වෛද්‍ය වැඩවර්ජන පසුපස සිටි දේශපාලන හස්තය GMOA පාදෙනිය ගෝඨාගේ වේදිකාවේ ! –

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය සඳහා සහභාගී වී සිටින ආකාරය ඊයේ (25) දැක ගැනීමට හැකිවිය. 

කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පෙරවරු 09.00ට ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සව වේදිකාවේ ඒ මහතාට දෙපසින් අසුන්ගෙන් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සහ අනුරුද්ධ පාදෙනිය මහතාය. 

දේශපාලන අයිතිවාසිකම් අහිමි වෛද්‍යවරුන් ඇතුළු රජයේ මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන නිලධාරීන් ඇතුළු කොටස් මැතිවරණයට අදාළ කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගී නොවිය යුතු බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් 10 වනදා චක්‍රලේඛයක් ද නිකුත් කර තිබිණි. 

ගෝඨාභය රාජපක්ෂ මහතා විනය ගරුක සහ නීති ගරුක රටක් බිහිකිරීමට වේදිකාව මත සිට පොරොන්දු දුන්නේ අමු අමුවේ මැතිවරණ නීති කඩමින් රජයේ වෛද්‍ය නිලධාරියකු තම වේදිකාව මත ඉන්දවාගෙන ය. 

පාදෙනිය මහතා මෙම අවස්ථාවට සහභාගී වූ‍ අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙහි ද පළ කර තිබේ. 

මෙහි නීතිමය පාර්ශ්වය මැතිවරණ කොමිෂන් සභාව විසින් බලාගත යුතු අතර පසුගිය යුගය පුරාවට දුගී දුප්පත් ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් සිදුකළ වෛද්‍ය වැඩවර්ජන පසුපස සිටි දේශපාලන හස්තය ජනතාව විසින් හඳුනාගත යුතුය. 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *