ඔක්තෝබර් ජයග්‍රහණයේ වටිනාකම – ජෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්කොට පිහිටුවාගත් ආණ්ඩුව බල රහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කෙරිණ.සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ එම නඩුව විභාග වූ අතර එහිදී 2018 ඔක්තෝබර් 26 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලි‍මේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය.

ජාතික ආණ්ඩුවක් නිර්මාණය වන්නේ පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය තවත් පක්ෂයක් හෝ පක්ෂ කීපයක් සමඟ සංධානගතවීමෙනි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය එක්වී 2015 ජනවාරි 08 වනදායින් පසු දින 100ක කාලයකට ජාතික ආණ්ඩුවක් පිහිටුවාගත් අතර 2015 අගෝස්තු මස පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු ද එම පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යනු ලැබිණ.

ජාතික ආණ්ඩුවකින් එක් පාර්ශ්වයක් ඉවත් වූ විට කැබිනට් මණ්ඩල‍ය විසිරී යයි. එහිදී ජනාධිපතිවරයා කළ යුත්තේ නැවත ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රසාදය ඇති මන්ත්‍රීවරයාට ආරාධනා කිරීමය; ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුව පිහිටුවීමට අවස්ථාව සලසාදීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වැනි වගන්තියේ එය ඉතා පැහැදිලිව දක්වා තිබෙන නමුත්, එසේ 2018 ඔක්තෝබර් 26දා සිදු වූ ආණ්ඩු පෙරළියේදී සිදුවූයේ එය නොව ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ආණ්ඩු බලය වෙනස් කිරීමකි.

ජනමතයක් තිබූ හෙයින් මෙම බල පෙරළිය කළ බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ද ජනවරමක් තිබුණි නම් ජනතා පරමාධිපත්‍ය ඇති පාර්ලිමේන්තුව රැස්කොට එය විමසා බැලිය යුතුව තිබුණි. එසේ සිදු නොකොට අත්තනෝමතිකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිතුමා කටයුතු කර තිබුණි.

ජනතා තීන්දුව

ජනවරම විමසා බලන ඡන්ද දෙස බැලූවිට 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්කිරීමට නුසුදුස්සකු බව ජනතාව තීරණය කර තිබුණු අතර, 2015 අගෝස්තු මස පැවැත්වූ මහ මැතිවරණයේදී ඔහු අගමැතිවරයා වශයෙන්වත් සුදුසු නැති බව ජනතාව තීන්දු කළහ. එම ජනතා තීන්දුව සැලකිල්ලකට නොගත් ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කොට මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්කිරීමට ගත් නීතිවිරෝධී පියවර හේතුවෙන් රට තුළ දැඩි නොසන්සුන්තාවක් උද්ගතවුණි.

මහ මැතිවරණයකට පසුව අගමැතිවරයකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට බලය දී තිබෙන අතර එම පත්කිරීම සිදුකළ යුතු ආකාරය පිළිබඳ නෛතික ක්‍රමවේදය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව මහමැතිවරණයකට පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් එක් පැත්තකින් තේරීපත්වන්නේ නම්, එම පක්ෂයේ නායකයා අගමැති වශයෙන් පත්කළ යුතු ය. එවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාට අගමැතිවරයා පත්කිරීමට අභිමතයක් නොමැත. මහ මැතිවරණයකදී එක් පාර්ශ්වයකට මන්ත්‍රී සංඛ්‍යාව හරි අඩකට වැඩියෙන් නොමැති වූ විටක පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයා අගමැතිවරයා වශයෙන් පත්කළ යුතුව ඇත.

මැති සබේ ශක්තිය

2015 අගෝස්තු මස පැවැත් වූ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් අතරින් උපරිම විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිතුමා ක්‍රියා කළේය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙන ලද්දේ එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස මිස, ජාතික ආණ්ඩුවේ නායකයා ලෙස නොවේ. ජාතික ආණ්ඩුව පිහිටුවා ගැනුණේද පාර්ලිමේන්තුව විසින් සම්මතකරගත් යෝජනාවක් අනුවය.

අගමැතිවරයකු ඉවත්කිරීමේ බලයක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමට ප්‍රථම ජනාධිපතිවරයාට පැවරී තිබුණ නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් එම බලය ජනාධිපතිවරයාගෙන් ඉවත්කොට පාර්ලිමේන්තුවට පවරා පාර්ලිමේන්තුව ශක්තිමත් කොට ඇත. දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත්කරන ලද අගමැතිවරයකු ඉවත්කිරීමේ බලයක් ජනාධිපති වෙත පැවරී නැති අතර පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 46 (3) වගන්තිය යටතේ අගමැතිවරයාගේ තනතුර අහිමිවන්නේ ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වීමකදී හෝ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ක්‍රියාකිරීමේ බලය අහිමි වූ අවස්ථාවකදී ය. එමෙන්ම විශ්වාසභංග යෝජනාවකින් පරාජය වූ විට හෝ අය වැය යෝජනාවක් පරාජය වූ විට හා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජය වූ අවස්ථාවලදී ද අග්‍රාමාත්‍ය ධුරය අහෝසි වේ.

ජනාධිපතිවරයා විසින් 2018 ඔක්තෝබර් මස 26 දින රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කොට ආණ්ඩුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන්නේ එ‍හෙයිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව එම ක්‍රියාව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට තරම් බලවත්ය. අත්තනෝමතික හා උම්මත්තක ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකිරීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපයට දැඩි කැළලක් ඇතිවිය. එසේම 2015 ජනවරමට අනුව ගොඩනැඟූ ප්‍රජාතන්ත්‍රවාදය ද ඉන් විනාශ කෙරුණි.

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයේ රැඳී සිටීම වෙනුවෙන් මන්ත්‍රීවරුන් 113ට වැඩි සංඛ්‍යාවකගේ සහය තිබේදැයි විමසා බැලීම, උද්ගතව තිබූ තත්ත්වය සමනය කිරීමට අනුගමනය කිරීමට තිබූ පියවරකි. ඒ සඳහා තිබූ ඉඩකඩ අහුරමින් නොවැම්බර් 16 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපතිතුමා ක්‍රියා කළේය. මෙම නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් අපේක්ෂාවෙන් ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්කොට පිහිටුවාගත් ආණ්ඩුව බල රහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කෙරිණ. සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ එම නඩුව විභාග වූ අතර එහිදී 2018 ඔක්තෝබර් 26 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලි‍මේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය.

ඒකමතික තීන්දුව අනුමත කරමින් විනිසුරු සිසිර ද ආබෲ මහතා වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක් පළමු වරට රැස්වී වසර හතරහමාරක් ගතවන තුරු විසුරුවා හැරීමට ජනාධිතිවරයාට බලයක් නොමැති බව ද, වසර හතර හමාරකට පෙර විසුරුවා හැරිය හැකි වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කිරීමෙන් පසුව පමණක් බව ද එම තීන්දුවේ සඳහන් කළේය.

අධිකරණ තීන්දුව

අගවිනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන්කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව වසර හතරහමාරක් ගතවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතිකකර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවත් ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුවත් සමඟම 2018 ඔක්තෝබර් 26 වැනි දින වනතෙක් පැවැති ආකාරයට පාර්ලිමේන්තු බලය එක්සත් ජාතික පෙරමුණට හිමි වූ අතර අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාටම ලැබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධීව, අයථා ලෙස පාර්ලිමේන්තු බලය ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම දින පනස් දෙකක් පුරා ප්‍රචණ්ඩ පාලනයක් ගෙන ගියහ. රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් කඩා වැදුණු ඔවුහු පාලනාධිකාරියට තර්ජනය කොට පලවා හැර හිතුමතේ එක් එක් පුද්ගලයන්ට බලය පවරා රාජ්‍ය සේවකයන් පීඩනයට පත්කොට රාජ්‍ය සේවයම අකර්මන්‍ය කළහ. එතනින් නොනැවතී රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ද කඩාපැන ඒවාහි නිලධාරීන් පලවාහැර තම හිතවතුන් පත්කොට අයථා සේවා උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදී විරුද්ධ දේශපාලන මතවාදීන්ට තර්ජනය කර බලපෑම් කළහ. තම මතයට විරුද්ධව ක්‍රියා කළ පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ද තර්ජනය කළ රාජපක්ෂවරු එතෙක් පැවති මාධ්‍ය නිදහසට ද අභියෝග කළහ.

2015 වසරේදී බලයට පත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ නියෝජනය කළ කිසිවෙකුට මොනයම් ආකාරයක හෝ තාඩන පීඩන එල්ල කළේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කළහ. නමුත් රාජපක්ෂවරු බලය ලබාගත් දින කීපය තුළදී එම තත්ත්වය විනාශකර ප්‍රචණ්ඩකාරීත්වය දියත්කොට ඔවුන්ගේ සුපුරුදු ස්වරූපය පෙන්වා දුන්හ.

ව්‍යවස්ථා වි‍රෝධී ලෙස ආණ්ඩුව විසුරුවා හැරීමෙන් රටේ පරිපාලනය අස්ථාවර වූ බැවින් දෙස් – විදෙස් ආයෝජනය අකර්මන්‍ය විය. සංචාරක කර්මාන්තය, ව්‍යාපාර ක්ෂේත්‍රය සහ සංවර්ධන ව්‍යාපෘති කඩාවැටුණි. රාජ්‍ය පරිපාලන සේවය ද අවුල්වී ගිය අතර ජන ජීවිතය ද අවුල් වියවුල් තත්ත්වයකට පත්විය, ජනතාව කුතුහලයටත්, නොසන්සුන් තත්ත්වයටත් පත්වූහ. රාජකාරි කටයුතු ඉටුකිරීමේදී පොලිසිය අසරණ විය.

බල තණ්හාව

දීර්ඝ ඉතිහාසයක අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂ වැනි දේශපාලනඥයකු වෙතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය වන මෙවැනි ක්‍රියා කිසිවිටකත් අපේක්ෂා කළ නොහැකිය. වසර 08ක් විධායක ජනාධිපතිවරයකු වී රට පාලනය කළ මහින්ද රාජපක්ෂ මහතා, ව්‍යවස්ථා විරෝධීව ආණ්ඩුවක් ලබාගත් විට සිදුවන දෙය හොඳින් දැන සිටියේය. එවන් අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වන ආකාරයද දන්නා ඔහු බල තණ්හාව හමුවේ අන්ධයකු මෙන් ක්‍රියා කළේය.

කුමන්ත්‍රණකාරී රාජපක්ෂ ආණ්ඩුව දින පනස් දෙකකට සීමාකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් රට තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය විය. නැවත වතාවත් පරාජිතව හැකිළුණු රාජපක්ෂ කණ්ඩායම කෙසේ හෝ යළි රාජ්‍ය බලය ලබාගැනීමේ පිපාසාව අත්හැර නැත. 2018 ඔක්තෝබර් ආණ්ඩු ආක්‍රමණය සාර්ථක වූයේ නම් මේ වනවිට ද පවතින්නේ රාජපක්ෂවරුන්ගේ පාලනයයි. එසේ වූයේ නම් අද අප බුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවතී ද යන්න සැකයකි. එසේ වූයේ නම් ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය එතරම් සාමකාමී, සාධාරණව පැවැත්විය නොහැකි වන්නට ද තිබුණි. පවතින 19 වන ව්‍යවස්ථා වෙනස්කොට තමන්ට වාසිදායක වන පරිදි නව ව්‍යවස්ථාව සංශෝධනයක් සම්මත කර ගනු ඇත. එපමණක් ද නොව 2015දී සිදුකළ ආකාරයටම 2020 ජනාධිපතිවරණයේදී ද උපරිම රාජ්‍ය බලය යොදා රාජ්‍ය දේපොළ හා රාජ්‍ය සේවකයන් අයථා ලෙස දේශපාලනයට ‍යොදාගනු ඇත.

විරුද්ධ දේශපාලන මත දරන්නන්ට තර්ජනය කරනු හෝ පහරදීම්වලට ලක්කරනු ඇත. අද ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන මාධ්‍ය, රාජපක්ෂ සමයකදී එසේ කටයුතු කළහොත් අත්වන ඉරණම සිතාගන්නටවත් නොහැකිය.

එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ පවත්වන්නට නියමිත 2020 ජනපතිවරණය, යම් ලෙසකින් රාජපක්ෂ පාලනයක් යටතේ පවත්වන්නට යෙදුණේ නම් අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, අයිතිය ගැන සිතීමටවත් නොහැකිය. එසේ වූයේ නම් 2015දී පැවැති ජනාධිපතිවරණයේදී මෙන් “නීතිය කඩ කරන අයට තරාතිරම නොබලා ඔළුවටම වෙඩි තියන්න” යැයි පොලිසියට අණ කිරීමට මැතිවරණ කොමසාරිස්තුමාට සිදුවනු ඇත. පොලිසියට ද අද මෙන් නීතියේ අධිපත්‍යයට ගරු කරමින් කටයුතු කරනවාට වඩා රාජපක්ෂවරුන්ගේ ආධිපත්‍යයට යටත්ව ක්‍රියා කිරීමට සිදුවනු ඇත.

සටහන
නිශාන් මෙන්ඩිස් 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *