරුණ පරම්පරාවට තමන්ගේ දැනුම හැකියාව, තමන්ගේ කාලය, ශ්‍රමය සතුටින් රට ගොඩනැගීමට දායකත්වය සපයන අපේ වැඩිහිටි අම්මලා, තාත්තලාට සුරක්ෂිත ජීවිතයක් හිමිවෙන නව පාලනයක් අපේ රටේ හදන්න ඕන. තව දශක ගණනාවක් අපේ රට මේ විදියටම ආ යුතුද? එය වෙනස් කළ යුතු නැද්ද?
වසර 71 මේ රට පාලනය කරපු පාලකයෝ රටට හැම අතින්ම අන්තරායදායක තත්වයක් උදාකරදී තිබෙනවා. මේ ආණ්ඩු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇති කළා, යුද්ධ ඇති කළා, වෛරය වැපිරුවා. මොනවාද මේ රටට නොකළේ, මේ පාලකයෝ. රටට විය හැකි සියලු පන්නයේ විපත් මේ පාලකයෝ අපේ රටට අත්කරලා දුන්න. කව්රු හරි පුළුවන්නම් මට කියන්න ඒක එහෙම වුණේ නැහැ කියලා. මත්ද්‍රව්‍ය තොග ගණන් ගේන රටක් හැදුවා. වැඩිපුරම මත්පැන් පානය කරන රටක් හැදුවා. විශාල ජනතාවක් සියදිවි නසාගන්න රටක් හැදුවා. ලෝකයේ විශාලතම වාහන අනතතුරු සිදුවන රටක් හැදුවා. තව මොකක්ද? මේ රටට වෙන්න තිබෙන්නේ. මේ ඛේදවාචකයෙන් අපේ රටත් ජනතාවත් ගලවා ගත යුතු නැද්ද? අපේ රටේ ජනතාව, රට ගැන, මිනිස්සු ගැන, තම ඇකයේ නැලවෙන දරුවා ගැන,  හෘද සාක්ෂියක් සැබෑ කැක්කුමක් තිබෙනවා නම්, සැබෑ ආදරයක් තිබෙනවා නම්, අපි සියලුදෙනා එක්වී මෙය වෙනස් කළ යුතුයි. මෙය අපිට පමණක් තනිවම කළ හැකි නම් මේ වෙනකොටත් ඒ වෙනස අපි කර හමාරයි. තමුන්නාන්සේලාගේ දායකත්වය නැතුව මේක වෙනස් කරන්න  බැහැ. ඒ නිසා මේ වේදිකාවේ ඉන්න සියලු දෙනාටම තිබෙන වුවමනාව තමන්නාන්සේලාටත් තිබිය යුතුයි. මේ සඳහා ඔබලාට නිර්භීත පියවරක් ගත හැකි වුවහොත් අධිෂ්ඨානශීලී තීන්දුවක් ගන්න පුළුවන් වුණොත් මේ රට නියත වශයෙන්ම වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ තීන්දුව නොවැම්බර් 16 ගන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.
යුද්ධ තිබෙන, ගැටුම් තිබෙන මොන රටද දියුණු වුණේ. ඒ හැම රටකටම උරුම කරළා තිබෙන්නේ සාගතය, විනාශය, සතුරුභාවය, දුප්පත්කම වගේ දේවල් පමණයි. පාලකයෝ අපේ රටේ විවිධ ගැටුම් නිර්මාණය කළා. දැනටත් කරමින් ඉන්නවා. අපේ රට ගොඩනඟන්න නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමගි සම්පන්න වෙච්ච සමාජයක් ගොඩනඟන්න ඕන. මේ මැතිවරණ වේදිකාවේ අද මහජනයාගේ ආරක්ෂාව ගැන ලොකු සාකච්ඡාවක් ඇතිවෙලා තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සමහර නායකයෝ තම බලය සඳහා ආශීර්වාදයක් කරගන්න උත්සාහ ගන්නවා. ගම්වල තිබෙනවා බඳින තුවක්කු. ඒක බඳින්නේ හොරෙන්. බැන්ද කෙනා කවුද කියලා හොයාගන්න බැහැ. හැබැයි දඩයම උස්සාගෙන යනකොට ඔහු කව්ද කියලා දැනගන්න පුළුවන්. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ඊට පස්සේ උස්සාගෙන ගියේ කවුද? කුරුණෑගලදී, මහනුවරදී, බිංගිරියේදී, මිනුවන්ගොඩදී අපි ඒක දැක්කා. ඒක ආශීර්වාදයක් කරගත්ත කෙනා ජනාධිපති තරගයට ඉල්ලනවා කිව්වා. තුවක්කුව බැඳපු කෙනා හොයා ගන්න පුළුවන්.  දඩයම උස්සාගෙන යනකොට කියලා අපි කියන්නේ ඒකයි. මතුපිටට පේන දේ නොවෙයි ඇතුලේ තිබෙන්නේ. ඒ ගොල්ලන් ඕනෑම ගැටුමක් ඒ ගොල්ලන්ගේ දේශපාලනය වෙනුවෙන් උපයෝගී කරගන්න සූදානම් වෙලයි ඉන්නේ. එවැනි දේශපාලනයකින් අපිට ඉදිරියට යන්න පුළුවන්ද? සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට සමගි වුණු රාජ්‍යයක් නැතිව. අපි ගහගෙන, වෛරයෙන් මත්වෙලා කටයුතු කළොත් මේ රටට අත්වන ඉරණම කුමක්ද?
දැන් එක්කෙනෙක් කියනවා මම හිටපු ආරක්ෂක ලේකම්. මමයි යුද්ධ කළේ. මම තමුන්නාන්සේලාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගන්නම් කියලා. ඊට පස්සේ අනෙක් පිළේ අපේක්ෂකයා කියනවා මම ආරක්ෂාව පිළිබඳ වගකීම දෙන්නෙ ෆීල්ඞ් මාෂල්ට කියලා. ඛගඔගඔගෑග සංවිධානය ක්‍රියාත්මක වෙච්ච සමයේ ජෙනරාල්ලට කරන්න ඕන තරම් වැඩ තිබුණා. හැබැයි අද ආරක්ෂාවේ අනතුර තියෙන්නේ මොකෙන්ද? යම් ජන කණ්ඩායමකින් පැන නඟින අන්තවාදී කොටස් තව ජන කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කරයිද කියන සැකයෙන්. මේක සමනය කරන්න ජෙනරාල්ල ඕනද? විශාල යුද සැලසුම් ඕනද? මේ කරන්නේ එවැනි සිදුවීම් දේශපාලන වාසියට පාවිච්චි කරන එක.
මේ අන්තවාදී ප්‍රහාර නැවැත්විය යුත්තේ නීතිය පාලනය කරන ආයතන හා මහජනයා විසින්. පාස්කු ඉරිදා ප්‍රහාරය් ගොදුර බවට පත්වුණේ කතෝලික ජනතාව. එම ප්‍රහාරයෙන් පස්සේ ප්‍රහාරයට ලක්වුණේ මුස්ලිම් ජනතාව. එතකොට ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්න, අනාරක්ෂිත භාවය පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. මුස්ලිම් ජනයා කැමතිද තමන්ගේ ජන සමාජය ඇතුලේ ගොඩනැඟෙන අන්තවාදයකට. කිසිදු ජන කොට්ඨාසයක් තම ජන කණ්ඩායම ඇතුලේ ගොඩනැඟෙන අන්තවාදයකට කැමති නැහැ. තමන්ගේ සමාජය ඇතුලේ ගොඩනැඟෙන ඕනෑම අන්තවාදයකට එරෙහිව සමාජය ඉදිරියට ආ යුතුයි. අපේ ව්‍යාපාරය ඒකට සූදානම්. අපි කවදාවත් ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත්කර ගන්නේ නැහැ. එවැනි වර්ගයේ අය අපේ වේදිකාවට කිසිදාක වද්ද ගන්නෙත් නැහැ. අන්තවාදය පෝෂණය කරමින් මහජන ආරක්ෂාව දෙන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාව අන්තවාදීන්ගෙන් පිරිලා. සජිත්ගේ වේදිකාවත් විවිධ වර්ගයේ අන්තාවදීන්ගෙන් පිරිලා. අන්තවාදීන්ගෙන් වේදිකා පුරවාගෙන ජනරාල්ලට මහජන ආරක්ෂාව දෙන්න බැහැ. මහජනයාට ආරක්ෂාව දීමට නම් පළමුව අන්තවාදය පරාජය කළ යුතුයි. අපේ රටේ පොලිසිය සූදානම් වෙනවා නම්, කවර වර්ගයක හෝ අන්තවාදටකට ඉඩ නොදෙන්න අන්න එවිට ස්ථිර වශයෙන් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්.
අපේ පාලනයක් යටතේ කිසිදු ජාතිවාදයකට, අන්තවාදයකට, ආගම්වාදයකට මතවාදීව හෝ ක්‍රියාශීලීව පැනනගින්න කිසිසේත්ම ඉඩ තබන්නේ නැති බවට අපි ඔබට සහතික වෙනවා. අපේ පාලනයක් යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම වර්ගයක අන්තවාදී, ජාතිවාදී, ආගම්වාදී ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය බලතල පොලිසියට ලබාදෙන්න අපි සූදානම්.
අපිට අවශ්‍ය අනාරක්ෂිත බවේ සංඥාව සහිත ආරක්ෂාවක් නොවෙයි. ආරක්ෂිත භාවයේ සංඥාව සහිත ආරක්ෂාවක් තමයි අපේ පාලනයක් යටතේ අපේ රටේ ජනතාවට අපි දෙන්නේ.
ස්ථාවර ආරක්ෂාවක් සහතික කළ හැක්කේ සිංහල දෙමළ, මුස්ලිම් ජනයා අතර, ස්ථාවර සමගියක් සාමයක් ඇති කළ හොත් පමණයි. එය කළහැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. ස්ථිර මහජන ආරක්ෂාවේ ලකුණ මාලිමාව පමණයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *